ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදිය නොහැකියි – නීතිපති

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම අද (17) දින කැඳවනු ලැබුවෙිය.

අභියාචනාධකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවෙිය.

එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමන්ට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බව නීතිපතිවරයා අද (17) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මෙම දැනුම්දීම සිදු කළාය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් පැවසුවේ, මෙම නඩුකරයට අදාළ ලේඛන තමන්ට ලැබුණේ අද පෙරවරුවේ බවත් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට කිසිදු උපදෙසක් මේ දක්වා ලැබී නොමැති බවයි.

වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව මෙම පෙත්සම්කරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා බවට තමාට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දිය නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest