Local news

නවසීලන්තයේ ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයේ ප්‍රබල භූකම්පනයක්

නවසීලන්තයේ උතුරු දූපතේ 5.8ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුවූ බව යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කරයි.

භූකම්පනය ඕක්ලන්ඩ් ඇතුළු උතුරු දූපතේ බොහෝ ප්‍රදේශ වලට සහ දකුණේ මුදුනට දැනුණු බව වාර්තා වේ.

භූකම්පනය 23,000කට ආසන්න සංඛ්‍යාවකට දැනුනු බවත් අවම වශයෙන් 2.7 සහ 3.7 අතර ප්‍රබල පසුකම්පන හතක් ඇති වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෝදි කැරපොත්තන්ට බයවෙයි.. උණුසුම් තත්ත්වය හමුවේ ඉල්ලා අස්වෙයි.?

මෝදි කැරපොත්තන්ට බයවෙයි.. උණුසුම් තත්ත්වය හමුවේ ඉල්ලා අස්වෙයි.?

ඉන්දියාවේ කැරපොතු අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් වන අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිය තීරණය දැනුම්දීමට ඉන්දීය රජය අද (25) දින පස්වරුව තෙක් කල් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඉන්දීය රජය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන ජේ.පී. නඩ්ඩා සහ ජිතේන්ද්‍ර සිං සහ කැරපොතු ජනතා පක්ෂය (CJP) නියෝජනය කරන තරුණ නායකයින් අතර පැවැති සාකච්ඡා වලින් අනතුරුව රජය මෙම කාලය ඉල්ලා ඇත.

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැති වුවහොත් අරගලය රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත කරන බව කැරපොතු පක්ෂයේ අරගලකරුවන් මෙහිදී රජයට අවධාරණය කර ඇත.

“ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වන තුරු විරෝධතාව දිගටම පවතිනු ඇති අතර එය දිගටම වර්ධනය වනු ඇත. එය ඉක්මනින් සිදු නොවන්නේ නම්, අපට තවත් ජාතික විරෝධතා කැඳවීමක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇත.”

2014 වසරේදී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු එරට රජය මුහුණ දෙන විශාලතම තරුණ අභියෝගය මෙය බව දේශපාලන විචාරකයෝ සඳහන් කරයි.

මෙම විරෝධතා හේතුවෙන් නව දිල්ලියේ මෙට්‍රෝ දුම්රිය ස්ථාන 17ක් වසා දැමීමටත්, ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවීමටත් බලධාරීන් පියවර ගෙන ඇත.

නාමල්ගේ විවාහය – මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.?

නාමල්ගේ විවාහය – මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා.?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ (24) දින කැඳවයි.

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කරු කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස (12) වනදා සිට (15) වනදා තෙක් මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසේදී පැවති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 2,682,246.57ක් බව පෙත්සම්කරු සඳහන් කරයි.

තම නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව පෙත්සම්කරු සඳහන් කරයි.

එහෙත් අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබියදී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ අසමාන ක්‍රියාකලාපයක් බවද පෙත්සම්කරු සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මේ තුළින් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වනවිට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය.

අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස (04) වනදා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේය.

උසස් පෙළ විභාගයට පෙර සිසුන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයට පෙර සිසුන්ට විශේෂ නිවේදනයක්

අ.පො.ස උසස් පෙළ විභාගය (2026) එළඹෙන අගෝස්තු මස (10) වනදා සිට සැප්තැම්බර් මස (05) වනදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති අතර සියලු විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඒවා භාරගත යුතු වේ. 

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට පවතී නම්, විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම සංශෝධන සිදුකළ යුතුය. 

පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.  

පෞද්ගලික අපේක්ෂකයින්ට තම ප්‍රවේශ පත්‍රවල සංශෝධන පවතී නම් ඉහත වෙබ් අඩවියට පිවිස, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඒවා මාර්ගගතව නිවැරදි කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.  

මෙම ප්‍රවේශ පත්‍ර සංශෝධන කටයුතු සිදු කිරීම අගෝස්තු (03) වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන අතර එම සංශෝධන කාලය නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාකිස්තාන ආරක්ෂක මුරපොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තාන ආරක්ෂක මුරපොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ ඇෆ්ගන් දේශසීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොළකට සන්නද්ධ කල්ලියක් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම ප්‍රහාරයෙන් සොල්දාදුවන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන හමුදාව සඳහන් කරයි.

ප්‍රාදේශීය තලේබාන් සංවිධානය (TTP) මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර මේ සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිව්දෙනෙකු සම්බන්ධ වූ බව ඔවුන් සඳහන් කරයි.

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජයට

අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජයට

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

අද පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 36ක්, විපක්ෂව ඡන්ද 152ක් හිමිවූ අතර මේ අනුව විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 116කින් පරාජයට පත්විය.  

දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයා අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයා අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

2019 වර්ෂයේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 16.5ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනාව යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර, එම පුටු මිලදී ගැනීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීම යන දුෂණ චෝදනාව මොහුට එල්ල වී ඇත.

යෝෂිතට අසනීපයි.. අධිකරණයෙන් නියෝග

යෝෂිතට අසනීපයි.. අධිකරණයෙන් නියෝග

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන නඩුව අද (24) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

දෙහිවල සහ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 730කට අධික ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අසනීප තත්වයෙන් පසුවන බවත් ඒ අනුව නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

අනතුරුව දිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා අගෝස්තු මස (20) වනදා කැඳවන ලෙස නියෝග කළේය.

සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි නාවික හමුදා නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් මීලඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා විසින් අවවාද කළේය. 

වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග

වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග

අලුතින් සංවර්ධනය වන උතුරු, නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා ගතහැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්, තිරසාර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්” යන තේමාව යටතේ පරිසර අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ඒ අනුව, පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන විසින් 2026 වසරේ සිදු කරන ලද පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ඔලුවිල් වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කර, වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයා විශේෂයෙන් විමසා බැලූ අතර මන්දගාමීව සිදු කෙරෙන එම ව්‍යාපෘති මිනිස් ජීවිතවලට තර්ජනයක් බවත්, අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබියදී ව්‍යාපෘති ප්‍රමාදවීම අනුමත කළ නොහැකි බවත්, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එබැවින් ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ සංවේදී වෙමින් මෙම ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම වසරේ ලබාදී ඇති ප්‍රතිපාදන මෙම වසර තුළම වැය කරමින් අදාළ ඉදිකිරීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම අලි වැට සීමාව සහ ප්‍රමාණය තීරණය කළ යුත්තේ වනජීවි කලාප ලකුණු කිරීම වෙනුවෙන් නොව, ජන ජීවිතය ආරක්ෂා කිරීමට බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජල මූලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘති, පිරිසිදු වෙරළ තීරයක් ව්‍යෘපෘතිය, වෙරළබඩ විනෝද උද්‍යාන ඇති කිරීමේ ව්‍යාපෘතිය, සිංහරාජය සහ කන්නෙලිය වනාන්තර සඳහා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් ඇති කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

සාහසික ඝාතකයා.. පිල්ලෙයාන්ට දුන් නියෝගය

සාහසික ඝාතකයා.. පිල්ලෙයාන්ට දුන් නියෝගය

මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (24) ඔන්ලයින් ක්‍රමවේදය හරහා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කළේය.

2008 වසරේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් පහක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

ඒ අනුව කල්ලඩි හී සිදුවූ ඝාතන 5 සම්බන්ධව ගොනුකර ඇති චෝදනා තුනක් සහ මෙම නඩුව සම්බන්ධයෙන් ගොනුකර ඇති එක් චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ විභාගය අද පැවැත්විණි. 

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් එළැඹෙන මස (04) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

2008 වසරේදී T-56 ගිනිඅවි යොදාගෙන සිදු කරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති අතර චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නමැත්තා පහත සඳහන් සිදුවීම්වලට සෘජුවම සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත

*2008 ජනවාරි (09) මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 මැයි (22) කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 අගෝස්තු (20) වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.