විශාලතම හොරකමක් පිළිබඳව නඩුවක් තියෙන රාජපක්ෂ කෙනෙක් බෙල්ල කැඩිලා, කොන්ද කැඩිලා කියමින් අධිකරණය මඟහරිමින් සිටින බවත් ඔහු රෙඩ් නෝටිස් ගහලා හරි අත්අඩංගුවට ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“මේ මැයි මාසයේ අපරාධ නඩු 15ක විතර තීන්දු ලැබෙන්න තිබෙනවා. අන්න එවිට ඒගොල්ලෝ කලබල වෙනවා. හොරකම් කරපු කෙනා තමයි දන්නේ හොරකමේ තරම. ඉතින් ඒගොල්ලෝ ආණ්ඩු වට්ටන දින කිය කියා ඉන්නවා.
එහෙම වට්ටන්න ඉඩ දෙනවද ජනතාව. නෑ. මේ ජනතාව ඒකට ඉඩ දෙන්නෙ නෑ. අපි ආවේ ජනතාවගේ බලයෙන්. අපි ගන්න හැම තීන්දුවකින්ම ආණ්ඩුව ගන්නකොට තිබුණාටත් වඩා ජනතා විශ්වාසය දිනා ගන්න මට්ටමකට ආණ්ඩුව ගෙනත් තියෙනවා
පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි හොයමින් ඉන්නවා. නඩු විභාග වෙනවා. කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවෙන් යට වෙන්නට අපි ඉඩ තියන්නේ නෑ. ඉදිරි මාස කිහිපය කියන්නේ ලංකාවේ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන කාලයක්.
ලංකාවේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබාදීම පිළිබඳව වැදගත් තීන්දු කීපයක් ප්‍රකාශයට පත්වෙන කාලවකවානුවක්. එයා හිටපු ජනාධිපතිද.? හිටපු ජනාධිපතිගේ අයියද.? මල්ලිද.? මස්සිනා ද.? බිරින්ද ද.? දරුවෝද.? අපි ඒ කිසිවක් බලන්නේ නෑ. අදත් රාජපක්ෂලා කිහිප දෙනෙකුට වරෙන්තු නිකුත් වෙලා තියෙනවා.
විශාලතම හොරකමක් පිළිබඳ ව නඩුවක් තියෙන රාජපක්ෂ කෙනෙක් බෙල්ල කැඩිලා කියනවා. කොන්ද කැඩිලා කියනවා. අධිකරණය මඟහරිමින් ඉන්නවා. රෙඩ් නෝටිස් ගහලා හරි අපි ඒ අයව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ගේනවා.
එහෙම කරනවිට අධිකරණය ඉදිරිපිට ඇවිත් උද්ඝෝෂණ කරනවා. ඕනෑ තරම් උද්ඝෝෂණය කරන්න. නමුත් අපි ප්‍රමිතියට අනුව වැඩ කරනවා. අපි දන්නවා ඕනෑම වෙලාවක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ ආණ්ඩුව වෙනුවෙන් පාරට බහින්න සූදානමින් ඉන්න බව. ඒ අය තේරුම් ගන්න ඕනා.”


