Local news

දිවයින පුරා අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23ක්

දිවයින පුරා අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23ක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ප්‍රාදේශීය කාර්යාල 23ක් විවෘත කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කරයි.

පැමිණිලි භාරදීමට සහ සාක්ෂි ලබාදීමට ජනතාවට දැනට කොළඹට පැමිණිමට සිදුව ඇති බවත් ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමෙන් ජනතාවට සිදුවන එම අපහසුතා මගහරවා ගැනීමට හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එම කාර්යාල මගින් පැමිණිලි භාර ගැනීම, නඩු පැවරීම ඇතුළු කරුණු රැසක් සිදු කිරීමට නියමිත අතර එම ප්‍රාදේශීය කාර්යාල සඳහා නිලධාරින් 971 ලබාදීමට නියමිතව ඇත.

අමෙරිකානු හමුදාවේ සුපිරි යානයක් කඩා වැටෙයි

අමෙරිකානු හමුදාවේ සුපිරි යානයක් කඩා වැටෙයි

අමෙරිකානු ගුවන් හමුදාවේ බී-52 ස්ට්‍රැටෝෆෝට්‍රස් වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ දකුණු කැලිෆෝනියාවේ පිහිටි එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරේ ධාවන පථය තුළදී මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් කඳවුරේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

අමිහිරි පරාජය හමුවේ කෝප වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ගැටෙයි

අමිහිරි පරාජය හමුවේ කෝප වූ සූරියවංශි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග ගැටෙයි

ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්ථාන A ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය A කණ්ඩායම සමග (15) පැවැති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එම තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

තරගය අවසන් වී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමත් සමඟ ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වේ.

අනතුරුව ඒ හේතුවෙන් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී ඇත.

කෙසේ වෙතත් එම නොසන්සුන්කාරී තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී එම ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පෙර සුපිරි පන්දුවාරය පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත වු අතර එහිදී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කළේය.

අද ප්‍රදේශ රැසකට පැය 19ක ජල කප්පාදුවක්

අද ප්‍රදේශ රැසකට පැය 19ක ජල කප්පාදුවක්

අද (16) දින සිට ප්‍රදේශ රැසකට පැය 19ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

අත්තනගල්ල, කරස්නාගල ජල පිරිපහදු ඒකකයේ සිදුකෙරෙන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අද (16) පෙ.ව. 8.00 සිට හෙට (17) පෙ.ව. 3.00 දක්වා පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

*ගම්පහ කලාපය – ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල හා ඒ අවට ප්‍රදේශ

*මිනුවන්ගොඩ කලාපය –  මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපාත සහ ඒ අවට ප්‍රදේශ

*මහර කලාපය – මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මාහරගම, සිවුරළුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ ඒ අවට ප්‍රදේශ

*අත්තනගල්ල කලාපය – රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, ඌරාපොල, අත්තනගල්ල, බටලීය, වතුපිටිවල සහ ඒ අවට ප්‍රදේශ

*නිට්ටඹුව කලාපය – නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශ

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කරයි.

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අද මොකද වෙන්නේ.?

දැරිය අපයෝජන සිද්ධියේ පල්ලේගම හිමිට අද මොකද වෙන්නේ.?

අද (16) දින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න පසුගිය (12) වනදා නියෝග කළේය.

අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි (04) වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව නිට්ටඹුව පොලිසිය පසුගියදා අධිකරණයට දැනුම් දුන්නේය.

නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බවත් දැරියගේ ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එනිසා අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර පල්ලේගම හේමරතන හිමිගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බැවින් රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙසට පොලීසිය පසුගියදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, (16) වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙසට සැකකාර පල්ලේගම හේමරතන හිමිට නියෝග කළේය.

තවද හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේය.

අධිකරණයට අපහාස කළ දිලිත්, විමල්, ගම්මන්පිලට වැඩ වරදී

අධිකරණයට අපහාස කළ දිලිත්, විමල්, ගම්මන්පිලට වැඩ වරදී

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහසයක් සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහසයක් සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව දැනුම් දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් 2024 අංක 8 දරණ අධිකරණ විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයින් හට අභියාචානාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා ඇත.

ඉරාන – අමෙරිකා ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරාන – අමෙරිකා ගිවිසුමට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානය සහ අමෙරිකාව අතර නව අවබෝධතා ගිවිසුමකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් කලීබාෆ් විසින් අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගිවිසුම මඟින් උපායමාර්ගිකව වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ක්‍රියාත්මක වන පරිදි විවෘත කිරීමටත් ඉරානයට පනවා තිබූ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමටත් ප්‍රතිපාදන සැලසේ.

මෙම නව ගිවිසුමට අදාළ සම්පූර්ණ විස්තර ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

පුද්ගලයින් 5ක් ඝාතනය කිරීමට පිල්ලෙයාන් අධිකරණයට

පුද්ගලයින් 5ක් ඝාතනය කිරීමට පිල්ලෙයාන් අධිකරණයට

T-56 ගිනිඅවි වලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කර ඇත.

පසුගිය 2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශන වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇත.

*2008 ජනවාරි (09) වනදා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 මැයි (22) වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

*2008 අගෝස්තු (20) වනදා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අවිගත් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

මෙම අපරාධයන්ට අදාළව සැකකරුවන් තිදෙනෙකු නම් කර ඇති අතර පළමු සැකකරු විමර්ශන ආරම්භ වන විටත් මෙරටින් පලාගොස් විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත.

අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන 2025 අගෝස්තු (13) සහ නොවැම්බර් (13) වන දිනවල සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා අද (15) මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එම ඝාතන පහේම තුන්වන සැකකරු ලෙස ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නම් කර ඇත.

මෙම නඩුව නැවත කැඳවන දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර ඇත.

කටුනායක ගුවන් තොටුපළේ පළමු පර්යන්තය නවීකරණයට

කටුනායක ගුවන් තොටුපළේ පළමු පර්යන්තය නවීකරණයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පවතින මගී තදබදයට දිගුකාලීන විසඳුමක් ලෙස, පැරණි පළමු පර්යන්තය (Terminal 1) සම්පූර්ණයෙන් නවීකරණය කිරීමේ රුපියල් බිලියන 15ක ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා විදේශීය ණය ලබා නොගෙන, සම්පූර්ණයෙන්ම දේශීය රාජ්‍ය ප්‍රතිපාදන හා අරමුදල් භාවිත කිරීමයි.

මෙම නවීකරණ සැලැස්ම යටතේ,
*මගී පිටත්වීමේ ශාලාව පුළුල් කිරීම
*ආරක්ෂක හා ආගමන-විගමන පෝලිම් අවම කිරීම
*මගී පැමිණීමේ අංශය ප්‍රතිනිර්මාණය කිරීම
*ගමන් මලු හැසිරවීමේ පද්ධති නවීකරණය කිරීම

ජපාන ආධාර යටතේ ඉදිවන දෙවැනි පර්යන්තයේ කටයුතු අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බැවින්, වර්ධනය වන සංචාරක ඉල්ලුමට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම පියවර ගත් බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මගී තදබදය අවම කිරීම සඳහා දැනටමත් පුද්ගලික අංශයේ දායකත්වයෙන් තාවකාලික මණ්ඩපයක් (Marquee) ස්ථාපිත කර ඇති අතර ඒ හරහා අතිරේක චෙක්-ඉන් කවුන්ටර 14ක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් දිනකට අමතර ගුවන් යානා වාර 10ත් 20ත් අතර ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු පළමු පර්යන්තයේ වාර්ෂික මගී ධාරිතාව මිලියන 6 සිට (දැනට අසීරුවෙන් මිලියන 10 දක්වා සිදුකරයි) මිලියන 15 දක්වා ඉහළ යනු ඇති අතර ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට එය ඉවහල් වනු ඇත.

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

රුපියල් මිලියන 16.5ක මුදලක් රජයට පාඩු කිරීම තුළින් දූෂණ වරද සිදු කිරීමේ චෝදනාව යටතේ අද (15) දින දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල්ගේ පුද්ගලික ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් දකුණු පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීම වෙනුවෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම, දකුණු පළා‌තේ දිස්ත්‍රික් තුනෙහි පළාත් සභා මන්ත්‍රීවරුන් 54 දෙනෙකු වෙත එම මිලදී ගන්නා ලද පුටු 16,361ක් නිවාස හෝ කාර්යාල වෙත ප්‍රවාහනය කරවා භාරදීම ඔහුට එල්ල වී ඇති චෝදනාව වේ. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.