Local news

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

ගණේමුල්ල සංජීව ඝාතනයේ නීතීඥවරියගේ තවත් හොර වැඩක් මාට්ටු.!

සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවත් ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කරයි.

මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

හිටපු දේශපාලඥයින්ට ලබාදුන් ගිනිඅවි රැසක් අතුරුදන්.!

විවිධ දේශපාලඥයින්ට පසුගිය කාලයේදී ගිනිඅවි නිකුත් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

එම දේශපාලඥයින්ට නිකුත් කළ සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවත් 2024 වසරේදී ගිනිඅවි සමීක්ෂණයක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එම සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවත් ගිනිඅවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අද (19) දින පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කරයි.

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි.!

දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් ආරක්ෂක ලේකම්වරයා හමුවෙයි.!

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk අද (19) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) හමුවිය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සහ අන්‍යොන්‍ය ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීම පිළිබඳව මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

තවද දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ඉහළ නැංවිය හැකි අවස්ථා පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් අතර, මිත්‍රශීලී සබඳතා වර්ධනය කර ගැනීමට දෙපාර්ශවයේ කැපවීම මෙහිදී යළි තහවුරු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සිය ප්‍රශංසාව පළ කළේය.

ආරක්ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සිය කෘතඥතාව පළ කළ අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීමට දකුණු අප්‍රිකාව සූදානම් බවද යළි අවධාරණය කළේය.

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

හිටපු ජනාධිපතිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.!

දකුණු කොරියානු අධිකරණය විසින් කැරැල්ලක් සැලසුම් කිරීමේ වරදට හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් හිටපු ජනාධිපතිවරයාට මෙම දඬුවම නියම කර ඇත.

මගේ විශ්‍රාම වැටුප නැති වුණා.. මම රාජ්‍ය සේවකයෙක්.!

මගේ විශ්‍රාම වැටුප නැති වුණා.. මම රාජ්‍ය සේවකයෙක්.!

තමාගේ විශ්‍රාම වැටුප නැති වුණ බවත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ සේවකයින් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

නවීන් දිසානායක සඳහන් කළේ,

“මගෙත් පෙන්ෂන් පඩිය නැති වුණා. ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික මට ඒක හානියක් වෙන්නේ නෑ. මම එකක් කියන්න ඕන, මේ සියලුම මන්ත්‍රීවරුන් රජයේ සේවකයන්.

ඉතින් රජයේ සේවකයන්ට අනිවාර්යෙන්ම පෙන්ෂන් එකක් ලැබෙනවා. රාජ්‍ය සේවකයෙක්ට පෙන්ෂන් එක ලැබෙනවා නම්, මට තේරෙන්නේ නෑ ඇයි හිටපු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක දෙන්නේ නැත්තේ කියලා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මේ බව සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි.!

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි.!

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ සහ බුද්ධි විශ්ලේෂණ ඒකකයේ හිටපු ස්ථානාධිපති එම්.එම්.යූ. සුබසිංහ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කණගාටුව ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු පී. පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කළේය.

මෙම පනත යටතේ සිදුකරන නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත සති දෙකක් ඇතුළත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

නතාෂා එදිරිසූරියව 2023 මැයි (27) වන දින සිදුකළ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටීම මෙන්ම ඒ හරහා ඇයගේ කීර්තිනාමයට සහ ගෞරවයට සිදුවූ හානිය මෙන්ම ඇයට ඇති වූ මානසික පීඩාවන් පිළිබඳව බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවද අත්අඩංගුවට ගත් නිලධාරියා සිය ලිපියේ සඳහන් කර ඇත.

අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය නියෝග කළේය.

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ප්‍රමාණවත් පරිදි තොග සමාගම සතුව පවතින බවත් අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවද ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

එනිසා අනවශ්‍ය කලබලයක් ඇති නොකරගන්නා ලෙස ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට දැනුම් දෙයි.

පෙබරවාරි (17) සහ (18) යන දිනවල අපි දැනටමත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 284,000ක් නිකුත් කර ඇති බවද එම සමාගම සඳහන් කරයි.

අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද එම සමාගම සඳහන් කරයි.

අවශ්‍ය පරිදි ප්‍රමාණවත් තොග මේ වනවිටත් ඇණවුම් කර ඇති බවත් සැපයුම තවදුරටත් ස්ථාවර කිරීම සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ගෑස් නැව් තුනක් මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදල හෙළිකරයි.!

මන්ත්‍රීවරයෙක්ට ගෙවනු ලබන වැටුප් හා දීමනා මුදල හෙළිකරයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හෙළි කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මාසිකව රුපියල් 54‍,285ක දීමනාවක් ගෙවනු ලබයි.

මාසික සංග්‍රාහ දීමනාව ලෙස රුපියල් 1,000ක මුදලක් ගෙවනු ලබයි.

මාසික රියදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ගෙවනු ලබයි.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියදුරෙකු ලබාගතහොත්, එම මන්ත්‍රීවරයාට රියදුරු දීමනාවක් ගෙවනු නොලැබේ.

දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක්, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ගෙවනු ලබයි.

කාර්යාල දීමනාව රුපියල් ලක්ෂයක් වන අතර රැස්වීම් දීමනාව ලෙස දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 2,500කි. 

පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.

එක් එක් මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය පදනම් කරගනිමින් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් පදනම් කරගනිමින් සෑම මාසයකම පළමු වන දිනට වෙළඳපොළේ ඩීසල් ලීටරයක අනුමත මිල ගණන් අනුව ඉන්ධන දීමනාව ගෙවනු ලබයි.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දුන් නියෝගය.!

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට දුන් නියෝගය.!

ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර ඇත.

අද (19) දින මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවු අතර එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස (02) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම පිළිබඳ විශේෂ සාකච්ජාවක්.!

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම පිළිබඳ විශේෂ සාකච්ජාවක්.!

නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේගේ සභාපතිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් දැනට පවතින සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස මෙම විශේෂ සාකච්ඡාව ක්‍රියාත්මක කෙරිණ.

නීතිවිරෝධී, වාර්තා නොවන සහ අවිධිමත් ධීවර කටයුතු මෙන්ම, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ සිදුවන අනෙකුත් නීතිවිරෝධී ක්‍රියා ඵලදායි ලෙස වැළැක්වීම සඳහා ගත යුතු ඉදිරි පියවර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ අන්තර් ආයතනික සහයෝගීතාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී මුලික අවධානය යොමු කෙරිණි.

දේශීය හා විදේශීය ධීවර යාත්‍රා මගින් සිදු කරන නීති විරෝධී මසුන් ඇල්ලීම, Bottom trawling දැල් භාවිතය, ගුවන් විදුලි සංඛ්‍යාතඅනවසරයෙන් භාවිතා කිරීම සහ ධීවර කටයුතු මුවාවෙන් සිදු කරන විවිධ ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු අතර විය.

නීතිවිරෝධී ධීවර කටයුතු සහ කිමිදුම් කටයුතු වල නිරත වීම සඳහා තම යාත්‍රා නිරීක්‍ෂණ පද්ධති (Vessel Monitoring Systems) හිතාමතාම අක්‍රීය කරන දේශීය යාත්‍රාවල ධීවර බලපත්‍ර අත්හිටු වීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පනවා ඇති නීතිරීති උල්ලංඝනය කිරීම් වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ශක්තිමත් ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දෙන ලදි.