Local news

ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක දැවැන්ත ගින්නක්

ඩොමිනිකන් ජනරජයේ සුඛෝපභෝගී හෝටලයක දැවැන්ත ගින්නක්

සුප්‍රසිද්ධ සංචාරක රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ පිහිටි බයාහිබේ වෙරළ තීරයේ සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා හෝටල් 8,400කට අධික සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ වින්ඩ්හැම් (Wyndham) හෝටල් ජාලයට අයත් හෝටලයක මෙම ගින්න හටගෙන ඇත.

මෙම ගිනිගැනීමෙන් 46 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එහි රැඳී සිටි සංචාරකයින් 1,700කට ආසන්න පිරිසක් ආරක්ෂිතව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් කැරිබියානු වෙරළ තීරයට ඉහළින් අඳුරු දුමාර වලාකුළු නැඟී ගිය අතර නිවාඩු නිකේතනයේ පිදුරු සහ තල්කොළවලින් සෙවිලි කළ වහලවල් සම්පූර්ණයෙන්ම ගිනිදැල්වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් සමග එකතු වන අලුත්ම සුඛෝපභෝගී යානය

ට්‍රම්ප් සමග එකතු වන අලුත්ම සුඛෝපභෝගී යානය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් භාවිත කළ පැරණි Air Force One (SAM 29000) ගුවන් යානය සිය අවසන් නිල ගුවන් ගමන නිම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 40කට ආසන්න කාලයක් ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්ගේ සිට සියලු ජනාධිපතිවරුන් ප්‍රවාහනය කළ මෙම යානය අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂී ගුවන් යානයකි.

අවසන් ගුවන් ගමනට එක්වීමට ලැබීම ගෞරවයක් බව එක්සත් ජනපද ප්‍රොටෝකෝල් ප්‍රධානී මොනිකා ක්‍රෝලි සිය “X” සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

මේ අතර ට්‍රප්ගේ සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් “හොඳින් සේවය කළ විශ්වාසවන්ත සේවකයාට සමුදෙමු” යනුවෙන් සඳහන් කරමින් යානයේ ඡායාරූපයක් “X” වෙත එක්කර ඇත.

ඒ අනුව කටාර් රාජ්‍යය විසින් පරිත්‍යාග කළ බෝයිං 747 ගුවන් යානය නවීකරණය කර පියාසර පරීක්ෂණ සාර්ථකව අවසන් කර ඇති අතර එය ඉදිරියේදී නව ජනාධිපති ගුවන් යානය ලෙස භාවිතයට ගැනීමට නියමිතය.

පැරණි SAM 29000 (Air Force One) යානයේ සමුගැනීමෙන් පසුව අමෙරිකානු ගුවන් හමුදාවේ අලුත්ම VC-25B “Bridge” යානය නිල වශයෙන් ජනාධිපති ගුවන් ප්‍රවාහන බලකාය (Presidential Airlift Group) වෙත බාරදී ඇත.

රාජ්‍ය ආරක්ෂක මට්ටමේ සියලුම තාක්ෂණික නවීකරණයන් සහ පරීක්ෂණ කටයුතු සාර්ථකව නිමා කිරීමෙන් පසුව මෙම යානය සිය ප්‍රථම නිල රාජකාරි ගුවන් ගමන් මේ වන විටත් ආරම්භ කර ඇත.

කලින් තිබුණු සාම්ප්‍රදායික නිල් පැහැය වෙනුවට, ජනාධිපති ට්‍රම්ප් විසින් තෝරාගන්නා ලද තද රතු, සුදු සහ තද නිල් (Red, White, and Blue) වර්ණ සංකලනයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම හැඩගැන්වී ඇත.

කෙසේ වෙතත්, “Air Force One” යන නාමය යනු අමෙරිකානු ජනාධිපතිවරයා රැගෙන යන ඕනෑම ගුවන් යානයකට භාවිත කරන නිල ගුවන් සංඥාවක් වේ.

රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

රුමේෂ් තරංගගෙන් තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ලොව ප්‍රමුඛ පෙළේ සුපිරි ක්‍රීඩකයින් රැසක් සමග තරග වැදුණු ඔහු, මීටර් 85.99ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ව දෙවැනි ස්ථානයට සහ ඇමරිකාවේ කර්ටිස් තොම්සන්ව තුන්වැන්නා බවට පත් කිරීමට එහිදී සමත් විය.

හිටපු ඔලිම්පික් සහ ලෝක ශූර නීරාජ් චොප්රාට එහිදී හිමි වුණේ සිව්වැනි ස්ථානයයි.

එහි රෝම අදියරේදී රුමේෂ් තරංග මීටර 92.62ක දක්ෂතාවක් ප්‍රදර්ශන කරමින් එම තරගය ජය ගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින්ය.

මේ අතර පසුගියදා චෙක් ජනජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩ්න් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්, පළමු ස්ථානය දිනාගැනීමටද රුමේෂ් තරංග සමත් විය.

ඉන්ධන QR කේතය ඉවත් කරයිද.?

ඉන්ධන QR කේතය ඉවත් කරයිද.?

ඉන්ධන නිකුත් කිරීමට භාවිතා කරන “QR” කේතය ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවූ වේගයට සාපෙක්ෂව ඉන්ධන මිල අඩුවී නොමැති බවද එම සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ඉන්ධන මිලදී ගැනීම සඳහා බාධාවක් නොමැති බවද සභාපති ඩී. ජේ. රාජකරුණා සඳහන් කරයි.

වැඩ වැරදුන දුමින්දගේ රන් ආලේපිත T56 ගිනිඅවිය

වැඩ වැරදුන දුමින්දගේ රන් ආලේපිත T56 ගිනිඅවිය

රන් ආලේපිත T56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක නීතිපතිවරයාගේ උපදෙස් අනුව සාක්ෂි ඇති බැවින් නැවත සැකකරුවකු ලෙස නම් කර ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් වෙන ලෙස නොතීසි නිකුත් කරන්නැයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය (19) නියෝග කළේය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් කාංචනා එන් සිල්වා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය කළේය.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ පසු විමර්ශන වාර්තා වලට අනුව දුමින්ද දිසානායක සැකකරුවකු ලෙසට නම් කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණේය.

වැල්ලවත්ත, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත T56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව දුමින්ද දිසානායක පසුගිය වසරේ මැයි මස (23) වැනිදා අත්අඩංගුවට ගත්තේය.

අනතුරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර පසුව ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඇප කොන්දේසි මත ඔහු නිදහස් කළේය.

අධිකරණය මගහරින බැසිල්ට එරෙහි වරෙන්තුව තවදුරටත් බලාත්මකයි

අධිකරණය මගහරින බැසිල්ට එරෙහි වරෙන්තුව තවදුරටත් බලාත්මකයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කළ වරෙන්තුවක් නැවත කැඳවීමට කළ ඉල්ලීම මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති  නඩුවකට පසුගිය මැයි (22) වැනිදා ඔහු පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කළේය.

බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු (19) දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එදින බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් මෝසමක් ⁣ගොනු කරමින් නීතිඥවරුන් ඉල්ලා සිටියේ සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන වරෙන්තු නැවත කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණය මග හරිමින් සිටින බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී ඒ ආකාරයට ⁣වරෙන්තුව නැවත කැඳවීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බැසිල් රාජපක්ෂට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

2025 වසරට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි බවත් අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක පැවැති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගේනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ගේනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බවත් එම පනත තවත් මාස දෙකක් තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“2009 වසරේ යුද්ධය අවසන් වුණා. නමුත් අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්‍යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ. 

යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්‍රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා. 

මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුරවැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි.

ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා.”

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (19) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.

ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට

ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා අත්අඩංගුවට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇත.

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

වැඩ තහනම් කළ නියෝජ්‍ය මහලේකම් චමින්දට මොකද වෙන්නේ.?

වැඩ තහනම් කළ නියෝජ්‍ය මහලේකම් චමින්දට මොකද වෙන්නේ.?

තම සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම අද (19) දින සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සඳහන් කළේය.

අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් සඳහන් කළේ, මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බවයි.

සෙසු වගඋත්තරකරුවන් වන අමාත්‍ය බිමල් රත්නායක සහ අනිල් ජයන්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ නීතිඥ චාමර නානායක්කාරවසම් ද මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව ප්‍රකාශ කළේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස (20) වනදා කැඳවන ලෙස නියෝග කළේය.

සාධාරණ විමර්ශනයක් නොපවත්වා ගෙන සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.