Local news

මර්වින් සිල්වාට එරෙහි නඩුව කැඳවයි

මර්වින් සිල්වාට එරෙහි නඩුව කැඳවයි

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවනු ලැබීය.

පසුගිය 2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ගොනුකර ඇත.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමට සිදුවුණි.

සජින් වාස්ට අධිචෝදනා

සජින් වාස්ට අධිචෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධව මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මම දන්නවා.. තිත තියන්න කාලය ඇවිත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මම දන්නවා.. තිත තියන්න කාලය ඇවිත්

මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස (31) වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.

ආණ්ඩු පෙරලුනාට පසුව කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදාගත් බවත් දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.

වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදුකර “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම” නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.

එම පර්යේෂණ ග්‍රන්ථය එළැඹෙන මාර්තු මස (31) වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවද නීතිඥ උදය ගමන්පිල සඳහන් කරයි.

අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.

“පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්.” 

ලංකාවේ “Work From Home” ජනපතිගේ අවධානයට

ලංකාවේ “Work From Home” ජනපතිගේ අවධානයට

මේ වනවිට මැදපෙරදිග මතු වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් අතවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වා ගෙන යාමේදී මතු වී ඇති තත්වයන් පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

මැදපෙරදිග යුද්ධය හමුවේ ගල්අඟුරු, ගෑස්, තෙල් ආදී බලශක්ති සැපයුම් ජාල වෙත එල්ලවී ඇති බාධාවන් සහ එම බාධාවන්ට මුහුණදෙමින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් එක් එක් අංශයන්ගෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග හා යෝජිත විකල්ප පිළිබඳ මෙහිදී සමාලෝචනය කෙරිණි.

මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ලෝකයේ සියලු රටවලට විශාල බලපෑමක් එල්ල කර ඇති බවත් ඊට මුහුණ දීමේදී ඩිජිටල් කේත ක්‍රමය, නිවසේ සිට රාජකාරී සිදු කිරීම වැනි විකල්ප ක්‍රමවේදයන් නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික ආර්ථිකයට වන බලපෑම අවම කර ගැනීමට හැකි වන බවද ජනාධිපතිවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්වය හමුවේ පවත්වාගෙන යා යුතු අකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ අතර ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

මෙහිදී සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානය යොමුව ඇති අතර ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වා ගෙන යාමේ හැකියාවන් පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

නේටෝ සංවිධානයට ට්‍රම්ප් අනතුරු අඟවයි

නේටෝ සංවිධානයට ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය නොදක්වන්නේ නම්, නේටෝ (NATO) සංවිධානය ‘ඉතා නරක’ අනාගතයකට මුහුණ දෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ කණ්ඩායම් ප්‍රයත්නයක් සඳහා එක්වන ලෙස චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් ඔහු ඉල්ලීමක් සිදුකර දිනකට පසුව මෙම අදහස් දැක්වීම සිදුකර ඇත.

තවද අමෙරිකාව මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කළ බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් ගමනාගමන මාර්ගය ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය සැලකෙයි.

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවයි

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අත්හිටුවයි

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හටගත් අතර ඒ හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇත.

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජිවීත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේටයේ ඉතාලි හමුදා කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර

කුවේටයේ ඉතාලි හමුදා කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර

කුවේට් පිහිටි අලි අල් සාලෙම් ඉතාලි හමුදා කඳවුරකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය පෙබරවාරි (28) වන දින ආරම්භ වූ අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය විසින් කලාපයේ අමෙරිකානු කඳවුරු පිහිටා ඇති රටවල් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සියලුම ඉතාලි කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටි බවත් විදේශයන්හි සිටින සියලුම ඉතාලි හමුදා කණ්ඩායම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අඛණ්ඩව සම්බන්ධතා පවත්වන බව ආරක්ෂක අමාත්‍ය ගයිඩෝ ක්‍රොසෙටෝ සඳහන් කරයි.

මේ අතර ඉරාන ඩ්‍රෝන යානා දෙකක් කුවේටයේ අහමඩ් අල්-ජාබර් ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාර හේතුවෙන් සොල්දාදුවන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇත.

මෙම කඳවුර පිහිටා ඇත්තේ මැද පෙරදිග එක්සත් ජනපද හමුදා අණදෙන නිලධාරියා වන CENTCOM හමුදා ඒකකයේ ඉදිරි මූලස්ථානය පිහිටා ඇති අරිෆ්ජන් කඳවුරට යාබදව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අර්බුදය හමුවේ හදිසි තෙල් සංචිත මුදාහරී

පවතින අර්බුදය හමුවේ හදිසි තෙල් සංචිත මුදාහරී

මේ දිනවල ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිත වලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර ඇත.

වර්තමානයේ උද්ගතව ඇති අභියෝග වලට මුහුණදීම සඳහා එක්සත් රාජධානිය සහ අමෙරිකාව ඇතුළු ලොව ධනවත්ම රටවල් 32කින් සමන්විත (IEA) සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ඉතා ඉක්මනින්ම මෙම තෙල් තොග ලෝක වෙළෙඳපොළට පැමිණීම ආරම්භ වනු ඇති බවද ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සඳහන් කරයි.

අශෝක රන්වල අත්අඩංගුවට ගනීද.?

අශෝක රන්වල අත්අඩංගුවට ගනීද.?

හිටපු කථානායක, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් (11) වැනිදා සපුගස්කන්ද මාවරමණ්ඩිය, දෙනිමුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම නිසා අදාළ වරෙන්තු නිකුත් කර ඇත.

මන්ත්‍රී අශෝක රන්වල පැදවූ මෝටර් රථය පවර් හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී මෙම රිය අනතුර සිදුව ඇත.

ගෝඨාභය හෙට අල්ලස් කොමිසමට කැඳවයි.?

ගෝඨාභය හෙට අල්ලස් කොමිසමට කැඳවයි.?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (17) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවත්වා ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නැවත දැනුම් දී ඇත.

කෙසේ වෙතත් මීට පෙර දිනයක ගෝඨාභය රාජපක්ෂට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණද එදිනට පැමිණීමට නොහැකි බවට ලිඛිතව කොමිසමට දැනුම් දී තිබුණේය.