ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පෞද්ගලික දිනපොතකින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම ජීවිත කාලය තුළ අවස්ථා තුනකදී යක්ෂයා දුටු බවත් එක් අවස්ථාවක නිරයේ දොරටු දුටු බව සිය පෞද්ගලික දිනපොතේ සටහන් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 1992 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ සිය පෞද්ගලික දිනපොතේ ලියා තැබූ සටහන් ඇතුළත් මෙම කෘතිය, කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් විසින් සංස්කරණය කර ඇත.

මෙතෙක් ලොවට හෙළි නොවූ පෞද්ගලික හා ආධ්‍යාත්මික අත්දැකීම් රැසක් ඇතුළත් එම දිනපොත, The Private Diary of Pope Francis නමැති කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කෘතිය පිටු 160කින් සමන්විත වන අතර භාෂා පහකින් රටවල් 94ක ප්‍රකාශයට පත්කර ඇති අතර ඉංග්‍රීසි සංස්කරණය අමෙරිකාවේ සහ එක්සත් රාජධානියේ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කර ඇත.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ බිය, ආධ්‍යාත්මික අරගල සහ දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය පිළිබඳ මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් මෙම කෘතිය හරහා ලොවට අනාවරණය වී ඇත.

Buenos Aires අගරදගුරු ධුරය දැරූ සමයේ අවස්ථා තුනකදී තමන් යක්ෂයා දුටු බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සටහන් කර ඇත.

වසර 15කට පමණ පෙර මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එහි කවුළුවෙන් යක්ෂයා දුටු බවත් තවත් අවස්ථාවක කර්මෙලයිට් දේවස්ථානයකදී ගිනි දැල්වෙන දෑසින් යක්ෂයා තමන් දෙස බලා සිටි බවත් තුන්වැනි වතාවට රෝමයේදී යක්ෂයා දුටු අතර ඔහුගේ හඬද ඇසුණු බව උන්වහන්සේ සඳහන් කර ඇත.

පසුගිය 2018 ජූනි (07) වැනිදා තැබූ සටහනක ඊට පෙර රාත්‍රියේ තමන් නිරයේ දොරටු දුටු බව උන්වහන්සේ සඳහන් කර ඇත.

යක්ෂයා නිර්භීතව සහ කපටි ලෙස සැරිසරමින් සිටින බව 2021 ජනවාරි (24) වැනිදා තැබූ සටහනක ලියා ඇති අතර එවැනි අත්දැකීම් වලින් මිදීමට දෙවියන් වහන්සේ තමන්ට උපකාර කළ බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

මෙම කෘතියෙන් යක්ෂයා පිළිබඳ අත්දැකීම් පමණක් අනාවරණය නොවන අතර තමන් මුහුණ දුන් බිය, පසුතැවීම්, ස්වයං විවේචන, සෞඛ්‍ය ගැටලු සහ ආධ්‍යාත්මික අරගල පිළිබඳව උන්වහන්සේ එහි සටහන් කර ඇත.

මෙම පෞද්ගලික සටහන් ලෝකයට හෙළි කිරීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තමන්ට භාරදුන් බව කාදිනල් ෆර්නැන්ඩස් පවසයි.

1 Comment
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel