Local news

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර.!

කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර.!

කෘෂිකර්ම, පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති හානිය සහ ඒ හමුවේ ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හෙතුවෙන් වී, බඩඉරිඟු, ධාන්‍ය සහ එළවළු වගාවන්ට සිදුව ඇති හානිය සම්බන්ධව පවතින සංඛ්‍යා දත්ත සහ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

පශු සම්පත් සහ වාරිමාර්ග ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර වාරිමාර්ග පද්ධතියට සිදුව තිබෙන හානිය ගණනය කොට එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ සැලසුම් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමආරච්චි, වාර්මාරිග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි වැලිගෙපොල, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ. කේ. සරත් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට මාලදිවයිනේ උපරිම සහාය.!

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට මාලදිවයිනේ උපරිම සහාය.!

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයාම් නිසා මෙරට ජනතාවට මුහුණ දීමට සිදු වූ දැඩි ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) සිය කණගාටුව පළ කළේය.

එමෙන්ම ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමට මෙන්ම ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළෙහිදී සිය උපරිම සහාය ලබා දෙන බවද මාලදිවයින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සමග දුරකථනයෙන් සම්බන්ධ වූ මාලදිවයින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම අසීරු අවස්ථාවේ මාලදිවයන් රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි.

තම සහෝදර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක තනි නොකරන බවද ආචාර්ය මොහමද් මුයිසු මෙහිදී අවධාරණය කළේය.

සෑම අසීරු අවස්ථාවකම මාලදිවයින, ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අවස්ථාවේදීද මාලදිවයින රජය සහ ජනතාව ශ්‍රී ලංකාවට ලබා දෙන හෘදයාංගම සහාය මහගු ශක්තියක් බව ප්‍රකාශ කළේය.

ආපදාවට ලක්වූ ශ්‍රී ලංකාවට ඉන් මිදීමට සහාය ලබා දෙනවා – IMF

ආපදාවට ලක්වූ ශ්‍රී ලංකාවට ඉන් මිදීමට සහාය ලබා දෙනවා – IMF

විනාශකාරී සුළි කුණාටුවේ බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට අප කණගාටුව පළ කරන බව IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන් සමග සමීපව කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

තවදුරටත් විස්තීරණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධනය, ප්‍රතිසංස්කරණය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බවද අධ්‍යක්ෂ ජූලි කොසැක් සඳහන් කළාය.

සුළි කුණාටුවට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF කාර්ය මණ්ඩලය දැනටමත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බවද ඇය සඳහන් කළාය.

එමෙන්ම IMF කාර්ය මණ්ඩලය මේ වනවිට ප්‍රතිසාධන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය වීම සඳහා විකල්ප සොයා බලමින් සිටින බවත් දෙසැම්බර් (15) වනදා IMF මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටින බවද ඇය සඳහන් කළාය.

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ පීඩාවට පත්ව ඇති බවත් එම පදනම මත මිනිස් ජීවිත හානිවලට අමතරව ආර්ථික ක්‍රියාකාරකම් වලටත් අහිතකර ලෙස බලපානු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය.

ආර්ථික අවශ්‍යතා සහ හානි පිළිබඳ වැඩිදුර තොරතුරු අප සතුව ඇති බැවින් එම තොරතුරු ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය විය හැකි ආකාරය පිළිබඳ ලබාගන්නා අවසන් තීරණ වලට හේතු විය හැකි බවද ඇය සඳහන් කළාය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් IMF හි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව සඳහන් කළාය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.!

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්.!

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් සිසු දරුවන්ට උපකාර කිරීම සඳහා මේ වන විට රටේ බොහෝ පිරිස් සහ සංවිධාන පැසසිය යුතු දායකත්වයක් ලබා දෙමින් පවතියි.

එලෙස දායකත්වය ලබා දෙන දෙස් – විදෙස් පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය ආධාර භාර ගැනීමට රජය විසින් ගිණුම් අංක කිහිපයක් ද හඳුන්වා දී ඇත.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණි.

මුල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා මෙම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබාදී නොමැති අතර එම මූල්‍යමය පරිත්‍යාග වල වගකීම අදාළ සංගම් හෝ පුද්ගලයන් විසින් දරනු ඇත.

මෙම අසීරු අවස්ථාවේ ජනතාව විසින් සිදු කරන දායකත්වය අගය කරන අතර සිසුන් වෙනුවෙන් සිදු කරන මූල්‍යමය පරිත්‍යාග වලදී එහි වගකීම් සහගත බව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න.!

හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කරන්න.!

ආපදාවෙන් පසු ජන ජීවිතය යථාවත් කිරීමේදී හානියට පත් මාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කර ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛතාව දී කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් පාලම් සහ මහාමාර්ග සම්බන්ධ තොරතුරු සහ ඒවා පිළිසකර කිරීම වෙනුවෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

නායයෑම්, ජල ගැලීම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වී ගොස් තිබෙන පාලම් සහ මහාමාර්ග පිළිසකර කිරීම, ඊට ගත වන කාලය සහ අදාළ ප්‍රතිපාදන වෙන් කිරීම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට A සහ B ශ්‍රේණියේ කිලෝමීටර් 247ක් පමණ වන මාර්ග හානියට පත්ව තිබෙන බවත්, පාලම් 40ක් විනාශ වී ගොස් ඇති බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යාංශ නිලධාරීහු, කැඩී ගිය මාර්ග කොටස් 256න් 175ක් මේ වන විට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙන බවද සඳහන් කළහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක්.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 300ක ප්‍රදානයක්.!

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් පසු රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 300ක මුදලක් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය මගින් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ආදරය කරන ක්‍රීඩාවක් නියෝජනය කරන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සිය වගකීම පිළිබිඹු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ සහ විධායක කමිටුවේ මඟපෙන්වීම යටතේ මෙම තීරණය ගෙන ඇත.

ආපදා සහන මෙහෙයුම් සඳහා ජපානයෙන් මානුෂීය ආධාර.!

ආපදා සහන මෙහෙයුම් සඳහා ජපානයෙන් මානුෂීය ආධාර.!

ශ්‍රී ලංකාවේ ආපදා සහන මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස ජපාන රජය විසින් ලබාදෙන මානුෂීය ආධාර තොගයක් අද (04) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිල වශයෙන් ශ්‍රී ලංකාව වෙත භාරදෙන ලදි.

මෙම ආධාර ඔස්සේ අහිත කර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ජාතික ආපදාවෙන් පසු ක්‍රියාත්මක වන අඛණ්ඩ සහන මෙහෙයුම් සඳහා තීරණාත්මක සහයෝගයක් සපයයි.

ජපාන තානාපති Akio ISOMATA සහ Japan International Cooperation Agency (JICA) හි ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත Kenji KURONUMA විසින් මෙම පරිත්‍යාගය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) වෙත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී නිල වශයෙන් භාරදෙනු ලැබීය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජපාන තානාපති Akio, දෙරට අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය යළි තහවුරු කළ අතර, විශේෂයෙන් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාව සමඟ ස්ථාවරව සිටීමට ජපානය කැපවී සිටින බවද අවධාරණය කළේය.

මෙම මානුෂීය දායකත්වය, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාව පිළිබිඹු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම පරිත්‍යාගය පිළිගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර විසින්, ජපාන රජයට, JICA ආයතනයට සහ ජපාන ජනතාව සියලු දෙනා වෙත ඔවුන්ගේ කාලෝචිත සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සබඳතා යළි තහවුරු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, තීරණාත්මක මානුෂීය අවස්ථාවන්හිදී ජපානය ලබා දෙන ස්ථාවර සහයෝගය ද ඇගයීමට ලක් කළේය.

ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික), ජපාන තානාපති කාර්යාලයේ නිලධාරීන්, JICA ආයතනයේ නිලධාරීන්, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජපානයෙන් ලබා දුන් මෙම මානුෂීය ආධාර තොගය, ආපදා සහන, මානුෂීය සහයෝගීතාව සහ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ලබන තවත් එක් වැදගත් සුහදතාවේ සංකේතයකි.

සතියක කාලයක් මස් තහනම්.!

සතියක කාලයක් මස් තහනම්.!

ඊයේ (03) දිනයේ සිට සතියක කාලයක් ගව මස්, එළු මස්, ඌරු මස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස සඳහන් කරයි.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවු ආපදාවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ ගවයන් ඇතුළු ගොවිපළ සතුන් විශාල වශයෙන් මියගිය අතර එම සතුන්ගේ මස් මිනිස් පරිභෝජනය සඳහා වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

ගංවතුර ආපදාවලට ලක්ව මියගිය සතුන්ගේ මළ සිරුරු මිනිස් පරිභෝජනය සඳහා විකිණීම හා ප්‍රවාහනය කිරීම සිදු වන්නේ දැයි දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අවධානයෙන් සිටින බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

යම් තොරතුරක් ඇත්නම් සිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වන ලෙසත් එසේ නොහැකි වන අවස්ථාවල පැය 24 පුරා ක්‍රියාත්මක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ක්ෂණික දුරකතන අංකය “1926” දැනුවත් කරන ලෙසද සභාපතිවරයා ඉල්ලීමක් කරයි.

ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.!

ඉදිරි පැය 36 තුළ වැසි හෝ ගිගුරුම් සහිත වැසි.!

ඉදිරි පැය 36 තුළ කාලගුණ අනාවැකිය අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

පැය 24ක් ඇතුළත සම්පූර්ණ ආපදා ප්‍රතිචාර බලඇණියක් යොදවයි.!

පැය 24ක් ඇතුළත සම්පූර්ණ ආපදා ප්‍රතිචාර බලඇණියක් යොදවයි.!

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට ප්‍රවේශය යථා තත්ත්වයට පත් කිරීමේ හදිසි අවශ්‍යතාවයට ප්‍රතිචාර වශයෙන්, සහාය ලබා දීමට පොරොන්දු වී පැය 24ක් ඇතුළත CHEC වරාය නගර කොළඹ (පුද්ගලික) සමාගම සිය සම්පූර්ණ ආපදා ප්‍රතිචාර යන්ත්‍රෝපකරණ බලඇණිය කඩිනමින් යෙදවීය.

රජයේ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට සමාගම රුපියල් මිලියන 10 ක දායකත්වයක් ලබා දුන් අතර, වරාය නගර කොළඹ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම සහ CHEC සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය විසින් අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීම සඳහා අතිරේක රුපියල් මිලියන 3ක් රැස් කර පරිත්‍යාග කරන ලදී.

රජයේ පුළුල් ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා හදිසි පාලම් අලුත්වැඩියාවන්, මාර්ග ප්‍රතිසංස්කරණ සහ ඉංජිනේරු තක්සේරු කිරීම් සඳහා සමාගම විශේෂිත තාක්ෂණික විශේෂඥතාව ද ලබාදී ඇත.

මාර්ග ඉවත් කිරීම, බෑවුම් ස්ථායිකරණය සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීම සඳහා කැණීම් යන්ත්‍ර, බැකෝ යන්ත්‍ර, ලෝඩර් සහ ප්‍රවාහන ට්‍රක් රථ ඇතුළු බර වැඩ කරන යන්ත්‍ර 12 ක් සහ දක්ෂ තාක්ෂණික කණ්ඩායමක් මධ්‍යම පළාතට යවා ඇත.

සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ තීරණාත්මක ප්‍රවාහන මාර්ගයක් වන මහනුවර සිට නුවරඑළිය දක්වා A5 කොරිඩෝව කෙරෙහි මෙම මෙහෙයුම අවධානය යොමු කරයි, එහිදී සැපයුම් මාර්ග අඩාල වූ අතර හදිසි ප්‍රතිචාර දක්වන්නන් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ප්‍රවේශ වීමේදී අභියෝගවලට මුහුණ දුන්හ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) විසින් සම්බන්ධීකරණය කරන ලද මෙම යන්ත්‍රෝපකරණ ඊයේ (03) දින ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු ඉදිරියේ ශ්‍රී ලංකා හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී.