Local news

පැය 24ට වැඩි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

පැය 24ට වැඩි නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න

සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව පැය 24 කට වැඩි කාලයක් උණ පවතී නම්, ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ඩෙංගු වැළඳුනු ළමුන් 50 දෙනෙකු පමණ මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කරයි.

එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතු විය හැකි බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කරයි.

ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය

ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය

දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂණය පිළිබඳ පුළුල් ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් (24) වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

ඒ මෙම පූර්වගාමී පියවර සම්බන්ධයෙන් පවත්වන ලද ඉහළ පෙළේ සාකච්ඡාවේ ඉදිරි පියවරක් ලෙසිනි.

දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කරමින් දිවයින පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින්, සෝදිසියෙන් යුතු ජාතික රාමුවක් ස්ථාපනය කිරීම සඳහා අන්තර් – ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී මූලික අවධානය යොමු විය.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න සහ යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හේන්නායක යන අමාත්‍යවරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.

සභාවාරය ආරම්භ කරමින් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන්, පූර්ව සාකච්ඡාවේ ප්‍රතිඵල සහ මේ දක්වා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය.

ඉහළ යන ජලජ අනතුරු සංඛ්‍යාව හුදෙක් සාමාජීය ගැටලුවක් පමණක් නොව, මහජන ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද බලපාන සුවිශේෂී කරුණක් බව එතුමන් පෙන්වා දුන්නේය.

විධිමත් හා සම්බන්ධීකරණය කරන ලද ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක පවතින අඩුව රටට දැඩි අවදානමක් ගෙන දෙන බව සඳහන් කළ එතුමන්, දියේ ගිලීම් වැළැක්වීම සඳහා සඵලදායී, තිරසාර සහ බහු – ක්ෂේත්‍ර ප්‍රවේශයක් වහාම ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළේය.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, කුඩා අවදියේ සිටම සිසුන් තුළ දැනුවත්භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතික පාසල් විෂය මාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනා කළේය.

අධ්‍යාපන පද්ධතිය තුළට ජල ආරක්‍ෂණ දැනුම අනුගත කිරීම මගින්, ගංගා, ඇළ දොළ සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ භාවිතයේදී වගකීම් සහගත ලෙස හැසිරීමේ සංස්කෘතියක් මෙන්ම වැළැක්වීමේ ස්වභාවයක් අනාගත පරපුර තුළ තහවුරු වන බව එතුමන් සඳහන් කළේය.

දියේ ගිලීම් වැළැක්වීමේ ජාතික වැඩපිළිවෙලට සහාය වීම සඳහා තරුණ ප්‍රජාවට ඉටුකළ හැකි වැදගත් කාර්යභාරය යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් අවධාරණය කරන ලදි.

ඒ අනුව, වෘත්තීය ජීවිතාරක්ෂක සේවාවන් සඳහා අතිරේක ශක්තියක් විය හැකි පුහුණු ස්වේච්ඡා බලකායක් ගොඩනැගීම සඳහා ක්‍රමවත් පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් සක්‍රියව දායක කර ගැනීමට එතුමන් යෝජනා කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක අංශ නියෝජිතයන් සහ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ව සිටි අතර, යෝජිත ජාතික යාන්ත්‍රණය තුළ තමන්ට හිමි කාර්යභාරය සහ වගකීම් පිළිබඳව අදහස් හුවමාරු කරගනිමින් නිශ්චිත නිර්දේශ ඉදිරිපත් කළහ.

දීර්ඝ ලෙස සිදු කළ සාකච්ඡා වලින් අනතුරුව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානත්වයෙන් සහ සියලුම අදාළ පාර්ශ්වකාර ආයතනවල නියෝජනය සහිතව බහු -පාර්ශ්වික කමිටුවක් පිහිටු වීමට තීරණය විය.

ජාතික මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික, සඵලදායී සහ තිරසාර ‘දියේ ගිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂණය පිළිබඳ ජාතික යාන්ත්‍රණයක්’ සකස් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පැවරී ඇත.

රනිල්ගේ ඔලුවයි – සජිත්ගේ කඳයි – නාමල්ගේ වලිගෙයි.. අමුතු සතෙක් හැදීගෙන එනවා

රනිල්ගේ ඔලුවයි – සජිත්ගේ කඳයි – නාමල්ගේ වලිගෙයි.. අමුතු සතෙක් හැදීගෙන එනවා

මේ රට හදන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කඳයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි ඕන කියලා හිටපු මන්ත්‍රීවරයෙක් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික සඳහන් කරයි.

පසුගියදා අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාවේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රී නජිත් ඉන්දික සඳහන් කළේ,

“අපි දැක්කා සාකච්ඡාවක් තිබුණා. ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. හිටපු ඇමතිවරු, මැති ඇමතිවරු, රනිල් වික්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. ඒකෙදී මීට කලින් දවසක අර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කතාවක් කිවුවා, මේ රට හදන්න නම් සජිත් ප්‍රේමදාසගේ කඳයි රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි ඕන කියලා.

එතකොට ඊයේ අපි දැක්කා නිකන් අර ඔලුව කඳට හයි කිරීමේ පළවෙනි පියවර ඊයේ තියෙනවා අපි දැක්කා. මේක මාර වැඩක්. මේගොල්ලෝ යහපාලන ආණ්ඩුවක් හැදුවා. ඊටපස්සෙ රනිල් වික්‍රමසිංහ එක්ක මේක කරන්න බෑ කියලා වෙනම පක්ෂයක් හැදුවා. වෙනත් පක්ෂයක් හදලා වෙනම දේශපාලනය කරා.

දැන් ආපහු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පක්ෂයට ඔලුව හයි කරන්න යනවා. අපි දැක්කා විපක්ෂ නායකතුමාට රනිල් වික්‍රමසිංහ කියනවා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා මෙහෙම කරන්න. ඊළග සතියේ මේක ගන්න. ඊට පස්සේ මේක ගන්න. මෙහෙම කරන්න කියලා උපදේශක වෙලා.

එතකොට රනිල් වික්‍රමසිංහගේ ඔලුවයි, සජිත් ප්‍රේමදාසගේ කඳයි එක්ක අමුතු සත්වයෙක් හැදීගෙන එනවා. නාමල් රාජපක්ෂ හිටියා වලිගෙටද දන්නෑ ගිහින් හිටියේ. එහෙම සතෙක් හැදීගෙන එනවා. දැන් ඒ සතා තමයි මේ රට පාලනය කරන්න එන්නේ. ඉල්ලන්නේ.”

නාන කාමරයෙන් මතුවු නරක් වූ මළ සිරුර

නාන කාමරයෙන් මතුවු නරක් වූ මළ සිරුර

නිවසක නාන කාමරය තුළ තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

ගාල්ල, කරාපිටිය – මාඉටිපේ ප්‍රදේශයේ පිහිටි නිවසක නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිව පදිංචිව සිටි 58 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

එම නිවසින් දැඩි දුර්ගන්ධයක් හමන බවට අසල නිවසක නවාතැන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් කරාපිටිය පොලිස් මුරපොල වෙත දැනුම් දී ඇත.

අනතුරුව පොලීසිය අදාළ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත.

විපක්ෂය හාන්සියි.. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරඹයි

විපක්ෂය හාන්සියි.. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරඹයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

තමන් වෙත ලැබී ඇති උපදෙස් අනුව විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ කැබිනට් පත්‍රකාව සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වු යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූවහොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි චන්ඩි පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

වහාම ක්‍රියාත්මක වන පරිදි චන්ඩි පොලිස් ලොක්කාගේ වැඩ තහනම්

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කිරීමේ සිදුවීමක් සම්බන්ධව උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇත.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා (23) වන දින වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීම සම්බන්ධ‍යෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් බව පොලීසිය සඳහන් කරයි.

එනිසා තවදුරටත් එම නිලධාරියා සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කරයි.

මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම ශ්‍රී ලංකා පොලීසියේ අරමුණ වන අතර නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බව පොලීසිය සඳහන් කරයි.

ඉරාන නෞකාවකට යුක්‍රේනයෙන් ප්‍රහාර

ඉරාන නෞකාවකට යුක්‍රේනයෙන් ප්‍රහාර

ඉරාන නෞකාවකට එල්ල කළ ප්‍රහාරයකින් නාවිකයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

කැස්පියන් මුහුදේ යාත්‍රා කළ ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කරුණු විම්සීම සඳහා ටෙහෙරානයේ සිටින යුක්‍රේන තානාපතිවරයා ඉරාන විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රුසියාවේ සිට ඉරානය වෙත ආයුධ රැගෙන එන රුසියානු නෞකාවලට තමන් කැස්පියන් මුහුදේදී පහරදුන් බව යුක්‍රේනය සඳහන් කරයි.

ජනාධිපති මන්දිර – විශේෂ නිවේදනයක්

ජනාධිපති මන්දිර – විශේෂ නිවේදනයක්

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශවලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බවද සඳහන් කරයි.

එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සියල්ල අවසන්.. මෝදි අඩියක් පස්සට ගනී

සියල්ල අවසන්.. මෝදි අඩියක් පස්සට ගනී

ඉන්දියාවේ රට පුරා දින ගණනාවක් පැවති දැවැන්ත විරෝධතා නැවැත්වීමට කැරපොත්තා ජනතා පක්ෂය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසු තරුණ නායකත්වයෙන් යුත් කැරපොත්තා ජනතා පක්ෂය (CJP) සිය විරෝධතාවය අත්හිටුවා ඇත.

විභාග ප්‍රශ්න පත්‍ර කාන්දු වීම සහ අක්‍රමිකතා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සති ගණනාවක් පුරා පැවති විරෝධතා වලින් පසු අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත අද (25) පස්වරුවේ ලිපියක් යොමු කළේය.

නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව ඉන්දියාවේ පැවති විශාලතම විරෝධතාව මෙය වන අතර විරෝධතා රට පුරා පැතිරීමත් සමඟ දහස් ගණනක් දිල්ලියේ කඳවුරු බැඳගෙන සිටියේය.

විරෝධතාවේ නිරත වූ පිරිස ප්‍රකාශ කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ඇතුළු සියලු ඉල්ලීම් වලට අගමැති මෝදි ප්‍රමුඛ රජයේ පාර්ශ්වයෙන් එකඟවීම නිසා මෙම විරෝධතා අවසන් කරන බවයි.

ඇමති හර්ෂණ 2029 වසරේදී අවුරුදු 25කට හිරේ දානවා

ඇමති හර්ෂණ 2029 වසරේදී අවුරුදු 25කට හිරේ දානවා

ලබන 2029 වසරේදී වෙනත් ආණ්ඩුවක් බලයට ආවොත් අධිකරණ අමාත්‍යවරයාට අවුරුදු 25කට සිරදඬුවම් නියම කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සඳහන් කරයි.

අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ,

“මම පාර්ලිමෙන්තුවේ උදේ 9.00 ඉදන් ඉන්නවා. මේ දැන් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. මම බොහොම කණගාටුවෙන් කියනවා. කරුණාකරලා ඇමති ඉල්ලා අස්වෙලා යන්න.

මම කියනවා දැන්මම මෙයාව ඉවත් කරලා, නඩුවක් දාලා, ඇරෙස්ට් කරලා හිරේ දාලා, බොරුවට චෝදනාවක් දාලා, නඩුව ඉවර කරන්න කියලා.

නැත්තම් 2029 දී අවුරුදු 25කට මම මෙයාව ඇතුලට දානවා. තව අණ්ඩුවක් ආවොත් 2029 දී මෙයාව අවුරුදු 20 – 25කට හිරේ දානව මිනීමරුම් 30කට. අනිවාර්යෙන් 2029යේ දානවා.

මෙයාලට හොදට පුරුදුයිනේ බොරුවට නඩු දාලා. ඒ නිසා බොරු නඩුවක් දාලා, බොරුවට ඇතුළට ගිහිල්ලා, සාක්කි දීලා එයටම ඒවා ඉවර කරගෙන එන්න කියලා. නැත්නම් 2029 මම දන්නෑ කෙහෙද දුවන්න වෙන්නේ කියලා.”

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (24) දින පියවර ගත්තේය.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට වරෙන්තු නිකුත් කර ඇත.