Local news

ටිල්වින්ට එරෙහිව කොටි නැගිටියි.!

ටිල්වින්ට එරෙහිව කොටි නැගිටියි.!

බ්‍රිතාන්‍යයේදී ටිල්වින් සිල්වා LTTE හිතවාදීන්ගේ විරෝධතාවලට මුහුණ දෙයි

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා බ්‍රිතාන්‍යයේ සිදු කළ සංචාරයක් අතරතුරදී ලන්ඩනයේදී LTTE (Liberation Tigers of Tamil Eelam) හිතවාදීන් පිරිසකගේ විරෝධතාවලට මුහුණ දී ඇති බව වාර්තා වේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හමුවීම සහ ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ටිල්වින් සිල්වා මහතා එක්සත් රාජධානිය වෙත සංචාරයක නිරත විය.

ජාතික ජන බලවේගයේ (NPP) ලන්ඩන් ශාඛාව විසින් සංවිධානය කරන ලද මහජන හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදී මෙම සිදුවීම වාර්තා වී ඇත.

විරෝධතාකරුවන්ගේ පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ

රාජ්‍ය පරිපාලන ඇමතිට සම්මානිත මහාචාර්ය පදවියක්.!

රාජ්‍ය පරිපාලන ඇමතිට සම්මානිත මහාචාර්ය පදවියක්.!

අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතාට “සම්මානිත මහාචාර්ය” පදවිය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා වෙත කැළණිය විශ්වවිද්‍යාලය විසින් “සම්මානිත මහාචාර්ය” (Professor Emeritus) යන පදවි නාමය පිරිනමා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති සිල්වා මහත්මිය විසින් මේ පිළිබඳව අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, මෙම පදවි නාමය 2025 ඔක්තෝම්බර් මස 14 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

මෙම පදවි නාමය පිරිනැමීමත් සමඟ, මින් ඉදිරියට අමාත්‍යවරයාගේ නම සමඟ “සම්මානිත මහාචාර්ය” යන පදවි නාමය භාවිතා කිරීමට නියමිතය. මීට පෙර අමාත්‍යවරයා “ආචාර්ය” යන පදවි නාමයෙන් හඳුන්වා දෙන ලදි.

අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව, මේ පිළිබඳව අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන ප්‍රධානීන්ට සහ අදාළ නිලධාරීන්ට දැනුම් දීමක් සිදු කර ඇත.

ජනපති අනුර 57වැනි වියට පා තබයි.!

ජනපති අනුර 57වැනි වියට පා තබයි.!

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අනුර දිසානායක මහතාගේ 57 වන උපන්දිනය අදට (නොවැම්බර් 24) යෙදී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම ජාතික ජන බලවේගය ගොඩනැගීමේ ප්‍රමුඛයා වන දිසානායක මහතාට, දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛයන් විසින් උපන් දින සුබ පැතුම් එක් කර ඇත.

1968 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ගම්මානයේදී උපත ලැබූ අනුර දිසානායක මහතා, 2024 සැප්තැම්බර් 21 දින පැවති ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරයට පත් විය. මෙම ජයග්‍රහණය, මෙතෙක් පැවති ප්‍රධාන පක්ෂ දෙක අතර බල හුවමාරුවට අභියෝගයක් එල්ල කළේය.

ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් අනතුරුව, දූෂණයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීම සහ රටේ අර්බුදකාරී ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම ඔහුගේ ප්‍රමුඛතාව වී ඇත.

ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය උත්සව හෝ සැමරුම් වෙනුවට, ජනතාවට සහ රටට සේවය කිරීමේ එදිනෙදා කටයුතුවල නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙයි.!

ධීවර ප්‍රජාවට විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙයි.!

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙම රක්ෂණ ක්‍රමය මගින් ධීවර ප්‍රජාවට විශේෂ ප්‍රතිලාභ රැසක් හිමිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ විය.

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ධීවර ප්‍රජාවට හිමිවන ප්‍රධාන ප්‍රතිලාභ පහත පරිදි වේ:

  • මාසික විශ්‍රාම වැටුප: නියමිත දිනට හෝ ඊට පෙර වාරික මුදල් ගෙවා නිම කළ දායකයින්ට වයස අවුරුදු 60 සිට මාසික විශ්‍රාම වැටුපක් හිමි වේ.
  • අර්ධ වශයෙන් ගෙවූ දායකයින් සඳහා ප්‍රතිලාභ:
    • 75%ක් වාරික මුදල් ගෙවා ඇති දායකයින්ට විශ්‍රාම වැටුප් අහෝසි වීමකින් තොරව, අවුරුදු 60 සිට ගෙවා ඇති මුදලට සරිලන මාසික වැටුපක් ලබා ගත හැකිය.
    • 25%ත් 75%ත් අතර දායක මුදල් ගෙවා ඇති විටකදී, සම්පූර්ණ මුදල ඊට සරිලන පොළියක් සමඟ එකවර ලබා ගත හැකිය.
  • බෙලහීනතා ප්‍රතිලාභ:
    • විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර අර්ධ බෙලහීනතාවයකට ලක්වුවහොත්, පාරිතෝෂික මුදලක් හෝ විශ්‍රාම වැටුප් ගෙවන අවස්ථාවේදී මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීමේ හැකියාව ඇත.
    • ස්ථීර බෙලහීනතාවයට පත්වූ විට, රුපියල් 50,000ක උපරිමයක් දක්වා පාරිතෝෂිකයක් එකවර හෝ කොටස් වශයෙන් ලබා ගැනීමේ හැකියාව හිමි වේ.
  • මරණ ප්‍රතිලාභ:
    • විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුවහොත්, වසරකට පසුව උරුමකරුට මුළු දායක මුදල ඊට සරිලන පොළියක් සමඟ ලබා ගත හැකිය.
    • විශ්‍රාම වැටුප් ලබන අතරතුර දායකයා මිය ගියහොත්, ඔහුට වයස අවුරුදු 80 වන තෙක් කලාත්‍රයාට මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ හැකියාව මෙන්ම ඉතිරි මුදල එකවර ලබා ගැනීමේ හැකියාවද හිමි වේ.
  • වාරික මගහැරීම්: වාරික මුදල් මගහැරුණු අවස්ථාවකදී, හිඟ මුදල් හා පොළිය ගෙවීමෙන් නැවත සහතික ඔප්පුව වලංගු කර ගැනීමේ හැකියාව පවතී.
එකම තැන 07ක් සමූල ඝාතනය කිරීමට සැළසුම් කරමින් සිටි අයෙක් අල්ලයි.!

එකම තැන 07ක් සමූල ඝාතනය කිරීමට සැළසුම් කරමින් සිටි අයෙක් අල්ලයි.!

මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සැලසුමකට සම්බන්ධ සැකකරුවෙකු වැලිගම පොලිසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු, ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

ව්‍යාපාරිකයා ඇතුළු පිරිස ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටියදී, ඒ පිළිබඳව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රෝහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමකට ලද තොරතුරක් මත, පසුගියදා මිදිගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර තිබුණි.

එම පරීක්ෂාවේදී, ටී-56 ගිනි අවියක් සමඟ යුද හමුදාවේ හිටපු සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර, එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබුණි.

ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී, අපරාධකරුවන්ට නවාතැන් දුන් බවට චෝදනා ලැබූ අදාළ නිවසේ හිමිකරු වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මිදිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර, ඔහුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

එජාප – සජබ දීගයේ නායකත්වය සජිත්ට.!

එජාප – සජබ දීගයේ නායකත්වය සජිත්ට.!

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමේ වගකීම භාරගත් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරන සියලු කටයුතු සිදුවනු ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සජබ සහ එජාපයේ නායක මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරයි.

තවද පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා පක්ෂ දෙකම ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවද මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරයි.

කොළඹ පැවති සමග ජන බලවේගයේ නව ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂ නියෝජිතයන්ට මේ බව දැනුම් දුන් බවද මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කරයි.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්.!

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්.!

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ දිවයින වටා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර, නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව සඳහා සැලකිලිමත් වන ලෙසට එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (24) වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

අනතුරුව එළඹෙන පැය 48 තුලදී එම පද්ධතිය තවදුරටත් සුළි කුනාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම නිවේදනයෙන් දැනුම් දී ඇත.

අද සිට Ticket එක Card එකෙන් ගෙවන්න.!

අද සිට Ticket එක Card එකෙන් ගෙවන්න.!

මෙරට පළමු වරට බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ පහසුකම අද (24) දිනයේ සිට මගීන්ට හිමිවේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ තාක්ෂණික උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්නේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයයි.

පළමු අදියරේදී මාර්ග 20කට ආසන්න සංඛාවක බස් ගාස්තු බැංකු කාඩ් මගින් ගෙවීමේ පහසුකම ලබාදෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

පළමු අදියරේදී පෞද්ගලික බස් රථ සඳහා පමණක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවද උපදේශක සුමුදු රත්නායක සඳහන් කරයි.

වේදිකාවේ කුමාරයා නාමල්.. එජාප – සජබ දැන්වත් එකතු වෙන්න.!

වේදිකාවේ කුමාරයා නාමල්.. එජාප – සජබ දැන්වත් එකතු වෙන්න.!

නාමල් රාජපක්ෂට කුමාරයා කීවේ නුගේගොඩ වේදිකාව තනපු කුමාරයා නාමල් රාජපක්ෂ නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු සඳහන් කරයි.

නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ,

“ටෙල්වින් අංකල්ට මම කියපු කතාවට වඩා නාමල් මහත්තයාට කුමාරයා කිවුව එක. ඉතිං ඒ වේදිකාවේ කුමාරයා අනුර කුමාර නෙමෙයිනේ. ඒ වේදිකාව තනපු කුමාරයා නාමල් රාජපක්ෂ.”

“පාඩමක් ඉගෙන ගන්න පුළුවන් නම්, ඉගෙන ගන්න පුළුවන් එක පාඩමයි. එකතු නොවී බෙදී වෙන්වෙලා ගියොත් මේ ගමන යන්න වෙන එකක් නෑ.

දකුණේ කඳවුරක් හැටියට එක්සත් ජාතික පක්ෂයයි සජබයයි එකතු වීම අනිවාර්යයි. දැන්වත් අපි මේක කලේ නැත්තම්, ප්‍රමාද වුණොත් ඒ දකුණේ කඳවුරත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් ස්ථාන වලට.”

“දැන්වත් මෙම පක්ෂ දෙක වහාම එකතු වෙලා දකුණේ කඳවුරක් හැටියට මෙවැනිම නායකත්වයක් දීලා මෙවැනිම වේදිකාවක් තනන්න ඕන කියන එක තමයි මගේ මතය.”

මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කරයි.

පසුගිය වසරේ කෝටි 64ක් බෙදාගෙන කෑ පිඟාන.!

පසුගිය වසරේ කෝටි 64ක් බෙදාගෙන කෑ පිඟාන.!

පසුගිය 2024 වසරේ ලංකා පිඟන් සංස්ථාවේ රුපියල් කෝටි 64කට වැඩි පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

2024 වසරේ ලංකා පිඟන් සංස්ථාව රුපියල් 54,201,583ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර සමාලෝචිත වර්ෂය අවසානයේදී ලබා ඇති සමස්ත අලාභය රුපියල් 645,221,653ක් බව එම විගණන වාර්තාවේ දැක්වෙයි.

තවද පිඟන් සංස්ථාවෙහි වත්කම් ඉක්ම වූ වගකීමක් පවතින බැවින් එහි අඛණ්ඩ පැවැත්ම අවදානම් තත්ත්වයක පවතින බවද විගණනයේදී නිරීක්ෂණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වයේ අවධානය යොමු කර තත්ත්වය සමනය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතූ බවටයි විගණනය නිර්දේශ කර තිබුණේය.

මේ අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පිඟන් සංස්ථාවට ලැබිය යුතු මුදල් අය කර ගැනීමට කටයුතු කර නොමැති බවද විගණනයෙහි සඳහන් කර ඇත.

2012 වර්ෂයේ සිට ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් රුපියල් ලක්ෂ 50ක් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් දොලොස් ලක්ෂ විසිඑක් දහසකට අධික මුදලක් අය කරගෙන නැති බවද විගණනයෙහි සඳහන් කර ඇත.