Local news

පාස්කු නඩුවේ තීරණාත්මක අවස්ථාව.. වහාම විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කරයි

පාස්කු නඩුවේ තීරණාත්මක අවස්ථාව.. වහාම විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ මහ නඩුවේ පැමිණිල්ලේ තීරණාත්මක සාක්ෂි විභාග කෙරෙන වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එම නඩුව විභාග කරන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදි සංඛ්‍යාව ඊයේ (05) දින සිට ඉහළ නංවා ඇති බව වාර්තා වේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (සභාපති), මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක සහ මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් යන මෙම විශේෂ විනිසුරු මඬුල්ල හමුවේ පාස්කු මහ නඩුව දිනපතා විභාග වේ.

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වෙයි.

මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ තීරණාත්මක තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වෙමින් පවතියි.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළේය.

ලෝකයේ අංක 01ක අපේ රුමේෂ්

ලෝකයේ අංක 01ක අපේ රුමේෂ්

ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ අංක 01 ක්‍රීඩකයා බවට පත්ව ඇත.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි මෙලෙස ලොව පළමු ස්ථානය දිනාගෙන ඇත.

ඒ අනුව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ රුමේෂ් තරංගයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට

“හෝමූස් සමුද්‍ර සන්ධිය” කඩිනමින් යළි විවෘත නොකළහොත් ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ඉරානය සිදුකළ දැඩි ඉල්ලීම් මත පමණක් තමන් ගැටුම් නවතා යළි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.

එහෙත්, තමන් ඊට පෙර සූදානම්ව සිටියේ දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම ප්‍රහාර මාලාව ඉරානයට එල්ල කිරීමට බවද ජනාධිපති ඩොනල්ඩ් සඳහන් කරයි.



යුක්‍රේනයේ අගනුවර දෙදරයි.. රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

යුක්‍රේනයේ අගනුවර දෙදරයි.. රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාව බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේන කියෙව් අගනුවර, අවට කලාපයේ සැපයුම් මධ්‍යස්ථාන සහ ගබඩා වලට පහර දුන් බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර යුක්‍රේනයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවදුරටත් වැඩි කරන බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

තෙල් මිල තවත් පහළට

තෙල් මිල තවත් පහළට

අද (06) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.28 දක්වා පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.02ක් දක්වා පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.91 දක්වා පහළ ගොස් ඇත.

වෙබ් අඩවි 24කට ලංකාවට පිවිසීම තහනම්

වෙබ් අඩවි 24කට ලංකාවට පිවිසීම තහනම්

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ලංකාව තුළ පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇත.

බලය අතේ තියාගෙන සෙල්ලම් කරපු අකිලගේ පැටිකිරිය එළියට

බලය අතේ තියාගෙන සෙල්ලම් කරපු අකිලගේ පැටිකිරිය එළියට

අත්අඩංගුවට ගත් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් ලබන (18) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේය.

මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,

“ස්වාමීණී.. 2025 වසරේ ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකිරීම ආරම්භ කළා.“

“මෙම සැකකරු 2022 වසරේ ජූලි මස හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස පත්වීමෙන් අනතුරුව මාස එක හමාරකින් පමණ පසුව අධ්‍යාපන අමාත්‍යාශයේ සේවකයින් දෙදෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයින් දෙදෙනෙකු තම කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අදාළ සේවකයින් දෙදෙනා මොහුගේ කාර්යාලයට අනුයුක්ත වීම සිදු වෙනවා. ඉන්පසුව තමාට තාවකාලික පදනම යටතේ සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා සැකකරු ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තාවකාලික පදනම යටතේ කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු බඳවා ගැනීමටත් කටයුතු කරනවා.

මෙසේ බඳවා ගත් තාවකාලික සේවකයින් දෙදෙනා ඉවත්ව ගිය පසු ඒ ආකාරයෙන් ම තවත් සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වෙනවා. මෙසේ තාවකාලිකව බඳවාගත් සේවකයින් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරලා නැහැ.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා කර ඇඟිලි සලකුණු තැබීම හෝ පැමිණීමේ ලේඛනවලට අත්සන් තැබීමක් සිදු කර නැහැ. නමුත් මොවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා තිබෙනවා. මෙසේ බඳවා ගත් සේවකයින්ගෙන් තුන් දෙනෙකු මෙම සැකකරුට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක සේවයේ යොදවා තිබෙනවා.

මින් සේවකයින් දෙදෙනෙකු 2024 වසරේ විදේශගත වීමෙන් පසුවත් මාස දෙකක් වැටුප් ගෙවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. මින් එක් සේවකයෙකු මේ වන විටත් ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර වශයෙන් කටයුතු කරනවා.

මොහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ප්‍රකාශය සටහන් කළ දින සිට දින තුනකින් පසුව මේ සේවකයා දිවුරුම් ප්‍රකාශයක් රැගෙන අල්ලස් කොමිසමට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා, තමන් කලින් ලබාදුන් ප්‍රකාශයේ යම් යම් වෙනස්කම් තිබෙන බවත් දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත්.

එම දිවුරුම් ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබෙනවා සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් කුලියාපිටියේ පිහිටි ඉන්ධන පිරවුම් හල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබුණු බවට. කලින් දුන් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කළේ නෑ.

මේක එම සාක්ෂිකරු මුලින්ම ලබාදුන් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනියි. එල්ල වූ බලපෑමක් හේතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය මෙම සැකකරු විසින් ඉදිරිපත් කර ඇති බවට සැක පහළ වී තිබෙනවා. එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඒ වගේම ප්‍රකාශය සටහන් කර ගත් අවස්ථාවේදී මේ සැකකරු විසින් ලේඛන කිහිපයක් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඒ අතරින් සමහර ලේඛන මෙම වසරේ සකස් කළ ඒවා බවට සැක පහළ වී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදුකළ යුතුයි.”

අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කරමින් සඳහන් කළේ,

“ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම විමර්ශනයට අංශ දෙකකින් බලපෑම් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. මෙම විමර්ශනයේ සාක්ෂිකරුවෙකු මුලින් ම අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයට පරස්පර කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් පසුව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා.

කිසියම් බලපෑමක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි අධිකරණයට අනුමිතියකට එළඹීමට හැකියාව තිබෙනවා. එමෙන් ම සැකකරු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන පවතින බවටත් එම කොමිසම සිය බී වාර්තාවෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදුකළ යුතුයි.”

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සේවකයින් සේවයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද නියම කළේය.

අර්ජුන මහේන්ද්‍රන් බේරන්න රනිල් අරලියහ මන්දිරේ ගහපු ගේම් එක

අර්ජුන මහේන්ද්‍රන් බේරන්න රනිල් අරලියහ මන්දිරේ ගහපු ගේම් එක

බැඳුම්කර වංචාව ගණුදෙනුව කතාකරන්න රනිල් වික්‍රමසිංහ කෝප් කමිටුව අරලියගහ මන්දිරයට කැඳවු බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ,

“මට අද වගේ මතකයි. මම අතන පුටුවේ හිටියා, රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙතන හිටියා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කීවේ මොකක්ද.? අර්ජුන මහේන්ද්‍රන් වෙඩින් එකකට යනවා සිංගප්පූරුවේ.

එයා ඕන වෙලාවක ගෙන්නලා දෙන්නම් කීවා. මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණා. අදත් වෙඩින් එක ඉවර නෑ තාම එයාට. අර්ජුන මහේන්ද්‍රන්ගේ වෙඩින් එක තාම ඉවර නෑ. එහෙම තමයි එදා විනිවිදභාවය ක්‍රියාත්මක වුණේ. ඩොලර් මිලියන ගණන් මේ රටට පාඩු වුණා.”

“තාම මේ ක්‍රියාවලිය ඉවර නෑ. මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව ගණුදෙනුව තාවකාලිකව බහාතබලා තියෙන්නේ. හරිද ඒක බහාතබලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා ඒකත් විභාගයට ගන්න තියනවා.”

“ඡන්දෙ කරන්න සල්ලි නැති නිසා සිරිකොතේ, අධිවේගී මාර්ගවල ණය ගෙවන්න සල්ලි නැති නිසා කියලා මාමලා බෑණලා ගිහිල්ලා සාකච්ඡා කරලා මහ බැංකුවට ගැහුවේ සයිබර් ඇටෑක් එකක් නෙමෙයි. මනුස්ස ඇටෑක් එකක්.

ඒක ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්න අය දන්නවා. හෘද සාක්ෂියේ තියෙන දේ නීතිය හමුවට ගේන එක තමයි දැන් අපිට තියෙන ජන වරම. අපට ජනතාව ඡන්දය දීලා තියෙන්නේ මොකක්ද.

ඒ ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්න, අපේ දන්න, අපට දැනෙන, සාක්ෂි සටහන් වලදී ඒ දවස්වල සජීවි විකාශය තිබුණේ නැති නිසා ඔබතුමාලා කියපුවා, කරපුවා අපි දන්න, ඒ ගණුදෙනුවේදී සාක්ෂි වසන් කරන්න පගාව ගත්ත කට්ටිය කියපු කරපු දේවල් දන්න ඒවට පොත් ලියපු අය ඉන්නවා මේකේ.

ඒවා වහන්න. ඒවා දන්න දේවල් දැන් නීතිය හමුවේ ඔප්පු කරන්න තියෙනවා. ඒවා සාකච්ඡා කරපුවා, ගෙවල් බදු දීපුවා, ගෙවල් රෙන්ට් එකට දීපුවා, ගෙවල් ලැබිච්ච තෑගි දීපුවා, එපාට්මන්ට් හම්බෙච්ච ඒවා, ඒවා අපි දන්නවානේ.

මේකේ 159ක් හිටියට, මේකේ හය, හත් දෙනෙක් ඉන්නවා සාක්ෂි කාරයෝ. සජීවී සාක්ෂි කාරයෝ. පාර්ලිමේන්තුවේ රැස්වෙන කෝප් එක අරලියගහ මන්දිරයේ රැස්වුණේ. මතකයි නේ. පාර්ලිමේන්තුවේ රැස්වෙන කෝප් එක අරලියගහ මන්දිරයේ රැස්වුණා.”

“එතකොට අර්ජුන් මහේන්ද්‍රන් එදා අරලියගහ මන්දිරයට කැඳවලා තිබුණා. මේ රටේ බැඳුම්කර වංචාවේ ගණුදෙනු කතාකරන්න කෝප් කමිටුව කැඳෙවුවා රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට.

එයාර් බස් ගණුදෙනුව සාකච්ඡා කරන්න චමල් රාජපක්ෂල කෝප් එක කැඳෙවුවා කතානායක නිල නිවාසයට. එහෙම ඉතිහාසයක් මේ අපි පහුකරලා ආවේ. එහෙම ඉතිහාසයක් නිවැරදි කරන්න නම් මොකක්ද කරන්න ඕන.? අධිකරණය හරියට තියෙන්න ඕන.”

දිලිත්, විමල්, ගම්මන්පිලට අධිකරණ අපහාස නඩු

දිලිත්, විමල්, ගම්මන්පිලට අධිකරණ අපහාස නඩු

දිලිත් ජයවීර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සුගීෂ්වර බණ්ඩාර,අසංක නවරත්න, මහින්ද පතිරණට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (05) දින නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පසුගිය ජූලි (07) සහ (15) අතර පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවළිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පලකිරීමේ චෝදනාවට අදාළව එම නියෝගය කර ඇත.

ජූනි (07) වනදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වෙමින් සහ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් මොවුන් අධිකරණයට අපහාස කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණේය.

මේ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (05) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ කරුණු වාර්තා කළේය.

මෙම පුද්ගලයින්ගේ ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇතැයි බැලූ බැල්මට පෙනී යන බව එහිදී මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම තීරණය අභියාචනාධිකරණය වෙත දැනුම් දීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

“ඉවත් වෙනු” ලංකාව සුද්ද කරන්න ඉන්දියාවේ උපරිම සහාය

“ඉවත් වෙනු” ලංකාව සුද්ද කරන්න ඉන්දියාවේ උපරිම සහාය

මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිශ්‍රී (Vikram Misri) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (05) පස්වරුවේ පැවැත්විණි.

මෙහිදී දෙරට අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන සබඳතා පිළිබඳ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනුණි.

2022/2023 පැවති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම දිට්වා ආපදා අවස්ථාවේදී ලබා දුන් මානුෂීය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ලබා දුන් සහයෝගයත්, විශේෂයෙන් මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ මෙරට බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට ලබා දුන් සහාය පිළිබඳවත් කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේය.

ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතියද සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඉන්දියාවේ සහාය අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා කලාපීය තර්ජනයක්ව ඇති නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී ඉන්දියාවේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

කාලගුණ විපර්යාසය හමුවේ මුහුණ දෙන අභියෝග වලට පිළියම් සෙවීමේදී කලාපීය රටවල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ ලේකම්වරයා විෂ මත්ද්‍රව්‍ය උවදුර මුළිනුපුටා දැමීමේ රජයේ වැඩපිළිවෙළට ඉන්දියාවේ උපරිම සහයෝගය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද සඳහන් කළේය.

එසේම, තාක්ෂණය, බලශක්තිය සහ වෙළෙඳ ඇතුළු ක්ෂේත්‍රයන්ට අදාළව දෙරට අතර පවතින සහයෝගය දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ සැලසෙන අන්දමින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා විය.