Local news

අසනීප සනීප වූ රනිල් ලංකාවෙන් යයි

අසනීප සනීප වූ රනිල් ලංකාවෙන් යයි

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංචාරයක් සඳහා භූතානය බලා පිටත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද මෙම සංචාරය සඳහා එක්ව සිටියි.

අලංකාර ස්වාභාවික පරිසරයකට සහ අද්විතීය සංස්කෘතියකට හිමිකම් කියන භූතානයේ සංචාරය කරමින් එහි විහාරස්ථාන වන්දනා කිරීම මෙම සංචාරයේ එක් අරමුණක් බව වාර්තා වේ.

හිරේ ඉන්න බෑ.. චමින්දගෙන් අභියාචනයක්

හිරේ ඉන්න බෑ.. චමින්දගෙන් අභියාචනයක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ල කිරීමේ චෝදනා වලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් (28) මාස 18ක සිරදඬුවමක් නියම කළේය.

සමගි ජන බලවේග මන්ත්‍රී චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බව බදුල්ල මහාධිකරණය තීරණය කළේය.

මේ අතර මාස 18ක සිරදඬුවම් නියම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම්පතක් බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.

මුජිබර් නැවතත් කොමිසමට කැඳවයි

මුජිබර් නැවතත් කොමිසමට කැඳවයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (30) දින ගල්අඟුරු ගනුදෙනු විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ගල්අඟුරු ගනුදෙනු විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

ගල්අගුරු ගනුදෙනු වලට අදාල ලියකියවිලි ගණනාවක් මන්ත්‍රී මුජිබර් රහුමාන් එම කොමිෂන් සභාවට පසුගියදා බාර දුන්නේය.

එම ලියකියවිලිවල අඩංගු තොරතුරු සම්බන්ධයෙන් ඔහුගෙන් අද ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

නාමල් ඇතුළු පිරිසට දුන් නියෝගය

නාමල් ඇතුළු පිරිසට දුන් නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවයි.

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස (29) වෙනිදා ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ පණිවිඩයක්

ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ පණිවිඩයක්

අද (30) දිනට යෙදෙන ලෝක තැනැත්තන් වෙළඳාමට එරෙහි දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් නිකුත් කරන ලද පණිවිඩය.

තැනැත්තන් වෙළඳාමට එරෙහි ලෝක දිනය සෑම වසරකම ජුලි මස (30) වන දිනට, එනම් අද දිනට යෙදී ඇති බැවින්, ශ්‍රී ලංකාව ද ලෝක ප්‍රජාව සමඟ එක්ව සිටින අතර මෙම දිනය අපට සිහිපත් කර දෙන්නේ තැනැත්තන් වෙළඳාම යනු තවදුරටත් දුරස්ථව පමණක් සිදුවන අපරාධයක් නොවන බවයි.

එය දේශසීමා හරහා මෙන්ම අපගේම සමාජය තුළ, රැකියා ස්ථානයන් තුළ, අන්තර්ජාලය සහ නීත්‍යානුකූල බවට පෙනෙන අවස්ථා පවා අවභාවිත කරමින් සිදුවිය හැකි අපරාධයක් බවයි.

මෙවර ලෝක දිනයේ තේමාව වන “Trapped Behind the Scam” වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින නව තර්ජනයක් පිළිබඳව අවධාරණය කරයි.

තවද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පුද්ගලයන් රවටා, ඔවුන්ට තර්ජනය කරමින් හෝ බලහත්කාරයෙන් අන්තර්ජාල වංචා සහ මූල්‍ය වංචාවන් සඳහා යොදවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙවැනි වංචාවන් පිටුපස, තැනැත්තන් වෙළෙඳාමේ වින්දිතයින්ද සිටිය හැක.

අපරාධයක නිරත වන බව පෙනෙන තැනැත්තෙකු, තර්ජනය කිරීමෙන්, බලහත්කාරයෙන්, වංචාවෙන්, රැවටීමෙන් හෝ ඔහුගේ හෝ ඇයගේ පීඩාකාරී තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමෙන් තැනැත්තන් වෙළෙඳාමට ගොදුරු වූ වින්දිතයෙකු විය හැකිය.

එබැවින්, එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේයක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙලෙස වෙනස් වන තැනැත්තන් වෙළඳාමේ නව ස්වරූපයන්ට ගැළපෙන ප්‍රතිචාරයක් සඳහා සියලු පාර්ශවයන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතු ක්‍රියා පිළිවෙතක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරයි.

තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයින් හඳුනා ගැනීම, ඔවුන්ට ආරක්ෂාව සහ සහාය ලබා දීම, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණ වීම සහ වින්දිතයින්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවී සිටී.

එහෙත්, මෙම ප්‍රයත්නය රජයේ වගකීමක් පමණක්ම නොව, සෑම පුරවැසියෙකුටම, සෑම ආයතනයකටම සහ සෑම ප්‍රජාවකම වගකීමක් බව මතක් කර දෙනු කැමැත්තෙමි.

මෙම ජාත්‍යන්තර දිනයේදී, සියළු දෙනාගේ මානව ගෞරවය ආරක්ෂා කිරීම, වින්දිතයින් හා සම්බන්ධව සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම සහ මිනිසුන් සූරාකෑමට ලක්කරමින් ලාභ ලබන අපරාධ ජාල පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස මා සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

අවසන් වශයෙන් කිසිදු මනුෂ්‍යයෙකු වෙළෙඳ භාණ්ඩයක්, සූරාකෑමේ මෙවලමක් හෝ මෙම අපරාධයේ ගොදුරක් නොවන සමාජයක් ගොඩනැගීමට අපි සැවොම එක්ව කටයුතු කරමු.

මැදපෙරදිග ගැටුම් දරුණු අතට.. අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

මැදපෙරදිග ගැටුම් දරුණු අතට.. අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්

ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි.

මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර මාලාව දියත් කර ඇත.

පසුගියදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලට එරෙහිව මෙම ප්‍රබල ප්‍රතිචාරය ලබා දුන් බව අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය සඳහන් කරයි.

පහළ ගිය තෙල් මිල නැවතත් ඉහළ⁣ට

පහළ ගිය තෙල් මිල නැවතත් ඉහළ⁣ට

අද (30) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.60 දක්වා ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.60 දක්වා ඉහළ ගොස් ඇත.

තවද, MURBAN බොරතෙල් බැරලයක මිල 86.00 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළියක්

අද දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළියක්

අද (30) දින දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“බුදු බණ ඇසුවා නිරන්තරේ.. අපි තවමත් වනන්තරේ”

“බුදු බණ ඇසුවා නිරන්තරේ.. අපි තවමත් වනන්තරේ”

මේ රටේ තිබෙන තනතුරු වලින් වැඩියෙන්ම බැනුම් අහන තනතුර ජනාධිපති තනතුර බවත් කවුරු ජනාධිපති වුණත් එලෙස බැනුම් ඇසීමට සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ,

“බුදු බණ ඇසුවා නිරන්තරේ.. අපි තවමත් වනන්තරේ..”

“අපි පන්සල් යනවා. මල් පූජා කරනවා. සිල් ගන්නවා. ඒ ඒ, හැබැයි රටේ ජනගහනය 20%ක් විතර ඉන්නවා ඒ වගේ සිල්වත් අය. එතකොට පන්සිල් රකින අය ඉන්නවා. නමුත් සමාජය ගත්තාම බහුතරයක් කොච්චර බණ ඇහුවත් ඒගොල්ලන් වෙන පැත්තකට තමයි ගිහිල්ලා තිබෙන්නේ.“

“මේ රටේ තිබෙන තනතුරු වලින් වැඩියෙන්ම බැනුම් අහන්න තියෙන තනතුර තමයි ජනාධිපති තනතුර. ඉතින් එත් අපි හොදට හිනාවෙලා මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්නවා. ඉතින් ඒක කවුරු ජනාධිපති වුණත් ඒ විදිහට තමයි.

මොකද දෙකෝටි තිස් ලක්ෂයක් විතර දැන් පැනලා තියෙනවා. ඒක නිසා එක එක්කෙනා, විද්වතුන් ඉන්නවා, නොයෙක් නොයෙක් මට්ටමේ අධ්‍යාපන මට්ටම් වල අය ඉන්නවා. බොහෝ වෙලාවට මේ තිබෙන ප්‍රශ්න තුළ අපි තේරුම් ගන්න ඕන දැන්, බුදුන් වහන්සේ තමයි වැඩියෙන්ම නින්දා අපහාස වින්දේ.

මේක තමයි අපිට, රටට වෙලා තියෙන්නේ. මේ සංවර්ධනය ගැන කතා කරපුවාම කියන්න ඕන මම අවුරුදු 35ක් තමුන්නාන්සේලා මාව පාර්ලිමේන්තුවට ඇරියා එකදිගටම පරද්දන් නැතුව. මම අපරාජිත දේශපාලඥයෙක්. තමුන්නාන්සේලාට පිං සිද්ධ වෙන්න.“

පෝය දින වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

තරුණ විදෙස් කතකට මරු කැඳවූ බෙන්තොට පැරෂුට් අනතුර

තරුණ විදෙස් කතකට මරු කැඳවූ බෙන්තොට පැරෂුට් අනතුර

සැහැල්ලු ගුවන් පැරෂුටයක් කඩා වැටීමෙන් විදෙස් ජාතික කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

අද (29) දින පස්වරුවේ බෙන්තොට වෙරළ මාර්ගයේදී ගුවන්ගත කරන ලද සැහැල්ලු පැරෂුටයක් මුහුදට කඩා වැටීමෙන් එම කාන්තාව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි පලස්තීන ජාතික කාන්තාවක් වන අතර මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම අනතුරින් පැරෂුටය හැසිර වූ කොලොම්බියා ජාතිකයා දිවි බේරාගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.