Local news

මරණ සහතිකය QR වෙයි.. ජනතාවට අලුත් වෙනසක්

මරණ සහතිකය QR වෙයි.. ජනතාවට අලුත් වෙනසක්

ඉ-ජනගහන ලේඛන වැඩසටහන යටතේ ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මීට පෙර භාවිත වූ අතින් ලියන ලද මරණ සහතිකය වෙනුවට පරිගණක දත්ත පද්ධතියක් මඟින් මෙම ඩිජිටල් මරණ සහතික නිකුත් කෙරේ.

ඩිජිටල් පද්ධතියක් මගින් මරණ සහතික නිකුත් කිරීම හරහා යාවත්කාලීන කරන ලද පුද්ගල දත්ත පද්ධතියක් පවත්වා ගැනීමටත්, විවිධ ආයතන අතර කාර්යක්ෂමව දත්ත හුවමාරු කිරීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කරයි.

ආරක්ෂිතව දත්ත ගබඩා කිරීම මඟින් තොරතුරු වල සුරක්ෂිතතාවද තහවුරු වන අතර මෙම සහතික මුද්‍රණය කරනු ලබන්නේ ආරක්ෂිත උපාංග ඇතුළත් කරන ලද විශේෂිත කඩදාසියක වේ.

නිකුත් කරනු ලබන සෑම මරණ සහතිකයකම සත්‍යතාව පද්ධතිය හරහා ක්ෂණිකව පරීක්ෂා කරගත හැකි පරිදි විශේෂ QR කේතයක් අඩංගු කර ඇත.

කැරපොතු විරෝධය හමුවේ ඇමති ඉල්ලා අස්වෙයි

කැරපොතු විරෝධය හමුවේ ඇමති ඉල්ලා අස්වෙයි

ඉන්දිය තරුණයන්ගේ අරගලය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර ඇත

අමාත්‍යවරයා සිය නිල X ගිණුම ඔස්සේ මේ බව ප්‍රසිද්ධියට පත් කර ඇත.

“කොක්‍රෝච් ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඉන්දීය අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත. 

අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කරන්නේ මසකට ආසන්න කාලයක් පැවති එරට තරුණ විරෝධතා වලින් අනතුරුවයි.

තරුණ ප්‍රජාව නියෝජනය කරන කැරපොත්තා ජනතා පක්ෂය සිය විරෝධතා ආරම්භ කිරීමේ ප්‍රධානතම සටන් පාඨයක් වන්නේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමයි.

නඩු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 100ක් විනාශ කරයි

නඩු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 100ක් විනාශ කරයි

නඩු කටයුතු අවසන් කළ කිලෝග්‍රෑම් 100කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම සඳහා අද (25) දින පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන ගියේය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් කළ හෙරොයින් කිලෝග්‍රෑම් 99 ග්‍රෑම් 478ක් සහ නොයෙක් ප්‍රදේශවල ගරු අධිකරණ මගින් විභාග කළ නඩු කටයුතු 208ක් අවසන්ව එම නඩු කටයුතු වලට අදාලව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මත්‍ද්‍රව්‍ය ප්‍රමාණයක් දවා විනාශකිරීම සඳහා අද (25) වන දින උදෑසන පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන දහන උදුන වෙත රැගෙන යන ලදී.

මෙම ක්‍රියාවලිය රාජ්‍ය නිලධාරීනගේ අධීක්ෂණය යටතේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂාව යටතේ සිදු කළේය.

17 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මරුට

17 හැවිරිදි දැරියක් අබිරහස් ලෙස මරුට

මහවලතැන්න, කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු වී ඇත.

මෙය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක්ද, දියේ ගිලී මියයාමක්ද යන්න සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මෙම දැරිය පසුගිය (23) වනදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති අතර ඇයගේ පියා විසින් ඒ සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර බලංගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ජනාධිපති මන්දිරවලට විවිධ පුද්ගලයින් 3,000ක් හොරෙන් රිංගයි

ජනාධිපති මන්දිරවලට විවිධ පුද්ගලයින් 3,000ක් හොරෙන් රිංගයි

රටපුරා ඇති ජනපති මන්දිරවල පසුගිය 2025 වසරේදි ජනාධිපතිවරයා නවාතැන් නොගත්තද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

අදාළ කාලයේදී පවත්වා ඇති රැස්වීම් සංඛ්‍යාව තුනක් බවත් ජනාධිපති මන්දිර හතේ විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් සඳහා එම වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් 32,982,675ක් බව සඳහන් කරයි.

කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල 2025 වර්ෂය තුළදී කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

එහෙත් 2025 වසරේදී දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් 2,447,754ක් දරා ඇති බවද අදාළ වාර්තාවේ සඳහන් වේ.

කොළඹ, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු මන්දිර හතක් පිහිටා ඇත.

බිහිසුණු බස් අනතුරක් – 19ක් රෝහලේ

බිහිසුණු බස් අනතුරක් – 19ක් රෝහලේ

‍අද (25) දින මාතර – තිස්ස ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

අනතුරින් තුවාල ලැබු පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව බරපතළ තත්ත්වයේ පසු වූ සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.

තිස්සමහාරාම සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටී පසුව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

සජිත්ට කොකා පෙන්වා පිටිපස්සෙන් පැන ගිය මන්ත්‍රීවරු මෙන්න

සජිත්ට කොකා පෙන්වා පිටිපස්සෙන් පැන ගිය මන්ත්‍රීවරු මෙන්න

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්, විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර ඒ අනුව අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත්විය.  

අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් 2026 ජූලි (21) වන දින කථානායකවරයා වෙත භාරදෙන ලද විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ලබා නොදීමට තීරණය කළේය.

මෙම විශ්වාසභංග යෝජනාවට හිතාමතාම ඡන්දය නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ,

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, කබීර් හෂීම්, පලනි දිගම්බරම්, රවී කරුණානායක, ජීවන් තොන්ඩමන්, රිෂාඩ් බදියුදීන්, දිලිත් ජයවීර, ෂානක්කියන් රාසමාණික්කම්, හර්ෂ ද සිල්වා, රෝහිත අබේගුණවර්ධන, චාමර සම්පත්, අනුරාධ ජයරත්න, රෝහණ බංඩාර, චමින්ද්‍රාණි කිරිඇල්ල සහ චානක මාදුගොඩ එලෙස ඡන්දය නොදුන් කණ්ඩායම වේ.

බො⁣රතෙල් මිලේ වෙනසක්

බො⁣රතෙල් මිලේ වෙනසක්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

කෙසේ වෙතත් ඊයේ (24) දිනට සාපේක්ෂව අද (25) දිනයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සුළු අගයකින් පහළ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 96.78 දක්වා පහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 89.31 දක්වා පහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.05 දක්වා පහළ ගොස් ඇත.

වත්තල වෙඩි තැබීම – රටින් පැන්න සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

වත්තල වෙඩි තැබීම – රටින් පැන්න සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ධනුෂ්කොඩි වෙත පලාගිය වයස අවුරුදු 30 සහ 31 හිවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන අතර මොවුන් දෙදෙනාට එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙරට බලධාරින් විසින් ඔවුන්ව භාරදෙන ලෙසට ඉල්ලා සිට ඇති අතර සතියක් ඇතුළත ඔවුන් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට අපේක්ෂා කරන බව සඳහන් කර ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා (23) වෙනිදා පේසාලේ ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාව බලා ගොස් ඇති අතර ඔවුන් ඊයේ (24) අලුයම හතරට පමණ ධනුෂ්කෝඩි වෙරළට පැමිණ ඇත.

මෙතෙක් කිසිම දවසක නොවූ පරිදි දැවැන්ත ප්‍රහාරයකට සූදානම්

මෙතෙක් කිසිම දවසක නොවූ පරිදි දැවැන්ත ප්‍රහාරයකට සූදානම්

ඉරානයට එරෙහිව පෙර කවරදාකටත් වඩා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් තමන් තීරණයක් ගැනීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

“මම දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම ගැන සලකා බලමින් සිටිනවා. පෙර කවරදාකටත් වඩා විශාල එකක්. මම තීරණයක් ගැනීමට ඉතා ආසන්නයි. අපි ඒ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම්.”

කෙසේ වෙතත් ඉරානයට එල්ල කරන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා නිශ්චිත කාලසීමාවක් පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර නොමැත.