පළමු වරට විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් විශේෂ දිනයක්

LIVE

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ මහජනතාව මුහුණපා සිටින ගැටලු හා ඔවුන්ගේ දුක් ගැනවිලි සෘජුවම ඉදිරිපත් කර ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම් ලබා ගැනීමට අවස්ථාව සලසමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් විශේෂ මහජන දිනයක් සැප්තැම්බර් (16) දින කොළඹ පිහිටි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත් වීම අවශ්‍ය වන කරුණු සඳහා කඩිනම් අවධානය යොමු කරමින්, ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගි වූවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා දුක් ගැනවිලි පිළිබඳව අවධානය යොමු කළ අතර, ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාවම නියෝජනය වන පරිදි වැටුප් හා ලේඛණ භාර නිලධාරීන්, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනුරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය භාර නිලධාරීන් ද සහභාගි වූහ.

මෙහිදී සහභාගි වූවන් විසින් ඉදිරිපත් කළ කරුණු සඳහා අවශ්‍ය මැදිහත්වීම් හා විසඳුම් ලබාදීම සඳහා මෙම නිලධාරීහු සහාය වූහ. එමෙන්ම, මෙවන් ආකාරයේ නිසි විසදුම් එම ස්ථානයේදීම ලබාදෙන මෙවන් වැඩසටහනක් පැවැත්වුයේ ප්‍රථම වරටය.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest