Local news

හෙල්මට් තහනම්.. නීතිය දැඩිව ක්‍රියාත්මකයි

හෙල්මට් තහනම්.. නීතිය දැඩිව ක්‍රියාත්මකයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ප්‍රමිතියෙන් තොර හෙල්මට් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතිවිරෝධී බව එම අධිකාරිය සඳහන් කරයි.

2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 59 දරන විධානය අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිතියට අදාළ SLS ප්‍රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය කර ඇත. 

අපි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ මහින්දට තුන් පාරක් ඉල්ලන්න.. මේ වගේ නෙමෙයි

අපි ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ මහින්දට තුන් පාරක් ඉල්ලන්න.. මේ වගේ නෙමෙයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඔහුට තුන් වරක් ජනාධිපතිවරණයට ඉල්ලන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“පිස්සුව හොඳටම තද වෙනකොට උඩට නැග්ගම ගැඹුර පේන්නේ නෑ. ඉතින් පැනලා බලනවා. අතපය කඩා ගන්නවා. විනාශ වෙලා යනවා. දැන් ආණ්ඩුවේ පිස්සුව හොදටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත් වෙලා තියෙන්නේ.

159, ගරු ජනාධිපතිවරයාගේ බලතල, මේ සියල්ලම දරාගන්න බැරිවෙලා තියෙන්නේ. දැන් උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නෑ. පැන්නට පස්සේ තමයි ආණ්ඩුවටත් තේරෙන්නේ කොච්චර ගැඹුරකද පැනලා තියෙන්නේ කියලා.

පුද්ගල බද්ධව තීන්දු තීරණ ගත යුතු නෑ කියන එක තමයි මගේ විශ්වාසය. මොකද අපේ ඉතිහාසේ පුද්ගල බද්ධව තීන්දු ගත්තානේ. මේ රටේ ව්‍යවස්ථා සංශෝධන අපි ගෙනල්ලා තියෙන්නේ බොහෝ අවස්ථාවල පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන.

එක පාරක් ගෙනාවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපි ගෙනාවා තුන් වරක් ඉල්ලන්න. පුද්ගල බද්ධව. මොකද ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව හිතුවා, තීන්දු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන් වරක් ඉල්ලා යුතුයි කියලා.“

“හරක් කටා” ගැන කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

“හරක් කටා” ගැන කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

රැඳවුම් නියෝග මත අපරාධ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කලේ යැයි චෝදනා කරමින් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉදිරිපත්ව තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කොළඹ මහාධිකරණය අද (30) දින තීරණය කර ඇත.

කෙසේ වෙතත් චූදිතයින් විසින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවද කොළඹ මහාධිකරණය අද නියෝග කර ඇත.

දිස්ත්‍රික්ක රැසකට තද වැසි

දිස්ත්‍රික්ක රැසකට තද වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ස්ථාන වලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආරක්ෂක ලේකම්වරයා පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් හමුවෙයි

ආරක්ෂක ලේකම්වරයා පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රලාභීන් හමුවෙයි

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තාගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පුපුරණ ද්‍රව්‍ය ක්ෂේත්‍රයට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත්, පවතින අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් හඳුනා ගැනීමටත්, නියාමන සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර ලාභීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

සාකච්ඡාව අතරතුර, පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර ලාභීන් විසින් තමන් දැනට මුහුණ දෙන අභියෝග ඉදිරිපත් කරන ලද අතර ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ගේ ගැටලු වලට සවන් දී අදාළ නිලධාරීන්ට සුදුසු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාවේදී පුපුරණ ද්‍රව්‍ය ගබඩා පහසුකම්, පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහතික කිරීම, කල් ‍ඉකුත් වූ පුපුරණ ද්‍රව්‍ය කළමනා කරණය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඇතුලු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය.

ඩොලර් මිලියන 2.5ක වංචාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

ඩොලර් මිලියන 2.5ක වංචාව ගැන පාර්ලිමේන්තු විවාදයක්

අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ විවාදය අගෝස්තු (05) වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අදාළ විවාදය අගෝස්තු (05) වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

අගෝස්තු (04) සිට (07) දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර ඇත.

අගෝස්තු (05) වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

රාජ්‍ය ලාංඡනය ගැලවුණු පාර්ලිමේන්තු වාහන

රාජ්‍ය ලාංඡනය ගැලවුණු පාර්ලිමේන්තු වාහන

පාර්ලිමේන්තුවේ සංචිත වාහන පනහක රාජ්‍ය ලාංඡනය සවිකර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

තවද පාර්ලිමේන්තුවේ වාහන හතළිස් එකක ඉන්ධන දහන පරීක්ෂාව, චක්‍රලේඛ ප්‍රකාරව කර නොතිබුණු බවද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

පිල්ලෙයාන් අභියෝග කළ පෙත්සමට දින නියම කරයි

පිල්ලෙයාන් අභියෝග කළ පෙත්සමට දින නියම කරයි

තමා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට අභියෝගයට ලක් කරමින් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි මස (19) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කර ඇත.

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ ලේකම් සුගීෂ්වරට දුන් නියෝගය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (30) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්  කළේය.

මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුගීෂ්වර බණ්ඩාර එළඹෙන (12) වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව සුගීෂ්වර බණ්ඩාර, ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, රුපියල් දහනව ලක්ෂ තිස්තුන්දහස් හැටපහක මුදලකුත්, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ විසිහයදහස් අටසීය අසූ හතරයි සත පනස් නවයක මුදලක් අවභාවිත කර ඇත.

මාව හිරේ දාන එක අමාරුයි.. ලේසි වැඩක් නෙමෙයි

මාව හිරේ දාන එක අමාරුයි.. ලේසි වැඩක් නෙමෙයි

තමන්ව සිරගත කිරීම පහසු කටයුත්තක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

යම් හෙයකින් එසේ සිදුවුවද පක්ෂයේ ඉදිරි කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු සැලසුම් දැනටමත් සකස් කර ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දීම සඳහා පොදුජන පෙරමුණ පක්ෂය ගම් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කර ඇති බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මාව හිරේ දාන එක නම් ලේසි නෑ. දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපි පැහැදිලිව සැලැස්මක් හදලා තියෙනවා. ශාඛා සමිති බල මණ්ඩල හදන විදිහ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ගම් මට්ටමින් කොට්ඨාස වැඩ ටික කොහොමද කරන්න ඕනේ කියලා.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති විශේෂ පුහුණු වැඩමුළුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.