Local news

උපවාස කරන⁣ සලේගේ එක මයිලකට හරි කරදරයක් වුණොත් බලාගෙනයි

උපවාස කරන⁣ සලේගේ එක මයිලකට හරි කරදරයක් වුණොත් බලාගෙනයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සුරේෂ්⁣ සලේගේ මාරාන්තික උපවාසය පැය 48ක් නොකඩවා පවත්වාගෙන ගියොත් අනිවාර්යෙන්ම එතුමාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙන බව ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සඳහන් කරයි.

එනිසා ආණ්ඩුවට කියන්නේ, සුරේෂ්⁣ සලේගේ මයිලකට හරි කරදරයක් වුණොත් අනිවාර්යෙන්ම රටට ආදරය කරන දේශප්‍රේමී බලවේග ටික පාරට එන බවද හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර සඳහන් කරයි.

සුගීෂ්වර බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“එතුමා මේ මාරාන්තික උපවාසය තව දවස්, තව පැය 24ක්, 48ක් නොකඩවා පවත්වාගෙන ගියොත් අනිවාර්යෙන්ම එතුමාගේ ජීවිතයට හානියක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම ජීවිතයට හානියක් වුණොත් ඒකේ වගකීම මේ අනුර, හරිනි, ටිල්වින් ආණ්ඩුව භාරගන්න ඕන.

අපි ආණ්ඩුවට කියනවා සුරේෂ්⁣ සලේ මහත්තයාගේ මයිලකට හරි කරදරයක් වුණොත්, මේ උපවාසය තුලින් සුරේෂ්⁣ සලේ මහත්තයාට යම් ප්‍රශ්නයක් වුණොත් අනිවාර්යෙන්ම මේ රටට ආදරය කරන දේශප්‍රේමී ජාති මාමක බලවේග ටික අනිවාර්යෙන්ම පාරට එනවා.”

සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්

සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ බිරිඳ වන මනෝරි සලේ විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

සුරේෂ් සලේට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී අමානුෂික ලෙස සලකා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් එම ලිපිය යොමුකර ඇත.

සිය සැමියාට වධහිංසා පැමිණවීම, කුරිරු සහ අමානුෂික ලෙස සැලකීම, නිල බලය අභිභවා කටයුතු කිරීම, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙසද එම ලිපියෙන් ඉල්ලා ඇත.

පවතින තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිත ආරක්ෂාව, සෞඛ්‍යය සහ මූලික අයිතිවාසිකම් පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇති බවත් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් වහාම මැදිහත් වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

සිය පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා හමුවූ අවස්ථාවේදී සුරේෂ් සලේ ලබාදුන් තොරතුරු පදනම් කරගනිමින් කරුණු 10ක් මෙම ලිපිය මඟින් පොලිස්පතිවරයා වෙත පෙන්වා දී ඇත.

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස ගැන තීරණයක්

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස ගැන තීරණයක්

ලියාපදිංචියකින් තොරව අනීතිකව පවත්වාගෙන යන වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට වාර්තා වන වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන 455න් 148ක් පමණක් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කරයි.

වැඩිහිටි නිවාස ලියාපදිංචිය හා නියාමනයට බලය ලැබෙන පරිදි නව රෙගුලාසි මාලාවක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කරයි.

ඊට අදාළ රෙගුලාසි වලට අදාළ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් අතර පළාත් සභා සමග සාකච්ඡා කර ඊට එකඟතාවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින බවත් එකඟතාව ලැබුණු වහාම අදාළ රෙගුලාසි බලාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සලේට අසාධ්‍යයි.. අවසන් කැමති පත්‍රය සකස් කිරීමට හමුවක් ඉල්ලයි

සලේට අසාධ්‍යයි.. අවසන් කැමති පත්‍රය සකස් කිරීමට හමුවක් ඉල්ලයි

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර ඇත.

සුරේෂ් සලේ ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බව අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.

සුරේෂ් සලේට සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයින් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත් සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි සුදුසු රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.

තවද සුරේෂ් සලේ විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නිතිමය ලේඛණ සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.

සුරේෂ් සලේගේ මෙම ප්‍රකාශ සහ තත්ත්වයන් ඔහුගේ ශාරීරික හා මානසික තත්ත්වය බරපතළ ලෙස පිරීහි ඇති බව පැහැදිළිව පෙන්වන බවත් ඔහුගේ යහපැවැත්ම, සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට ඔහුට තවදුරටත් හැකියාවක් නොමැති බවද අදාළ ලිපිය මගින් නීතිඥවරයා සඳහන් කර ඇත.

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%ක් නවතී

හෙට සිට පෞද්ගලික බස් ධාවනය 50%ක් නවතී

හෙට (08) සිට බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය විසින් තීරණයක් ගත් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 50ක් වනු ඇති බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරයි.

අද (07) දින කොළඹදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ,

“බස් රථ ගමනාගමනය මේ සතියේ සිට සීමා කරන්න අපි තීරණයක් ගත්තා. මාසයක් ඇතුළත කාලයක් බස් රථ ධාවනය කරගන්න යම් සහනයක් ලබාදීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවවත්, අමාත්‍යවරයාවත් යහපත් ප්‍රතිචාරයක් ලබාදී නැහැ.

වාර්ෂික ගාස්තු ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ජූලි මාසයේ මුල් සතියේ දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට වාර්ෂික ගාස්තුවත් ක්‍රියාත්මක කරන්න නෛතික හැකියාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ගිය සිකුරාදා සාකච්ඡා කළා.

මේ මාසයේ අගදී අනිවාර්යයෙන්ම ඩීසල් මිල වැඩි වෙනවා. මේ ගැනත් සලකා බලලා තමයි අපි මේ පාරත් ගාස්තු සංශෝධනය කරන්න කටයුතු කරන්නේ. මෙවර වාර්ෂික ගාස්තු ප්‍රතිපත්තිය ජනතාවට දරාගන්න බැරි වෙයි. මොකද හේතුව සියලු පිරිවැයන් වැඩිවෙලා තියෙනවා.

උදාහරණයක් විදිහට සියයට 20කින් 25කින් ඉහළ යන්න පුළුවන්. එවැනි පාඩුවක් තියාගෙන අපිට මේක කරන්න බැහැ. ඒ නිසා තමයි ඉල්ලීමක් කළේ, ඩීසල්වලට යම් සහනයක් දෙන්න කියලා නීතිය අනුව. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ.

ඒ නිසා අපි තීන්දු කළා, දැනටමත් සියයට 25ක් විතර බස් ධාවනයෙන් ඉවත් වෙලා තියෙනවා ස්වයංව. අපි මේ සතියේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන්න තීරණය කළා. ඒ අනුව මේ සුමානයේ බස් රථ ධාවන කාලසටහන් යම් ආකාරයකට වෙනස් කරලා, බස් රථ ධාවනය සීමා කරන්න.

අත්‍යවශ්‍ය ධාවන වාර සංඛ්‍යාව පමණක් උදෑසන, දහවල් පාසල් ඇරෙන වෙලාව, හවස කාර්යාල ඇරෙන වෙලාවට ගමන් වාර හතරක් ධාවනය වෙන වෙලාවට තුනක් ධාවනය කරන්න කටයුතු කරනවා. මොකද අපිට පාඩු සහිතව බස් ධාවනය කරන්න හැකියාවක් නැහැ. මෙහිදී ගමන් වාර අඩු කිරීමේ සීමාවත් එක්ක ධාවනය වන ප්‍රතිශතය සියයට 50 දක්වා අඩු වෙනවා.”

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සලේ ගැන පළමු වරට කතා කරන බිරිඳ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සලේ ගැන පළමු වරට කතා කරන බිරිඳ

මාරාන්තික උපවාසය අත්හරින ලෙස සිය සැමියාට පැවසුවද ඔහු එය පිළිගැනීමට සුදානම් නොමැති බවත් සිදුවන අසාධාරණය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේගේ බිරිඳ සඳහන් කළාය.

සුරේෂ් සලේව බැලීමට අද (07) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඇය සඳහන් කළේ,

“මගේ හස්බන්ඩ් ඉනසන්ට් කියලා ඔක්කොමලා දන්නවා. ඉතින් මෙහෙම කරන එක ඉතාමත්ම අසාධාරණයි කියන එක. මොකද එයාව ස්කේප් බෝඩ් කෙනෙක් කරගෙන මේ වෙලාවේ තියෙන එක හොඳටම පේනවා. JMO රිපෝට් එකෙත් කියලා තියෙනවා ඉතාම හරිම ඉන්හියුමන්ට් ට්‍රීට්මන්ට් කියලා. එයා දැන් මාරාන්තික උපවාසයක් පටන් අරන් තියෙන්නේ.

කොහොමත්ම නවත්තන්න කැමති නෑ. අපි ගොඩාක් කතා කරලා බැලුවා. පුළුවන් ද කියලා හිත වෙනස් කරන්න. මොකද අපි ඔක්කොම දන්නවා එයා ඉනසන්ට් කියන එක. ඉතින් ඉන්වෙස්ටිගේෂන්ස් කරන්න පුළුවන්. නමුත් මානුෂීය විදිහට සලකන්න ඕනනේ. මොකද ඉතාම අමානුෂික විදිහට තමයි සලකලා තියෙන්නේ.”

“හැමවෙලේම එයා කොන්ද කෙලින් තියන් හිටපු මනුස්සයෙක්. ඉතින් මං හරි ආඩම්බර වෙනවා මගේ හස්බන්ඩ් ගැන. මෙහෙම උපරිම සේවයක් කරපු එක ගැන. නමුත් මං ඉල්ලා සිටින්නේ එයාට හාම් එකක් වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි හොස්පිටල් එකකටවත් ගෙනියන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා.

මොකද එයා ඉන්න මානසික තත්ත්වය අනුව එයාට කියන්න බෑනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා. එතකොට වගකිවයුත්තෝ දැනගත යුතුයි හරි දේ කරන්න. එයාගේ ජීවිතය බේරාලා දෙන්න මම ඔක්කොමලගෙන් ඉල්ලන්නේ එච්චරයි.”

දිස්ත්‍රික්ක රැසකට තද වැසි

දිස්ත්‍රික්ක රැසකට තද වැසි

අද (07) දින දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට රැස්වීම් වර්ජනයක

ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට සිට රැස්වීම් වර්ජනයක

හෙට (08) දිනයේ සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය සඳහන් කරයි.

සදුදා දිනවල විවිධ අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් ඉන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කරයි.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටලු විසඳීමට කාර්යාලයේ රැදී සිටීම අනිවාර්ය කර ඇති අතර කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හෙට දිනයේ සිට මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්.සෙන්තිල් සඳහන් කරයි.

ජීවිතේට ජනපති වෙන්න බැරි රනිල්ව ජනපති කළේ පොහොට්ටුව

ජීවිතේට ජනපති වෙන්න බැරි රනිල්ව ජනපති කළේ පොහොට්ටුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොසිටියා නම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජීවිතේට මේ රටේ නායකයා වෙන්නේ නැති බව පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

එනිසා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කළ උපකාර වෙනුවෙන් දැන් කෙලෙහිගුණ සැලකිය යුතු බවද පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සඳහන් කරයි.

සංජීව එදිරිමාන්න තවදුරටත් සඳහන් කළේ,

“අපි එතුමාට උදව් කළා. මේ රටේ අවුරුදු දෙක හමාරක පාලන බලය අරගෙන යන්න. මම හිතනවා එතුමාට යුතුකමක් තියනවා කියලා මේ වෙලාවේ ඒ දුන්න අවස්ථාවට කෘතගුණ සැලකීමක් ලෙස නාමල් රාජපක්ෂ වටා ගොනුවෙන මේ දේශපාලන බලවේගයට උදව් කරන්න. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප නොසිටියා නම් එතුමාගේ ජීවිත කාලේ මේ රටේ නායකයා වෙන්නේ නැහැ එතුමා.”

කැලණියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජීව එදිරිමාන්න මේ බව සඳහන් කරයි.

සලේ ගැන ගම්මන්පිල කියන කතාවට පොලීසියෙන් පිළිතුරු

සලේ ගැන ගම්මන්පිල කියන කතාවට පොලීසියෙන් පිළිතුරු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

සුරේෂ් සලේ සම්බන්ධව සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයට කටයුතු කර ඇති බවත් කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ නොසලකා හැරීමක් සිදුකර නොමැති බවද පොලීසිය සඳහන් කරයි.