Local news

සුරේෂ්⁣ සලේ උපවාසය අත්හැරීමට කොන්දේසි කියයි

සුරේෂ්⁣ සලේ උපවාසය අත්හැරීමට කොන්දේසි කියයි

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් උපවාසයේ සිටින බව වාර්තා වේ.

පවුලේ ඥාතීන් සහ නීතීඥවරයා ඔහු බැලීමට පැමිණි අවස්ථාවේදි තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසට සුරේෂ්⁣ සලේ ඉල්ලා ඇත.

තවද තමන්ව රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙස ඉල්ලමින් සුරේෂ්⁣ සලේ මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන් වේ.

මේ අතර සුරේෂ් සලේ වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (09) දිනයේත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ කර ඇත.

සරණ අසරණ වෙයි.. නඩු හතරක තීන්දුව සූදානම්

සරණ අසරණ වෙයි.. නඩු හතරක තීන්දුව සූදානම්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩු හතරක තීන්දුව අද (09) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

එම නඩු හතරක තීන්දුව පසුගිය මස (26) වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදින නඩුකරයන් කැඳවූ අවස්ථාවේදී තීන්දු ලියා සූදානම් කර නොමැති බව විනිසුරුවරයා නිවේදනය කළේය.

පසුගිය 2006 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එම ආයතනය සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමෙන් රජයට පාඩු සිදුකළ බවට එල්ල වී ඇති දූෂණ චෝදනා මුල් කරගනිමින් අල්ලස් කොමිසම විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පවරා ඇත.

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක්

ඉදිරි සති දෙක තුළ ඉරානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණයක්

ඉරානයට එරෙහිව ඉදිරි සති දෙක ඇතුළත අමෙරිකාව සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ,

“අපි දැන් සාකච්ඡා පවත්වමින් ඉන්නවා, ඔවුන් ඉතා හොඳ ගිවිසුමකට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් අපට සියල්ල ලබාදීමට සූදානම්, ඔවුන්ට න්‍යෂ්ටික අවි අවශ්‍ය නැති බව පැවසීමටත් ඔවුන් සූදානම්.”

“මම හිතන්නේ අපි ඒ සටන ජයග්‍රහණය කරමින් ඉන්නවා. නමුත් ඉදිරි සති දෙක තුළ අපි සම්පූර්ණ ජයග්‍රහණයක් ප්‍රකාශයට පත් කරන විට ඔබ සැබවින්ම එය ජය ගනු ඇත. එය සම්පූර්ණ ජයග්‍රහණයක් වනු ඇති අතර එය ඉතා ඉක්මනින් සිදුවනු ඇත. එවිට තෙල් මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇත.”

ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්

2026 වසරට අදාළ 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

ඒ අනුව එළඹෙන අගෝස්තු මස (09) වෙනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එහි දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා පැවැත්වෙන අතර පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වා පැවැත්වීමට සැලැසුම් කර ඇත.

ගම්මන්පිල, විමල් සහ දිලිත් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට බාධා කරයි

ගම්මන්පිල, විමල් සහ දිලිත් පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට බාධා කරයි

හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට බාධා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙයි.

සුරේෂ්⁣ සලේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට මේ දක්වා විමර්ශන කටයුතු සදහා සාධනීය සහයක් ලබා නොදෙමින් කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුරේෂ් සලේ මුල් අවස්ථාවේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අනීතිකව චෝදනා කරමින් කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සැලසුම් සහගතව ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා දෙකකදී සැකකරු පරීක්ෂා කර රුධිරයේ සීනි මට්ටම අඩුවී ඇතැයි තහවුරු කිරීමෙන් පසුව ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව ගොනුකළ වාර්තාවේ සඳහන් වේ.

සාධනීය, අතිශය සංවේදී කරුණු විමර්ශනයේදී අනාවරණය වෙමින් තිබියදී ඊට බාධා කරමින් හා තවදුරටත් සාක්ෂිකරුවන් කරුණු හෙලිදරව් කිරීම වැළැක්වීමේ අරමුණින් එම සැකකරු චේතනාන්විතව කටයුතු කරමින් සිටින බවද සඳහන් කරයි.

විමර්ශන නිලධාරීන් කෙරෙහි මහජනයා තුළ වෛරී හැඟීමක් හා අප්‍රසාදයක් ඇතිකර මෙම විමර්ශනයට එරෙහිව ජනතාව රැස්කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හා විමර්ශන නිලධාරීන්ගේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධතාවයක් ඇතිකරවීමට සැළසුම් සහගතව කටයුතු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

එම සැළසුම් සහගත ක්‍රියාදාමය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින්ගේ මෙහෙයවීම මත සිදුකරනු ලබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු (10) වෙනිදා සිට සැප්තැම්බර් (05) වෙනිදා දක්වා පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

අනුරාධපුර දැරිය අපයෝජනය කිරීමට අදාළ නඩුවේ ප්‍රගතිය සොයා බලයි

අනුරාධපුර දැරිය අපයෝජනය කිරීමට අදාළ නඩුවේ ප්‍රගතිය සොයා බලයි

අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් අපයෝජනයට ලක් වීමේ සිදුවීමට අදාළ නඩුවේ විමර්ශන කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස් විය.

එම සංසදයේ සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන නිලධාරීන් කැඳවා තිබිණි.

එහිදී, සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන විමර්ශනවලදී අධිකරණ නියෝග වලට අනුවම කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් අදාළ අංශවලට උපදෙස් ලබා දෙන ලදි.

එමෙන්ම, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා සහ අනෙකුත් වෛද්‍ය වාර්තා කඩිනමින් කැඳවා ගැනීමට ද කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

වින්දිත දැරිය සම්බන්ධයෙන් මේ වන විට අනුරාධපුරයට අමතරව අත්තනගල්ල සහ දඹුල්ල යන ප්‍රදේශවල ද අධිකරණ නඩු කටයුතු සිදු වන බැවින් එම නඩු කටයුතු අධීක්ෂණය සඳහා ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත් වීමක් සිදු කරන ලෙස සංසදය විසින් උපදෙස් ලබා දෙන ලදී.

මෙම නඩු කටයුතු ත්‍රිත්වයටම සම්බන්ධ වීම නිසා වින්දිත දැරිය නැවත නැවතත් පීඩාවට පත් වීම අවම වන ලෙස කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

එමෙන්ම, අධිකරණ සහ නීතිමය ක්‍රියාමාර්ග පහසු කර ගැනීමටත්, රජයේ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහාත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදු කළ ඉල්ලීමට මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව පළ කෙරිණි.

වින්දිත දැරියගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සංසදය විසින් දැනුම් දෙන ලදී.

එසේම, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊට අදාළ මැදිහත් වීම ඉදිරියේදී සිදු කිරීමට ද එකඟතාව පළ කළේය.

තවද, ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් වන අධිකරණ ක්‍රියාවලිය වාර්තා කිරීමේදී දරුවාගේ පුද්ගලිකත්වය, ආරක්ෂාව සහ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව මත මාධ්‍ය සහ අධිකරණ කටයුතු සඳහා මාර්ගෝපදේශයක් සකස් කළ යුතු බවටත්, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව මැදිහත් වීමටත් තීරණය විය.

ළමා අපයෝජන නඩු කටයුතුවලදි මතු වන නීතිමය සහ ප්‍රායෝගික බාධා මගහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ ඇති අනු කමිටුව කටයුතු කරනු ඇත.

අඩියක් පස්සට ගත් ඉරානය අනතුරු අඟවයි

අඩියක් පස්සට ගත් ඉරානය අනතුරු අඟවයි

ඉරානයේ ප්‍රධාන හමුදා මූලස්ථානය (Khatam al-Anbiya) විසින් ඊශ්‍රායලයට එල්ල කරන වත්මන් ප්‍රහාර අත්හිටවූ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ලෙබනනය ඇතුළු ප්‍රදේශවලට ඊශ්‍රායල ප්‍රහාර දිගටම එල්ල වුවහොත්, ඉරානය මීට වඩා දැඩි සහ බලවත් ප්‍රහාරයකින් ප්‍රතිචාර දක්වන බවද ඉරානය අනතුරු අඟවා ඇත.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ බේරූට් නුවරට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරු ලෙස ඉරානය හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර ඒ අනුව දෙරටම ඊයේ රාත්‍රියේ සහ අද දිනයේ එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන ඇත.

විමල්ගේ නඩුවක සාක්ෂි සටහන් කර ගනියි

විමල්ගේ නඩුවක සාක්ෂි සටහන් කර ගනියි

සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයතා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (08) දින කොළඹ මහාධිකරණය හමුවේ යළිත් විභාගයට ගත්තේය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවීගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් ඉදිරියේදී එම නඩුව කැඳවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ජූනි මස (25) වනදා දක්වා කල් තැබුණි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමව තුළ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් විමල් වීරවංශට විරුද්ධව මෙම නඩුව ගොනුකර තිබුණි. 

හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවට දුන් නියෝගය

හිටපු ඇමති චන්ද්‍රානිට එරෙහි නඩුවට දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධව හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද (08) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවා ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබුණ අතර එහිදී නඩුවේ සාක්ෂි කාරියකගෙන් විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදුකර ඇති අතර අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි මස (09) වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කර ඇත.

නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීමට එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර ඇත.