Local news

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා.. ඇමතිගෙන් ඉල්ලයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න එපා.. ඇමතිගෙන් ඉල්ලයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන ආයතනවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙසට ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාට ලිපියක් යොමුකර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හා ස්ථාවර පැවැත්මට ඉන් බලපෑම් එල්ල වන බැවින් එය සිදු නොකරන ලෙස එම සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකොට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවට ඇති විශ්වාසනීයත්වය සහ අඛණ්ඩ ගෞරවය ආරක්ෂා කරන ලෙසද එම සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට නියමිත අතර එම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් මේ වනවිටත් සිය විරෝධය ප්‍රකාශ කර ඇත.

අති ප්‍රබල එල්-නිනෝ දරුණු වෙයි.. ජනතාව හැකිතාක් වළකින්න

අති ප්‍රබල එල්-නිනෝ දරුණු වෙයි.. ජනතාව හැකිතාක් වළකින්න

එල්-නිනෝ තත්ත්වය තවත් මාස 08ක් හෝ 10ක්, එනම් ලබන වසරේ මාර්තු සහ අප්‍රේල් දක්වා පැවතිය හැකි බවත් ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙය අතිප්‍රබල මට්ටමකට වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.

මෙම තත්ත්වය නිසා ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි නිසා, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙසද අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විටත් ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතීවු සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාව ඉක්මවා ඉතා ඉහළ අගයක පවතින අතර ඉදිරි දිනවලදී එය තවත් ඉහළ යාමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

දැඩි සූර්ය රශ්මියක් පවතින දහවල් 2.00ත් සවස 4.00ත් අතර කාලය තුළ ජනතාව එළිමහන් වැඩබිම්වල රැඳී සිටීමෙන් හැකිතාක් වළකින ලෙසත් සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ඉදිරි දිනවල සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් බලාපොරොත්තු වන අතර ජූලි (29) වැනිදා තරමක් වැඩි වැසි ඇද හැලෙනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ජූලි අවසන් දිනවල සහ අගෝස්තු මුලදී මෙම ප්‍රදේශවලට අඩු-වැඩි වෙමින් වැසි පවතින නමුත් උතුරු, උතුරු මැද, නැඟෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල වැසි රහිත, දැඩි රස්නයක් සහිත කාලගුණයක් පවතිනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

ලබන සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී දිවයිනට වැසි ලැබීමත් සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යා හැකි වුවද, ලබන වසරේ මුල් කාර්තුව සඳහා එම ජලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මුදල් මංකොල්ලකන ශාන්තගේ පුතාට දුන් නියෝගය

මුදල් මංකොල්ලකන ශාන්තගේ පුතාට දුන් නියෝගය

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 02ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

සැකකරුවන් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළේය.

අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

අගමැති මෝදිගෙන් නව කාර්ය සාධන බලකායක්

නව කාර්ය සාධන බලකායක් පත් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන ඇත.

ඉන්දීය විභාග ක්‍රමය වැඩිදියුණු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීමට මෙම නව කාර්ය සාධන බලකාය පත්කළ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්ෆොසිස් සමාගමේ සම නිර්මාතෘ නන්දන් නිලේකානිගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් රජයට ලබාදෙනු ඇති බවද සඳහන් කරයි.

සිසුන්ගේ අනාගතය සමග සෙල්ලම් කළ පිරිස් දැන් සිරගත කර ඇති බවත් විභාග සම්බන්ධයෙන් දැඩි නීතිමය විධිවිධාන සහිත නව නීති සම්පාදනය කිරීමේ මුල් පියවර අද පාර්ලිමේන්තුවේදී ගන්නා බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

නව කාර්ය සාධක බලකායට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ හිටපු සභාපතිවරයෙක්, බුද්ධි තොරතුරු කාර්යාංශ හිටපු අධ්‍යක්ෂවරයෙක්, හිටපු අධ්‍යාපන ලේකම්වරියන් ඇතුළු සාමාජිකයින්ද ඇතුළත් වේ.

ඉදිරි දින කිහිපයේදී මෙරට ඉන්ධන මිලේ වෙනසක්

ඉදිරි දින කිහිපයේදී මෙරට ඉන්ධන මිලේ වෙනසක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලෝක වෙළදපොලේ තෙල් මිල ගණන් සම්බන්ධව නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලේ පවතින උච්චාවචනයන් හමුවේ, ලබන අගෝස්තු මාසයේදී ඉන්ධන මිල සංශෝධනය කරනවාද.? නැද්ද.? යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව, සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මෙරට ඉන්ධන මිල නියම කිරීමේ කාලසීමාව අවසන් වීමට තවත් දින කිහිපයක් ඉතිරිව ඇති බැවින්, ඉන්ධන මිල ඉහළ යන්නේද, නැද්ද යන්න පිළිබඳව මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් පැවතියද මෙරටට ඉන්ධන රැගෙන ඒමට කිසිදු බාධාවක් නොමැති බවත් මේ වනවිට ප්‍රමාණවත් ඉන්ධන තොග සංචිත රට තුළ පවතින බවද කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ සඳහන් කරයි.

මේ අතර කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ පසුගියදා සඳහන් කළේ, මෙම මස අවසානයේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී විශාල වෙනසක් සිදු නොවනු ඇති බවයි.

මෙරටට ඉන්ධන රැගෙන ඒමේදී විශාල ලෙස බලපෑමක් සිදු නොවන අතර ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණය මාසික මිල නියම කිරීමේ කාලසීමාව තුළ පවතින ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම්ව සිදු කිරීමට නියමිතව ඇත.

මේ අතර පසුගිය දිනවල ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් දක්වා ඉහළ ගියද, මේ වනවිට නැවතත් පහළ යමින් පවතියි.

අමෙරිකා – ඉරාන යුද ගැටුම් දින දෙකකට නවතී

අමෙරිකා – ඉරාන යුද ගැටුම් දින දෙකකට නවතී

ඉරානයේ ස්ථාවරය තවදුරටත් “ප්‍රහාරයට ප්‍රහාරයක්” යන්න බැවින් අමෙරිකාව සිය ප්‍රහාර නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නතර කරන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

අමෙරිකාව ප්‍රහාර නතර කළහොත් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරන බවට වන පණිවුඩය දැනටමත් අමෙරිකාව වෙත දැනුම් දී ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇත.

ඉරානයට එරෙහිව අමෙරිකාව අඛණ්ඩව රාත්‍රී 13ක් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා එම ගුවන් ප්‍රහාර මෙහෙයුම අමෙරිකාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

අමෙරිකාවේ අවි සංචිත ක්ෂය වීම පිළිබඳ අවධානය යොමුකර ඇති බව වාර්තා වීමත් සමග, අමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

සෙනසුරාදා සහ ඉරිදා දිනවල අමෙරිකානු ප්‍රහාර කිසිවක් වාර්තා වී නොමැති අතර ඉරානය ද සෙනසුරදා සහ ඉරිදා දින දෙකක් පුරා ප්‍රහාර එල්ල කර නොමැත.

දින කිහිපයකට පසු තෙල් මිලේ වෙනසක්

දින කිහිපයකට පසු තෙල් මිලේ වෙනසක්

මේ දිනවල මැදපෙරදිග පවතින යුද ගැටුම් අතරතුර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල සුළු වෙනසක් සිදුව ඇත.

ඒ අනුව අද (27) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 5%කින් පමණ පහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.08 දක්වා පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.60 දක්වා පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.05 දක්වා පහළ ගොස් ඇත.

රටම බලාසිටින තීරණය අදයි

රටම බලාසිටින තීරණය අදයි

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද (27) දින තීරණයක් ගැනීමට නියමිතව ඇත.

ඒ අනුව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 2කින් දීර්ඝ කිරීමේ යෝජනාව අද (27) දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා දීර්ඝ කරයි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වර්තමාන විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙස නියම කර ඇති අතර නව යෝජනාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා දීර්ඝ කරයි.

තවද මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සීමාවන් සම්බන්ධයෙන් ද සමාන්තර යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

වහාම කියන්න.. ජාතික සුපිලිපන් සතිය ඇරඹේ

වහාම කියන්න.. ජාතික සුපිලිපන් සතිය ඇරඹේ

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය අද (27) සිට ලබන (31) දක්වා ක්‍රියාත්මක වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි.

“ජාතික සුපිලිපන් සතිය” අද පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල ‘ජාතික සුපිලිපන් දිවුරුම‘ ලබාදීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය‘ ප්‍රකාශයට පත් කිරීමෙන් ආරම්භ වීමට නියමිතය.

මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

මෙහිදී ‘සුපිලිපන්භාවය’ (Integrity) යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින්, ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකගව නිවැරදි, විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමය.

ඒ අනුව මෙම ජාතික සුපිලිපන් සතිය පහත පරිදි සැලසුම් කර ඇත.

  • ජූලි (27) – ආයතනික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
  • ජූලි (28) – මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
  • ජූලි (29) – ආධ්‍යාත්මික, ආචාරධර්මීය, සංස්කෘතික සහ සමාජීයීය සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
  • ජූලි (30) – මෙහෙයුම්, යටිතල පහසුකම්, සේවා සැපයීමේ සහ ශ්‍රම සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.
  • ජූලි (31) – පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” මගින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි භාරගනු ලැබේ.

මහජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල (Email), ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ ඔස්සේ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මක කරනු ලබයි.

ජූලි (31) වැනිදායින් පසු, දෙසැම්බර් (31) වැනිදා දක්වා මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

පොලිස්පතිගේ නිර්දේශ මත කාවඩි නර්තනය ඉවත් කළේ ඇයි.?

පොලිස්පතිගේ නිර්දේශ මත කාවඩි නර්තනය ඉවත් කළේ ඇයි.?

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන කණ්ඩායම් පෙරහැරේ ගමන් කිරීම තාවකාලිකව අවලංගු කරන ලෙස පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත.

ඒ අනුව පෙරහැර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න විසින් නිර්දේශ කර ඇත.

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ පොලිස්පතිවරයා විසින් යොමු කරන ලද බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී, රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් බුද්ධි තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත යොමුකර ඇත.

කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට සම්බන්ධ පාර්ශ්ව අතර ගැටුම්කාරී තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

එම අපරාධ කණ්ඩායම්වල අනුගාමිකයන් කාවඩි නර්තන කණ්ඩායම් සමඟ එක්වීමට ඉඩ ඇති බවත් ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇතිවී ජීවිත හානි සිදුවීමේ අවදානමක් පවතින බවද අදාළ ලිපියෙන් පෙන්වා දී ඇති බව වාර්තා වේ.

එම නර්තනය පැවැත්වෙන අවස්ථාවේදී ඩ්‍රෝන යානා යොදාගෙන තර්ජනයක් එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවද පොලිස්පතිවරයා අදාළ ලිපියෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.