Local news

රටම කැළඹූ කාවඩි සරමට ඉහළම මිලක්

රටම කැළඹූ කාවඩි සරමට ඉහළම මිලක්

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (29) දින පැවැත්වේ.

මෙම පෙරහැර⁣ට කාවඩි නර්තන කණ්ඩායම් එක්ව සිටි අතර පෙරහැරේ ආරක්ෂාව සඳහා අතිරේක විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය යොදවා ඇත.

පෙරහැරට සහභාගි වන සෑම පිරිමි කාවඩි නර්තන ශිල්පියෙකුම සරමක් මිලදී ගත යුතු බවත් එය අනිවාර්ය වන අතර එම සරම අධික මිල ගණන් යටතේ ලබාගෙන ඇත.

ඒ අනුව කාවඩි නර්තනයට සහභාගී වු එක් පිරිමි අයෙක් එම සරමක් වෙනුවෙන් රුපියල් 40,000කට අධික මුදලක් වැයකර ඇති බව වාර්තා වේ.

මේ අතර පෙරහැරේ බීමතින් හෝ අසෝභන ලෙස හැසිරෙන සියලුදෙනාම එම මොහොතේම අත්අඩංගුවට ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

නව මෙට්‍රෝ බස් 104ක් දිවයිනට

නව මෙට්‍රෝ බස් 104ක් දිවයිනට

මෙරටට ආනයනය කරන ලද නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් අද (29) දින මෙරටට ළඟා වී ඇත.

රජය විසින් පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් නව ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් මෙරටට ආනයනය කළේය.

මෙම බස් රථ තොගය චීනයේ ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගමක් වන ‘Foton International Corporation’ වෙතින් ආනයනය කර ඇත.

මෙම නව ‘මෙට්‍රෝ’ බස් රථ ආනයනය කිරීමට අදාළ නිල ගිවිසුම පසුගිය මැයි මාසයේදී අත්සන් කළේය.

රාජ්‍ය සේවයේ තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස ඉහළ⁣ට

රාජ්‍ය සේවයේ තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස ඉහළ⁣ට

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිට සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත සහ නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීමට අවධානය යොමුව තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගීම රජයක වගකීම බවත් ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතා බහට ලක් වු අපේ රට අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්ව තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ (28) පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

නව අපනයනකරුවන් දහසක් මෙරට අපනයන ක්ෂේත්‍රයට

නව අපනයනකරුවන් දහසක් මෙරට අපනයන ක්ෂේත්‍රයට

නව අපනයනකරුවන් 1000කට වැඩි පිරිසක් මෙරට අපනයන ක්ෂේත්‍රයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

එහිදි සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරන බවද එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කරයි.

මන්නාරමේ දරුවන්ටත් සිසු සැරිය

මන්නාරමේ දරුවන්ටත් සිසු සැරිය

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් “සිසු සැරිය” බස් සේවාව (28) දින සිට ආරම්භ කර ඇත.

මෙහි පළමු අදියර වශයෙන් මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගයේ පාසල් දරුවන් වෙනුවෙන් මෙම සේවාව ක්‍රියාත්මක කර ඇත.

ඉදිරියේදී උතුරු පළාතේ තවත් ප්‍රදේශ ආවරණය වන පරිදි බස් රථ 20ක් යොදවා “සිසු සැරිය” බස් සේවාව පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

මෙම සේවාව යටතේ පාසල් සිසුන්, ගුරුවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන්ට සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් ගෙවා ගමන් කළ හැකි අතර ඉතිරි මුදල රජය විසින් දරනු ලබයි.

අමෙරිකාවෙන් ඉරාකයටත් ගුවන් ප්‍රහාර

අමෙරිකාවෙන් ඉරාකයටත් ගුවන් ප්‍රහාර

අමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ඉරාකයේ සන්නද්ධ කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ගුවන් ප්‍රහාර වලින් ඉරාකයේ 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉරාකයේ ප්‍රාන්ත කිහිපයකටම ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ‘නිනවෙහ්’ (Nineveh) ප්‍රාන්තයට එල්ල වූ ප්‍රහාර වලින් බව වාර්තා වේ.

අමෙරිකානු හමුදා සහ සෞදි අරාබියේ තෙල් පිරිපහදු ඉලක්ක කර ගනිමින් ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් මෙම ඒකාබද්ධ ප්‍රහාරය දියත් කළ බව අමෙරිකාව සඳහන් කරයි.

එක්නැළිගොඩ නඩුවේ සැකකරුවන් හඳුනාගනී.. මුරලිට විශේෂ ආරක්ෂාවක්

එක්නැළිගොඩ නඩුවේ සැකකරුවන් හඳුනාගනී.. මුරලිට විශේෂ ආරක්ෂාවක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිදුවීමට අදාළ නඩුව හෝමාගම මහාධිකරණයේ (28) දින විභාගයට ගත්තේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු දෙකක් මහාධිකරණ වල විභාග වන අතර 2009 අගෝස්තු මස (27) එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතහැරීම සම්බන්ධව එක් නඩුවක් විභාග වේ.

එයට අදාළ නඩුවක් ඊයේ (28) දින විභාගයට ගත් අතර 2010 ජනවාරි මස (24) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අනෙක් නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ විභාග වේ.

මෙම නඩුවේ චුදිතයන් වන්නේ, එවකට යුද හමුදා කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, එවකට ලුතිනල් කර්නල් ප්‍රබෝද සිරිවර්ධන, R.M.P.K රාජපක්ෂ හෙවත් නාදන්, විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්⁣, S.M රවින්ද්‍ර රූපසේන හෙවත් රංජිත්, S.K උළුගෙදර සහ හේමචන්ද්‍ර පෙරේරා නම් යුද හමුදා නිලධාරීන්ය.

මෙම නඩුවේ වැදගත් සාක්ෂිකරුවෙක් වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් “මුරලි” නැමැත්තා ඊයේ (28) දින විවෘත අධිකරණයේදී සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

සාක්ෂිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවමින් හෝමාගම මහාධිකරණ පරිශ්‍රයේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණේය.

තමන් මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ එක්ව කටයුතු කළ බවත් යුද්ධයෙන් පසුව හමුදාවට භාර වී හමුදාව සමඟ එක්ව කටයුතු කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ එහිදී අනාවරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන් සහ ඩොක්ටර් ජයලත් ජයවර්ධන මන්නාරම මඩු දේවාලයේ මංගල්‍යයකට පැමිණි අවස්ථාවක තමන් ඔවුන් සමඟ සම්බන්ධ වූ බවත් ඒ අවස්ථාවේදී සෙල්වම් අඩෛකලනාදන් විසින් ප්‍රගීත් එක්නැලිගොඩව තමන්ට හඳුන්වා දුන් බවද ඔහු සඳහන් කරයි.

තමන් හමුදාවට භාරවන අවස්ථාවේ ප්‍රගීත් එක්නැලිගොඩගේ දුරකථන අංකයක් තම සාක්කුවේ තිබූ බව පැවසූ සාක්ෂිකරු, එම අංකය කාගේදැයි නිලධාරීන් කළ ප්‍රශ්න කිරීමකදී එය එක්නැලිගොඩගේ අංකය බවට ඔවුන්ට අනාවරණය වූ බවද අධිකරණය හමුවේ කියා සිටියේය.

තමන් හමුදාවට භාරවීමෙන් පසුව ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක කාලයක් සිටි අතර ඉන්පසු ගිරිතලේ කඳවුරට තමන්ව රැගෙන ඇවිත් මාංචු දමා රඳවා තැබූ බව සාක්ෂිකරු අධිකරණය හමුවේ පැවසු අතර ඒ අතරතුර දුරකථනයේ ශබ්ද විකාශකය ක්‍රියාත්මක කරමින් තමන් ලවා විවිධ පුද්ගලයින්ට කතා කළ බවද ඔහු සඳහන් කළේය.

සාක්ෂි ලබාදෙන අතරතුර චම්මිකුමාර රත්නම්, ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු විත්තිකරුවන් කිහිපදෙනෙකුම සාක්ෂිකරු විසින් අධිකරණයේදී හඳුනාගනු ලැබු අතර ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන යාමෙන් පසුව කාමරයක තියාගෙන සිටි බවත් මුල් කාලයේ කකුලට මාංචු දමා තිබුද ඔහු සඳහන් කළේය.

එමෙන්ම 2010 වර්ෂයේ ජනවාරි මාසයේදී තමන් ප්‍රගීත් එක්නැලිගොඩ සමඟ කතා කළ බවට සාක්ෂිකරු සාක්ෂි ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට දැඩි විරෝධතාවය පළ කළේය.

2010 සිදුවීමට අදාළව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ වෙනත් නඩුකරයක් පවතින පසුබිමක එම සිදුවීමට අදාළව හෝමාගම මහාධිකරණය හමුවේ තිබෙන වෙනත් නඩුවකදී සාක්ෂි ලබාදෙන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කළා.

හෝමාගම මහාධිකරණයේ විභාග වන්නේ 2009 ඔක්තෝබර් (27) වැනිදා සිදුවූ පැහැරගැනීමට අදාළ සිදුවීම බැවින් එම සිදුවීම් මාලාවට පමණක් සාක්ෂිකරුගේ සාක්ෂි මෙහෙයවීමට විරෝධයක් නැති බවත් සාක්ෂි ආඥා පනතේ 5 වැනි වගන්තියට ප්‍රකාරව විවාදාත්මක කරුණුවලින් පිටතට ගොස් සාක්ෂි ලබාදීමට විරෝධය පළ කරන බවද නීතිඥවරු සඳහන් කළේය.

මෙහිදී රජය වෙනුවෙන් රජයේ නීතිඥ වොක්ස්වෙල් පෙරේරා සාක්ෂි මෙහෙයවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රසික බාලසූරිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

ඉදිරිපත් වූ විරෝධතාව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියෝග කළ හෝමාගම මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුර සාක්ෂි විභාගය සහ නියෝගය ප්‍රකාශ කිරීම ලබන සැප්තැම්බර් (30) වැනිදා දක්වා කල් තැබුවේය.

ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට

ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් සහ පිහිරිපහදු කළ ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය රටේ ජනතාවට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව මීළග ඉන්ධන මිල සංශෝධනය අනිද්දා දිනයේදී යෙදී ඇති අතර එහිදී ඉන්ධන මිලේ වාසිය ජනතාවට ලබාදෙන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

කෙසේ වෙතත් අනිද්දා දින ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මීළග ඉන්ධන මිල සංශෝධනයේදි ඉන්ධන මිල ගණන් ඉහළ දමනවාද.? අඩු කරනවාද.? යන්න පිළිබඳව මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණය මාසික මිල නියම කිරීමේ කාලසීමාව තුළ පවතින ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම්ව සිදු කිරීමට නියමිතව ඇත.

චමින්දගේ මන්ත්‍රී ධුරය අහෝසියි.. රෙදි ගලවා ජම්පරේ අන්දයි

චමින්දගේ මන්ත්‍රී ධුරය අහෝසියි.. රෙදි ගලවා ජම්පරේ අන්දයි

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ල කිරීමේ චෝදනා වලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් (28) මාස 18ක සිරදඬුවමක් නියම කළේය.

මන්ත්‍රී චමින්ද විජේසිරි සහ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා 4කටත්, ඇමති ආරක්ෂක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා 3ටත් වැරදිකරු බව තීරණය කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසර දෙකකට නොඅඩු සිර දඬුවමක් නියම කළ හැකි වරදකට, මාස හයකට වැඩි කාලයක් සිරදඬුවම් නියම කිරීමට අධිකරණය තීන්දු කළහොත්, අදාළ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය වහාම අහෝසි වන බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

එවැනි දඬුවමකට ලක්වන පුද්ගලයෙකුට වසර හතක කාලයක් යනතුරු මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට පවා නීතිමය හිමිකමක් නොමැති බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට එරෙහිව මන්ත්‍රීවරයා ඇපෑලක් හෙවත් අභියාචනයක් ඉදිරිපත් කළහොත්, එම අභියාචනා ක්‍රියාවලිය අවසන් වනතුරු මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවද මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කරයි.

මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක් නියම කිරීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී ධුරය පිළිබඳව නීතිමය ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මේ බව සඳහන් කරයි.

හිටපු නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දකුණු පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් වන පෝද්දිවල කංකානන්ගේ සුනිල් හා විදුර ප්‍රසන්න යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ප්ලාස්ටික් පුටු මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

2019 වසරේ ආණ්ඩුකාරවරයාගේද අනුමැතියකින් තොරව නැවත ප්‍රසම්පාදන කටයුතු සිදුකර ගාල්ලේ පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.