පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් ඉදිරියේදී සේවා කටයුතු සඳහා යතුරුපැදි ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට (26) එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
වර්තමානය වනවිට රටක් ලෙස ආර්ථිකය ස්ථාවර කරමින් සිටින බවත් එය සරල පහසු රේඛීය මාර්ගයක ගමන් නොකරන බවත් පවතින ලෝක යුධමය තත්ත්වය හමුවේ වුවද සියලු බර ජනතාව වෙතම නොදී සියල්ල කළමනාකරණය කරමින් ආර්ථිකය යම් ස්ථාවර තත්ත්වයකට පත් කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙවර පැවති ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට, වර්ණනාවක පාත්‍ර වූ බවත් එම ගෞරවයේ ප්‍රධාන කොටසක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීයන් ඉටුකළ සේවය වෙනුවෙන් මෙරටට ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට, මව්වරුන්ට ගෙයින් ගෙට ගොස් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීය අවස්ථානුකූලව මවක්, මිතුරියක්, සොයුරියක් වෙමින් ඉතාම සමීපව කටයුතු කරන බවත් එලෙස කටයුතු කරමින් ඉටුකරනු ලබන සේවාව මහත්සේ අගය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
වර්ථමානය වන විට බෝනොවන රෝග පිළිබද ගැටළුවේදී එය නිරාකරණයට විශාල ආදර්ශයක් මෙරට පවුල් සෞඛ්‍ය සේවාව තුළින් ලැබෙන බවත් අලුතින් ස්ථාපිත කරන ආරෝග්‍යා සුවතා මධ්‍යස්තානවල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ටද සැලකිය යුතු වැඩ කොටසක් ඉටුකිරීමට පැවරෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
