රජය විසින් ‘දිට්වා’ කුණාටුවෙන් සිදුවන හානිය අවම කිරීමට පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම තුළින් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් (30) වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වේ.
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු ඇඟවීම් සිදුකර තිබියදීත්, ඉන් සිදුවිය හැකි හානිය අවම කර මහජනතාව ආරක්ෂා කිරීම සඳහා රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බව පෙත්සම්කරු පෙන්වා දී ඇත.
