හිටපු අමාත්‍ය විමල් වීරවංශට, ජනතා විමුක්ති පෙරමුණ ලේකම් ටිල්වින් සිල්වා වෙත රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය ලබාදී තිබූ නියෝගය අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කළා.
කොළඹ වාණිජ මහාධිකරණය ලබාදුන් එම තීන්දුවට එරෙහිව විමල් වීරවංශ විසින් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
“නැත්ත වෙනුවට ඇත්ත” නමින් විමල් වීරවංශ කෘතියක් මුද්‍රණය කිරීමේදී බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම රුපියල් ලක්ෂ 10ක වන්දි මුදල ටිල්වින් සිල්වා වෙත ගෙවන ලෙසට නියෝග කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව, ටිල්වින් සිල්වාට අයත් නිල ලේඛන යොදා ගනිමින් දැනට මුද්‍රණය කර ඇති “නැත්ත වෙනුවට ඇත්ත” පොත එලෙසම වෙළඳපොළට නිකුත් කිරීම සහ බෙදා හැරීම තහනම් කර ඇත.
අදාළ බුද්ධිමය දේපොළ උල්ලංඝනය කරමින් ඇතුළත් කර ඇති පිටු 60ක කොටස එම කෘතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නම්, ඉතිරි කොටස පමණක් ප්‍රකාශයට පත් කිරීමට විමල් වීරවංශට අවසර ඇති බවද අධිකරණය සිය තීන්දුවේ සඳහන් කර ඇත.
බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මහාධිකරණය විසින් පනවා තිබූ රුපියල් ලක්ෂයක අතිරේක වන්දි මුදල ද ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විමල් වීරවංශට නියෝග කර ඇත.
ඒ අනුව විමල් වීරවංශට, ටිල්වින් සිල්වාගෙන් හොරකම් කළ බුද්ධිමය දේපල නැවත භාවිතා කරමින් කෘතිය මුද්‍රණය කර විකිණීම තහනම් වේ.
