දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කරමින් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සේවා සැපයීම, ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ මාපලගම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළ මෙම ඒකාබද්ධ සත්කාර සේවාව, නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
මාංශපේශී හා අස්ථි සන්ධි ආශ්රිත වේදනා කළමනාකරණය (Musculoskeletal Pain Management) සඳහා දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම ඒකාබද්ධ කළ ප්‍රතිකාර වැඩසටහන පසුගිය මාස 08කට අසන්න කාලයක් මෙලෙස ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව (2023-2033) මගින් බෝ නොවන රෝග සේවා සැපයීමේ ඒකාබද්ධ ප්රවේශයේ කොටසක් ලෙස දේශීය වෛද්‍ය අංශය පැහැදිලිව හඳුනාගෙන ඇති බව කියා සිටි අමාත්‍යවරයා රෝගී සත්කාරක සේවාවන් පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු සහ පළාත් පාලන දෙපාර්තමේන්තු මගින් සිදු කරන බව අවධාරණය කළේය.
එහිදී දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය සහ ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන බවද පැවසීය.
එසේම පාකින්සනිස්ම (Parkinsonism) සඳහා සාමාන්‍ය උපදෙස් ගැනීම් සහ ආධාරක සිද්ධ වෛද්‍ය සේවා ලබා ගත හැකි අතර මොළයේ අංශභාගය (Cerebral palsy) සහ ඩවුන් සින්ඩ්‍රෝමය (Down syndrome) සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ආයතන මගින් ආධාරක පුනරුත්ථාපන වැඩසටහන් ලබා ගත හැකි බවත් පිළිකා සඳහා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සමග සම්බන්ධීකරණයෙන් පෝෂණ උපදෙස්, ආධාරක සත්කාර සහ පුනරුත්ථාපනය ලබා දෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
වැඩිහිටි රෝගීන් දුර බැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනීම අවම කිරීම සඳහා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම සෞඛ්‍ය ආයතන මගින්, ඇතැම් පළාත් තුළ වැඩිහිටි නිවාස මට්ටමින්, ප්‍රජා මූලික වෛද්‍ය සේවා මගින්, ප්‍රජා වෛද්‍ය නිලධාරීන් (CMOs) මගින් ග්‍රාමීය මට්ටමින්, ප්‍රජා සෞඛ්‍ය සත්කාර සේවා මගින්, පළාත් මට්ටමින් ආයුර්වේද සිද්ධ සහ යුනානි වෛද්‍ය ක්‍රම මගින් වැඩිහිටි සත්කාර සේවා සැපයීම, වෛද්‍ය සභාව මගින් ලියාපදිංචි වන පාරම්පරික වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සහ පළාත් සභා මගින් සේවා සැපයීම සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මගින් පළාත් මට්ටමින්, පළාත් 06 ක වැඩිහිටි සත්කාර සේවා පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම ආදී ක්‍රමවේද මගින් වැඩිහිටි රෝගී සේවා සපයනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
