Local news

නිවාඩු දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

නිවාඩු දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති අතර එම බදාදා දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

ඒ අනුව සෑම සතියකම බදාදා දිනයක අධිකරණ සේවා, පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් බවට පත්කර ඇත.

UAE ගුවන් කලාපය වසා දමයි

UAE ගුවන් කලාපය වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන ඇත.

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස (16) සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඉහළ ගිය ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල

ඉහළ ගිය ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල

අද (17) පෙරවරුවේ වන විට ආසියානු වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී ඇත.

තවද අමෙරිකානු බොරතෙල් මිල 3%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වේ.

මේ අතර ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී ඇත.

බැග්ඩෑඩ් අමෙරිකානු තානාපති කාර්යාලයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

බැග්ඩෑඩ් අමෙරිකානු තානාපති කාර්යාලයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත.

ප්‍රහාරයට පැය හයකට පමණ පෙර, ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ප්‍රහාර ආරම්භ වූ දිනයේ සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව ඉරාක ආරක්ෂක අංශ සඳහන් කරයි.

ජනාධිපතිවරයා විශේෂ තීරණ කිහිපයක් ගනී

ජනාධිපතිවරයා විශේෂ තීරණ කිහිපයක් ගනී

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට (16) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබා දීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා විය.

විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන පරිදි එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වෙන්ව වෙන්ව විමසා බැලිණි.

ප්‍රධාන ක්ෂේත්‍රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අද දිනය තුළම වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එමෙන්ම, මෙවැනි තත්ත්වයකදී නිවසේ සිට රාජකාරී කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධානයට ලක් වූ අතර නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආයතන ප්‍රධානියා වෙත පැවරීමටත්, සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් යෝජනා විය.

මතුවී ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්ම කටයුතුවලදී ගොවි ජනතාව සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

QR ක්‍රමය හඳුන්වා දීමේ අපේක්ෂාව වන්නේ දෛනික ඉන්ධන පරිභෝජනය පවතින අභියෝගයන්ට අදාළව කළමනාකරණය කිරීම බවද මෙහිදී සඳහන් කෙරුණු අතර, එමගින් දෛනිකව ලැබෙන මිණුම් විශ්ලේෂණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ආර්ථික සහ සේවා කටයුතු සඳහා ඉන්ධන මුදාහැරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය විධිමත් අයුරින් භාවිතා කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු දත්ත හැකි ඉක්මණින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබා දීමටත් මෙහිදි සාකච්ඡා වූ අතර, ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටද යෝජනා විය.

එමෙන්ම, මතුව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජය මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් මෙහිදී යෝජනා කෙරිණි.

ඉරානයේ ප්‍රධාන ඉන්ධන නල පද්ධතිය විනාඩි 5න් විනාශ කරනවා

ඉරානයේ ප්‍රධාන ඉන්ධන නල පද්ධතිය විනාඩි 5න් විනාශ කරනවා

ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල කළ බවත් දැනට ඉතුරු වෙලා තියෙන්නෙ නල පද්ධතිය විතරක් බවත් එම නල පද්ධතියත් විනාඩි පහක කාලයකින් විනාශ කරන්න පුළුවන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ගුවන් යානයේ සිට සිදුකළ ප්‍රකාශය,

“අපිට අද හොද ප‍්‍රතිඵල තියෙනවා. ඉරානයට එරෙහිව යුදමය වශයෙන් හොද ප්‍රතිඵල අපි අත්කරගෙන තියෙනවා. මේ වනවිට අපි විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් ඉන්නවා හෝමූස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය ගැන.

අපිට එහෙන් තෙල් එන්නේ 1%ක්, 2%ක් විතර ප්‍රමාණයක්. නමුත් චීනයට 90%ක්ම තෙල් එන්නේ මේ කලාපයෙන්. අපි හිතන්නේ මෙතන පරිපාලනයට අපේ මැදිහත්විම වැදගත් කියල. යුදමය වශයෙන් අපි ඒ රටවල් එක්ක වැඩ කරන්න ලැස්තියි.

දැනටමත් අපි ඉරානය පරාජය කරලා තියෙන්නෙ. ඔවුන් සුළු වශයෙන් අපිට එරෙහිව සටන් කරනවා. නමුත් ඔවුන්ට කරන්න ලොකු දෙයක් නැහැ. අපි ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදාව වගේම නාවික හමුදා සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන්නෙ.

ඒ වගේම දෙතුන් වතාවක් ඔවුන්ගේ නායකත්වයත් සම්පූර්ණයෙන් විනාශ කලා. අපි දැනටමත් කාර්ග් දූපතට ප්‍රහාරයක් එල්ල කරල තියෙනවා. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ නල පද්ධතිය විතරයි. විනාඩි පහක කාලයකින් අපිට ඒකත් විනාශ කරන්න පුළුවන්.

නමුත් මම ඒක කරන්නේ නැහැ. ඔවුන් මගෙන් බැගෑපත් වෙනවා සටන් විරාමයක සාකච්ඡා කරන්න කියල. මගේ අදහස් නම් ඒ මට්ටමට තාම ඇවිල්ලා නැහැ. දැනටමත් අපි අනෙක් රටවල් එක්ක සාකච්ඡා කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පරිපාලනය ගැන.

අපිට ගොඩක් යහපත් ප්‍රතිචාර ලැබිල තියෙනවා. යහපත් ප්‍රතිචාර ලැබෙන එක නොදයි. ලැබුනේ නැතත් කමක් නැහැ. මතක තියාගන්න මේ රටවල් සේරම නේටෝ සාමාජිකයින්, අපි හැම වෙලාවේම නේටෝව සමග හිටගන්නවා.

අපි යුක්රේන යුද්ධයේදී ඔවුන්ට උදව් කරනවා. ඒ යුද්ධයෙන් අපිට බලපෑමක් නැති වුනත් අපි උදව් කරනවා. මේ අවස්ථාවේදී අපි බලාගෙන ඉන්නවා කවුද අපිට උදව් කරන්න එන්නේ නැත්තේ කියල, අපිට අවශ්‍ය වෙන්නේ හෝමූස් විවෘත කරන එක. මේ වෙලාවේ ඉරානයෙන් එල්ල වෙන බලපෑම ඉතාම අඩුයි.”

සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල් යයි.? විශේෂ ප්‍රකාශයක්

සාමාන්‍ය පෙළ ඇතුළු විභාග කල් යයි.? විශේෂ ප්‍රකාශයක්

මේ වනවිට පවතින තත්ත්වයත් සමඟ සෑම සතියක බදාදා දිනය නිවාඩු ලබාදීමත් සමඟ පාසල්වල පැවැත්වීමට නියමිත ඉදිරි විභාග දිනයන්, දින කිහිපයක් පසුවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ ඇතුළු පාසල් සහ විශ්වවිද්‍යාල විභාග පවතින තත්ත්වය හමුවේ යම් දින වකවානු ප්‍රමාණයකින් කල් යාමේ හැකියාවක් පවතින බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (16) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව අමතිමින් කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ,

“විශ්වවිද්‍යාල වලට ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට අවසර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට බලය පැවරුවා. බදාදා දිනය නිවාඩුවක් වුණත් ඒ වගේම අනිත් දින වලදී Zoom තාක්ෂණය ඔස්සේ ඒ අදාළ ලෙක්චර්ස් පැවැත්වීම සඳහා. ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තියෙනවා.”

“අලුත් අවුරුදු නිවාඩුව පාසල්වලට එලැඹෙන අප්‍රේල් මාසසේ (10) වනදා සිට. ඒ දිනවලදී තමා මේ සතියට එක දවසක් නිවාඩු ලබා දෙන්නේ. මේ සියලු දෙයින් යම් විදියකට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක අපිට වැළැක්වීමට හැකියාවක් නෑ. ඒක ලොකු දින ප්‍රමාණයකින් නෙමෙයි. යම්කිසි ආකාරයකට දිනවකවානු ඒ තිබ්බ විදියට වඩා පසුවෙන්න හැකියාව තිබෙනවා.”

නිවසේ සිට රාජකාරි කිරීම අරඹයි

නිවසේ සිට රාජකාරි කිරීම අරඹයි

ජාත්‍යන්තර අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග වලට අනුගත වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදී ඇත.

මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ, නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට වැඩ කළ යුතුයි.

තවද ප්‍රවාහන අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට සිදු කරන ලෙසත්, පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ අංශයේ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමට අදාල නිලධාරීන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ – වැ.බ.) උපදෙස් පරිදි සුවසිරිපාය පරිශ්‍රයේදී බදාදා දින රාජකාරි ඉටු කල යුතු බවද දැනුම්දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින අනෙකුත් අංශ / ඒකක අවම අවශ්‍යතාවයට සරිලන පරිදි කාර්ය මණ්ඩලය බදාදා දින සීමා කිරීමට අවධානය යොමුකළ යුතු අතර සෞඛ්‍ය සේවාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගනිමින් මෙම අවස්ථාව කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසද අදාල නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

තවද ඉහත සෞඛ්‍ය ආයතන වල සිදුකළ යුතු අත්‍යවශ්‍ය කාර්යයන් සුදුසු ක්‍රමෝපායන් අනුගමනය කරමින් කටයුතු කළ යුතු බවද දැනුම් දී ඇත.

Mother Lanka නමින් නව ඩිජිටල් වේදිකාවක්

Mother Lanka නමින් නව ඩිජිටල් වේදිකාවක්

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂම හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වාදී ඇති Mother Lanka Digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අද (16) දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ.

මෙම අන්තර් ක්‍රියාත්මක වේදිකාව මගින් පාර්ශවකරුවන් විශේෂඥයන් සහ සාමාන්‍ය ජනතාව එකට එක්ව අනාගතය සඳහා වඩා හොඳ නගර සැලසුම් ඇතුලත් ශක්තිමත් තිරසාර සමාජයක් ගොඩ නැගීමට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසයි.

රට තුල ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය සක්‍රීය කරමින් කාර්‍යක්ෂම, විනිවිදබාවයෙන් යුත් විශ්වාසදායී සේවාවක් ජනතාව ලබා දීමට තිරසර ව්‍යපෘති, සංවර්ධන සැලසුම් හා නියාමනයන් පිලිබඳ මහජනතාවට, වෘත්තිකයන්ට විවෘත සිය අදහස්, භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වේදිකාව මගින් හුවමාරු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

මේ පිලිබඳ ලැබෙන මහජන අදහස්, යෝජනා සහ ගැටළු පිලිබඳ කඩිනමින් ක්‍රියත්මක වී නැවත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී කණ්ඩායම් විසින් ඊට අදාල කඩිනම් ක්‍රියාමාර්ග හා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙයට සම්බන්ධ වන සියලු ආකාරයේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය සහ පුද්ගල අනන‍්‍යතාවයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශයෙන් තාක්ෂණික සහයද උපාය මාර්ග සැලසුම් අංශයෙන් මෙහෙයුම් කටයුතුද සිදු කෙරේ.

සියලුම රාජ්‍ය සේවකයින්ට නිවාඩු.. රජයේ තීරණය මෙන්න

සියලුම රාජ්‍ය සේවකයින්ට නිවාඩු.. රජයේ තීරණය මෙන්න

මේ වනවිට පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට සතියකට දිනයක් නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එළැඹෙන බදාදා (18) වනදා සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව සඳහන් කරයි.

අනෙකුත් වැඩකරන සතියේ දින 4කදී කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබාදී ඇත.

මේ අතර සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට රජය තීරණය කර ඇති බවද කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කරයි.