වසර 11කට පෙර පාසල් සිසුන් ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කළ රතුපස්වල නඩුවේ අවසන් තීන්දුව අද ප්‍රකාශ කෙරෙණි.!

පානීය ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව විසින් පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ, වසර 11 කට අධික කාළයක් පුරා සිදුකළ දීර්ග නඩු විභාගයකින් අනතුරුව ගම්පහ මහාධිකරණය විසින් අද (17) එහි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

2013 වසරේ අගෝස්තු 01 වනදා ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් පිරිසිදු පානීය ජලය ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී විරෝධතාවයක් පැවැත්වූ අතර එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් සිදු කළ වෙඩි තැබීමකදී පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පාසල් සිසුහු10කට ආසන්න ගණනක් ඇතුළු පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අනතුරුව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් එවකට යුද්ධ හමුදා බ්‍රිගේඩියර්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයන් සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා 94ක් යටතේ නඩු පවරනු ලැබීය.

රාජපක්ෂ සමයේ මෙහි විමර්ශන අකර්මණ්‍ය වී තිබියදී එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස බොහෝ පාර්ශව වලින් එල්ල වූ පැමිණිලි හමුවේ එහි විමර්ශන රහස් පොලිසිය වෙත පැවරුනි.

එම සිදුවීමට අදාල විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටි රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල යන දෙදෙනාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි හිටපු සහකාර පොලිස් අධිකාරී වත්මන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී එස් තිසේරාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති රංජිත් මුණසිංහ සහ එහි පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීහු ඇතුළු පිරිසක් පත් කෙරිණි.

එම විමර්ශන වලින් පසු පසු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුද හමුදා නිලධාරීහු සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් අතර එහිදී යුද හමුදාව විසින්ම සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් ද බ්‍රිගේඩියර්වරයා වැරදිකරු වී සිටි අතර එම වාර්තා ද අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිත් කර තිබුනි.

කෙසේවෙතත් මෙම නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද වරින් වර වෙනස් වු අතර, නඩුවේ දී බ්‍රිගේඩියර්වරයා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා අනූගණනක් මෙන්ම ඊට විරුද්ධව සාක්කිකරුවෝ ද 70කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කර තිබූ නමුත් නීතිපතිවරයා සාක්කි සඳහා කැඳවූයේ ඉන් කිහිපදෙනකු පමණි.

එම වෙඩි තැබීම සම්බන්ධයෙන් දීර්ග කාලයක් පුරා පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (17) උදෑසන 9.30ට ප්‍රකාශයට පත් කෙරිණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල නියෝග කරන ලද්දේ, හිටපු හමුදා මේජර්වරයා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කරනා ලෙසයි.

කෙසේවෙතත් රතුපස්වල වින්දිතයන් ප්‍රකාශ කළේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනා බවටයි.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS