Local news

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා අගමැතිනිය හමුවෙයි.!

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා අගමැතිනිය හමුවෙයි.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුව ඊයේ (17) දින කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය.

තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

වැඩ වර්ජනය අත්හිටුවයි.!

වැඩ වර්ජනය අත්හිටුවයි.!

දුම්රිය රියදුරන් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ සඳහන් කරයි.

හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගත් තීරණය තාවකාලිකව නැවැත්වීමට රජය ගත් තීරණය හේතුවෙන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය මෙලෙස අත්හිටුවන බව එම සංගමයේ ලේකම් දිමුතු එදිරිසිංහ සඳහන් කරයි.

නවදිල්ලි නුවරට ළඟා වු ජනපතිට උණුසුම් පිළිගැනීමක්.!

නවදිල්ලි නුවරට ළඟා වු ජනපතිට උණුසුම් පිළිගැනීමක්.!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

රාජ්‍ය අමාත්‍ය Shri Raj Bhushan Choudhary ඇතුළු පිරිසක් විසින් එහිදී ජනාධිපතිවරයාව හරසරින් පිළිගන්නා ලදී.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන (19) වනදා සමුළුව ඇමතීමට නියමිතය.

මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල ජනාධිපතිවරයා සමඟ සමුළුවට එක්වීමට නියමිතය.

රටම බලාසිටි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය.!

රටම බලාසිටි පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය.!

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.

අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය.

අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ.

ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය.

එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දෙන ලදී. ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.

මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් 2026 ජනවාරි මස (07) වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

තවද මෙම පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සහතිකය ද අද හිමිවිය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබී‍ම නතර‍වීම සිදුවේ.

දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක.!

දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක.!

අද (17) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර ඇත.

දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස දුම්රිය සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

අද සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී අද (17) දින මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවා වාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි.!

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අද (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

මෙම ජාතික ව්‍යසනයේදී ඉතාම සංවේදී කලාපයක් ලෙස සැලකූ මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නාය යාමට ලක්ව 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හය දෙනෙකු අතුරුදන් විය.

විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා මහත්මිය, ඔවුන්ට සිය සංවේගය පළ කළාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.

දැන් මෙහි සිටින කුඩා දරුවන් රටේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් හෙට දවසේ විශාල දායකත්වයක් දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඒ අරමුණ සාර්ථක කරගැනීම සඳහා රජය ළමා පරපුර සවිබල ගැන්වීමට කැපවී කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවද විපතට පත් පවුල්වල දරුවන් අමතමින් ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ පරිවර්තනය වෙනුවෙන් එක්සත් රාජධානියේ අඛණ්ඩ සහාය.!

ශ්‍රී ලංකාවේ පරිවර්තනය වෙනුවෙන් එක්සත් රාජධානියේ අඛණ්ඩ සහාය.!

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මෙරට සංචාරයක නිරත එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy අතර හමුව අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීනව සිදු වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බවද සඳහන් කළේය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේදී සංචාරක කර්මාන්තය, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත්, එක්සත් රාජධානියට එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම එක්සත් රජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතු දම සිහිපත් කරමින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයන වෙළෙඳපොළ තුළ එක්සත් රාජධානිය මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන පුළුල් දායකත්වයත්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟළුම සඳහා පනවා තිබු තීරු බදු ඉවත් කරමින් ලබා දුන් සුවිශේෂී සහායත් කෘතවේදීව අගය කළේය.

එක්සත් රාජධානීය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy සෑම විටම ශ්‍රී ලංකාවට ඉතා සමීප රටක් ලෙස කටයුතු කිරීමට ලැබීම ඉතා අගය කරන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව අනුගමනය කරන ආර්ථික සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සෑම ධනාත්මක වැඩසටහනකදීම එක්සත් රාජධානියේ පූර්ණ සහාය ලබා දෙන බවටද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූහ.

යුද්ධයෙන් පසු යළි ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වත්මන් රජය අනුගමනය කරන වැඩසටහන් සහ ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති පුළුල් සංවර්ධන වැඩපිළිවෙළද ඇගයීමට ලක් කරමින් ඒ සඳහා සහාය ලබා දෙන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (17) දින සම්මත වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණි.

දිළිඳු බව තුරන් කිරීමට “ප්‍රජා ශක්ති”

දිළිඳු බව තුරන් කිරීමට “ප්‍රජා ශක්ති”

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ජාතික ප්‍රතිපත්තියට අනුකූලව “ප්‍රජා ශක්ති” දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-02-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

මෙම වැඩසටහන මහජන කේන්ද්‍රීය ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා ජාතික ප්‍රතිපත්ති සභාවක් සහ ජාතික මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇත.

අමාත්‍යාංශ, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ ව්‍යුහයක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ග්‍රාමීය මට්ටමේ ගැටලු හඳුනා ගැනීම, වැඩසටහන් සැකසීම, ව්‍යාපෘති සැලසුම්කරණය, අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය, සමාජ විගණනය මෙන්ම ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ පසු විපරම් කිරීම සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම යන ක්‍රියාකාරකම් ඇතුළත්ව සමස්ත දිවයිනම ආවරණය කරනු ලබයි.

මෙම ජාතික ව්‍යාපාරයට සම්බන්ධ පාර්ශ්ව කරුවන් සමඟ පැවති සංවාද වලදී ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් නෛතික බලගැන්වීමක් ලබා දීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.

ඒ අනුව “ප්‍රජා ශක්ති” දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීම පිණිස පනත් කෙටුම් පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.

ජනපති අනුර දිවයිනෙන් පිටව යයි.!

ජනපති අනුර දිවයිනෙන් පිටව යයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ AI Impact Summit 2026 සමුළුවට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත විශේෂ ආරාධනයක් කළේය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන (19) වනදා සමුළුව ඇමතීමට නියමිතය.

මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.