Local news

පාකිස්තානයේ බිහිසුණු බස් අනතුරෙන් 40ක් මරුට

පාකිස්තානයේ බිහිසුණු බස් අනතුරෙන් 40ක් මරුට

පාකිස්තානයේ අධිවේගී මාර්ගයක ගමන් කළ බස් රථයක් පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇත.

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරයි

යෝෂිතගේ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභ කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ අන්තර්ගත “කුමන්ත්‍රණය” නමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) නිෂ්ප්‍රභ කළේය.

යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

රඛිත සහ චරිත් අද අධිකරණයට

රඛිත සහ චරිත් අද අධිකරණයට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේග හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අද (03) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේය.

2023 වසරේ මාර්තු මාසයේදී රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍ය වෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇත.

එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතු වලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී ඇත.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

හෙට (04) දින පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.

තවද දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද එදින සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවයි.

රුපියල් 100ක් ඉල්ලා සිසුන්ට පහරදුන් චන්ඩි අත්අඩංගුවට

රුපියල් 100ක් ඉල්ලා සිසුන්ට පහරදුන් චන්ඩි අත්අඩංගුවට

කුරුණෑගල කාර්මික විද්‍යාලයක සිසුන් පිරිසක් පසුගිය මස (25) වන දින රුපියල් 100ක මුදලක් ඉල්ලා එය ලබා නොදීම මත පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධව කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරින් විමර්ශණ කටයුතු සිදුකර සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පහරකෑමට ලක්වූ සිසුන් දෙදෙනා කුරුණෑගල බමුණුගෙදර ප්‍රදේශයේ නේවාසිකව සිටිමින් වයඹ ටෙක් කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර නේවාසිකාගාරයට යන මාර්ගයේදී සිදුවූ බහින්බස්වීමක් මත මෙම පහරදීම සිදුව ඇත.

මෙම පහරදීමේ සිද්ධියෙන් තුවාල ලැබූ වයස අවුරුදු 19ක් වන සිසුන් දෙදෙනා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

සිද්ධියට අදාළව ලැබුණු පැමිණිලි මත පොලිසිය විමර්ශන කණ්ඩායම් දෙකක් යොදවා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් සිව්දෙනෙකු (30) දින අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19, 24, 25 වයස්වල පසුවන ගෙපල්ලව, වීරඹුගෙදර, උහුමිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (01) දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අයුතු ජනරාශියක සාමාජිකයින්ව සිට බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීම, පුද්ගලයින් දෙදෙනකුට පහරදී තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට නඩු පවරා ඇත.

ලෝකයේ හොඳම දූපත ලෙස ‘ශ්‍රී ලංකාව’ නම් කරයි

ලෝකයේ හොඳම දූපත ලෙස ‘ශ්‍රී ලංකාව’ නම් කරයි

ලෝකයේ හොඳම දූපත් 50ක ලැයිස්තුවට අනුව 2026 වසර සඳහා සංචාරක ගමනාන්ත ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

ජාත්‍යන්තර සංචාරක මාධ්‍යයක් වන “Big 7 Travel” විසින් සිදුකළ නවතම ඇගයීමට අනුව ලෝකයේ හොඳම දූපත් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සංස්කෘතික උරුමය, සංචාරක අත්දැකීම් සහ ගෝලීය ජනප්‍රියත්වය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

ග්‍රීසිය, පෘතුගාලය, අයර්ලන්තය, තායිලන්තය වැනි දීර්ඝ කාලයක් ලොව ප්‍රමුඛ දූපත් සංචාරක ගමනාන්ත ලෙස සැලකුණු රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව ඇත.

ලෝකයේ හොඳම දූපත් 10 පහතින්..

1. Sri Lanka

2. Mo’orea, French Polynesia

3. Socotra, Yemen

4. Madeira, Portugal

5. Galápagos Islands, Ecuador

6. Great Exuma, Bahamas

7. Seychelles

8. Achill Island, Ireland

9. Koh Lipe, Thailand

10. Milos, Greece

සංචාරකයන්ගේ අවධානය වැඩිවීමත් සමඟ, ශ්‍රී ලංකාව ලෝක දූපත් සංචාරක කර්මාන්තයේ නව මිණුම් දණ්ඩ බවට පත්වෙමින් සිටින බව එම ඇගයීමේදී අවධාරණය කර ඇත.

පාකිස්ථාන ආරක්ෂක ලේකම් මෙරට ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

පාකිස්ථාන ආරක්ෂක ලේකම් මෙරට ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි

6 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන ඉස්ලාමීය ජන රජයේ ආරක්ෂක ලේකම්, ලුතිනන් ජෙනරල් Muhammad Ali (විශ්‍රාමික) අද (02) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) හමු වී සුහද සාකච්ඡාවක නිරත විය.

මෙහිදී මෙරටට පැමිණි පාකිස්ථාන ආරක්‍ෂක ලේකම්වරයාව ඉතා උණුසුම් අයුරින් පිළිගත් ආරක්ෂක ලේකම්වරයා, ඔහු සමඟ සුහදශීලී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී ඔවුන් විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා -පාකිස්ථාන ආරක්ෂක සංවාදය, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු අවස්ථා මෙන්ම, පොදු උපායමාර්ගික වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ මාර්ග ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන පුළුල් පරාසයක කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන

බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන

සීනි අන්තර්ගත දියර ආහාර සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

1980 අංක 26 දරන ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් මෙම සංශෝධන නියෝග නිකුත් කර ඇති අතර ඒවා ජුනි (23) දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත.

ඒ අනුව සීනි අන්තර්ගත දියර ආහාරවල ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ සංකේත ලාංඡනවල සැලසුම සහ ප්‍රදර්ශන ආකාරය පිළිබඳ නව නියමයන් හඳුන්වා දී ඇත.

තවද වීදුරු බෝතල්වල ඉඩකඩ සීමිත අවස්ථා වල භාවිත කළ හැකි විකල්ප ලාංඡනයක් හඳුන්වා දී ඇත.

රටේම ජනතාව කැමති නාමල් රාජපක්ෂ හිරේ යන්න බය නෑ

රටේම ජනතාව කැමති නාමල් රාජපක්ෂ හිරේ යන්න බය නෑ

බන්ධනාගාරගත කරන බවට තර්ජනය කරමින් නාමල් රාජපක්ෂව බිය ගැන්විය නොහැකි බවත් ඔහු දේශපාලන මර්දනයන්ට බිය නොවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

වත්මන් රජයට සහ විරුද්ධවාදීන්ට ඇති ලොකුම දේශපාලන අභියෝගය නාමල් රාජපක්ෂ වී ඇති බැවින් කෙසේ හෝ එම අභියෝගය නතර කරගැනීමේ පටු අරමුණින් මෙම දේශපාලන මර්දනයන් දියත් කර ඇති බවද මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

තමන්ට රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය කෙරෙහි පූර්ණ විශ්වාසයක් පවතින නමුත් වත්මන් පාලනය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරනු ලබන මාලිමාවේ පොලිසිය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවද මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

රටේම බහුතර ජනතාවක් මේ වනවිට නාමල් රාජපක්ෂ වටා රොද බඳිමින් සිටින බවත් එම ජනතා ආකර්ෂණය දරාගත නොහැකිව වත්මන් පාලකයින් නීතිය අවභාවිත කරමින් ඔහුව මර්දනය කිරීමට උත්සාහයන් ගන්නා බවද මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී ඩී.වී. චානක මේ බව සඳහන් කරයි.