2025 වසරට අදාළ අ.පො.ස සාමාන්ය පෙළ විභාග ප්රතිඵල නිකුත් කර ඇත.
සාමාන්ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටි බවත් අදාළ විභාගය මධ්යස්ථාන 3,547ක පැවැති බව ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජනතාවාදී පනතක් ඉදිරිපත් කරන බවත් එම පනත තවත් මාස දෙකක් තුළදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.
අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,
“2009 වසරේ යුද්ධය අවසන් වුණා. නමුත් අතුරුදන් වු තැනැත්තන් සම්බන්ධයෙන් ගැටලු පවතිනවා කියන්නේ පෙර පැවති රජයන්ට මේ විමර්ශන අවසන් කිරීමේ අවශ්යතාවයක් තිබිලා නැහැ. තිස් වසරක යුද්ධය නිසාවෙන් උතුරත් දකුණත් ඇති වෙන්න ලේ කදුළු හෙලුවා. නැවතත් එවැනි තත්වයන් සිදු වෙන්න බැහැ.
යළි යුද්ධයක් ඇති නොවන්න නම් සහජීවනය මිත්රත්වය ගොඩ නැගිය යුතුයි. අතුරුදන් වු අයට යුක්තිය ඉටු කිරීමට මෙන්ම විමර්ශනවල අවසානයක් දැකිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වත්මන් රජයට දැඩි අවශ්යතාවයක් තිබෙනවා.
මේ වන විට උතුරේ ඉඩම් නිදහස් කිරීමේ කටයුතු විධිමත්ව සිදු වෙනවා. මාර්ග විවෘත කිරීමට කටයුතු කර තිබෙනවා. තවදුරටත් දමිළ ජනතාවට දෙවන පුරවැසියෙක් කියලා හිතන්න දෙන්න බැහැ. උතුරේ ජනතාව තුළ විශ්වාසය ඇති කළ යුතුයි.
ඒ වෙනුවෙන් අපි කැප වෙනවා. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් විෂ වෙලා තියෙන පොළොවක් නිදහස් කරන එක පහසු නැහැ. ඒ වෙනුවෙන් රජය කැපවී කටයුතු කරනවා.”
කිලිනොච්චිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද (19) පැවති සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මහජන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මේ බව සඳහන් කරයි.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න අත්අඩංගුවට ගෙන ඇත.
නිසි ප්රසම්පාදන ක්රියාවලියකින් තොරව ප්රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
තම සේවය තහනම් කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු නියෝජ්ය මහලේකම් චමින්ද කුලරත්න විසින් කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම අද (19) දින සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට සූදානම් බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සඳහන් කළේය.
අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කථානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් සඳහන් කළේ, මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකරන බවයි.
සෙසු වගඋත්තරකරුවන් වන අමාත්ය බිමල් රත්නායක සහ අනිල් ජයන්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ නීතිඥ චාමර නානායක්කාරවසම් ද මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව ප්රකාශ කළේය.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස (20) වනදා කැඳවන ලෙස නියෝග කළේය.
සාධාරණ විමර්ශනයක් නොපවත්වා ගෙන සිය වැඩ තහනම් කිරීමට කතානායකවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැඩ තහනම් කළ පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අද (19) දින දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර ඇති අතර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇත.
තවද මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ඇතුළත් කර ඇත.
ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස (09) වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ඉදිරිපත් කර ඇත.
අද (19) දින අමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් හදිසියේම ඉවත්වීම හේතුවෙන් මෙම සාකච්ඡා බිඳවැටී ඇති බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්යාංශයේ ප්රකාශයක් උපුටා දක්වමින් සඳහන් කරයි.
යුද්ධය අවසන් කිරීම සඳහා ඇති කරගත් ගිවිසුමක් ක්රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අද ස්විට්සර්ලන්තයේ ඉරාන සාකච්ඡාකරුවන් හමුවීමට සැලසුම් කර තිබුණේය.
ශ්රී ලංකාවේ රාජ්ය අයවැය සකස් කිරීමේදී ස්ත්රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ්ගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.
අයවැය ක්රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි.
ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්යතාව ද සංසදය විසින් මතු කරන ලදී.
තවද, ව්යාපෘති වාර්තාකරණයේදී ස්ත්රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්යතාවය මෙන්ම, අමාත්යාංශ මට්ටමින් ව්යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්රියාත්මක කිරීම මඟින් ව්යාපෘති විශ්ලේෂණය හා ප්රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.
එමෙන්ම, දැනට පවතින සාම්ප්රදායික හා කාලය වැයවන ක්රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්යතාව ද අවධාරණය කෙරිණි.
ස්ත්රී–පුරුෂ සමාජභාවී ප්රතිචාරාත්මක අයවැයකරණය ශ්රී ලංකාවේ රාජ්ය මූල්ය ප්රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.
එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්රතිශතයන්ට සීමා නොවී, සත්ය ලෙසම ප්රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්යතාවද මෙහිදී අවධාරණය විය.
ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්රී–පුරුෂ සමාජභාවී ප්රතිචාරාත්මක අයවැයකරණය ක්රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.
මහර ප්රාදේශීය සභා බල ප්රදේශ සහ ගම්පහ ප්රදේශීය සභා බල ප්රදේශයට අද (19) දින පෙරවරුවේ සිට හෙට (20) පෙරවරු 8.00 දක්වා හදිසි ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කඩවත මධ්යම අධිවේගී මාර්ගය අසල වූ ප්රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමට පසුව දෙරට අතර මූලික සාකච්ඡා අද (19) දින ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක් (Buergenstock) හි පැවැත්වීමට සැලසුම් කර ඇති බව ස්විට්සර්ලන්තය සඳහන් කරයි.
අමෙරිකාව සහ ඉරානය අතර අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම ක්රියාත්මක කරන ආකාරය පිළිබඳව මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි අරමුණ වන අතර මේ සඳහා අමතර මැදිහත්කරුවන් ලෙස කටාර් රාජ්යය සහ පකිස්තානය ඇතුළු තවත් සම්බන්ධිත රටවල් කිහිපයක් සහභාගී වීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා පැවැත්වෙන කාලසටහන හෝ එහි අඩංගු සවිස්තරාත්මක කරුණු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නොමැති බව ස්විට්සර්ලන්ත විදේශ අමාත්යාංශය සඳහන් කරයි.
අධිකරණ වරෙන්තු ලැබූ විදෙස්ගතව සැඟව සිටින හිටපු ඇමතිවරුන් ඇතුළු අපරාධ කරුවන් දිවයිනට ගෙන්වා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
ඔවුන් සඳහා රතු නිවේදන ලබා ගැනීමට අවශ්ය පියවර ගන්නා බවද මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල සඳහන් කරයි.
මහනුවර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් අමාත්ය ආනන්ද විජේපාල මේ බව සඳහන් කරයි.