ජින්තුපිටියේදී පසුගිය (14) වැනිදා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු බව සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (17) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“විශේෂයෙන්ම අපි සෘජුවම මේ අවස්තාවේ එකක් කියන්න කැමතියි. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතුයි කියන කාරණාව. ඒ පදනමේ අපි බොහොම ශක්තිමත්ව ඉන්නවා. ඒක ගැන අපි සෘජුවම ප්‍රකාශ කරනවා.”
“අපි ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ක්‍රියාත්මක විය යුතුයි කියන ස්ථාවරයේ. එසේ ඉන්න ගමන් ඊටත් වැඩිය වැදගත් වන මේ රටේ හත් ලක්ෂ පනස්දාහක් විශ්‍රාමිකයින්ගේ ගැටලු වලට, ඌනතාවයන් වලට, විෂමතාවයන් වලට විසදුම් ලබාදෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.”
අද (17) දිනයේ සිට ලබන (26) වැනිදා දක්වා පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.
ඒ අනුව අද සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සෙසු ප්‍රදේශවල ප.ව 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට අද (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන (19) වනදා සමුළුව ඇමතීමට නියමිතය.
දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121.1 වගන්තිය යටතේ අභියෝගයට ලක් කරන ලද ‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීම’ සහ ‘කුලී අවලංගු කිරීම’ යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න අද (17) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඊයේ (16) සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් විදේශීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වයස අවුරුදු 68ක්වූ හංගේරියානු ජාතිකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පා ගමනින් සීගිරිය පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි.
සීගිරිය පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටිනා 2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (17) ආරම්භ වේ.
විභාග දෙපාර්තමේන්තුව පැවසූවේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3545ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර විභාග කටයුතු සදහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසය.
ඇය වැඩිදුරටත් පැවසූවේ පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසයි.
අද උදෑසන 8.30ට විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු වේ.
සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වන විට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
මේ අතර විභාග මධ්‍යස්ථානවලට ජංගම දුරකථන, bluetooth, ස්මාට් වොච්, සටහන්, හෝ ලේඛන කිසිවක් රැගෙන යාම තහනම් වන බවද පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය සෑම අපේක්ෂකයෙකුම සිය අනන්‍යතා පත්‍රය විභාග අවසන්වන තුරු රැගෙන යා යුතු බවද අවධාරණය කළාය.
ඒ සඳහා පාසල් අපේක්ෂකයින්ට ජාතික හැදුනුම්පත, රියදුරු ගමන්පත්‍රය හෝ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කළ හැකි අතර, පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ජායාරූප දෙකක් ග්‍රාමනිලධාරීවරයා විසින් ලවා සහතික කරගත් තාවකාලික හැඳුනුම්පතක් භාවිත කළ හැකි බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම්දෙයි.
එමෙන්ම සියලු විභාග අපේක්ෂකයින් පිළිතුරු සැපයීමට පළමුව හොඳින් ප්‍රශ්‍නපත්‍රයේ උපදෙස් කියවා සියලු කොටස් තමා වෙත ලැබී ඇත්දැයි බැලිය යුතු බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය කාලය මැනවින් කළමනාකරණය කර නිවැරදිව විභාග අංකය සඳහන් කර විභාගයට පිළිතුරු සපයන ලෙසද අපේක්ෂකයින්ට දැනුම් දුන්නාය.
අත්අකුරු පැහැදිලිව සටහන් කරන ලෙසත් කිසිදු අවස්ථාවක ටිපෙක්ස් භාවිතයට යොමු නොවන ලෙසත් වැරද්දක් සිදුවුවහොත් එය ඉරකින් කපා නැවත පිළිතුරු සපයන ලෙසත් පැවසු ඉන්දිකා කුමාරි මහත්මිය පිළිතුරු පත්‍රය නිවැරදිව ඇමිණීමට වගබලාගත යුතු බවද සඳහන් කළාය.
සෑම විභාග අපේක්ෂකයෙකුම විභාග කාලය තුළ විභාග ශාලාවෙහි නීතිරීති ආරක්ෂා කළ යුතු බවත්, මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි වන ලෙස විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවත් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.
එමෙන්ම කිසිදු අවස්ථාවක වෙනත් විභාග අපේක්ෂකයෙකුට බාධා ඇති වෙන ලෙස හැසිරිය නොහැකි බවත්, එය ඇතැම් විට ප්‍රතිඵල අත්හිටුවීමට සිදුවන වැරැද්දක් විය හැකි බවද සඳහන් කර සිටි විභාග කොමසාරිස් ජනරාල්වරිය, විවේක කාලයේ දී ද අනෙක් අපේක්ෂකයින්ට බාධා ඇති වෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙස සඳහන් කළාය.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සමත් විය.
වසර 17කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස ලෝක කුසලාන තරාගවලියකදී ජයග්‍රහණයක් වාර්තා කිරීම සුවිශේෂී කරුණකි.
කුසල් මෙන්ඩිස් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පිට පිටම වාර්තා කළ 3 වන අර්ධ ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහිව රැස් කළේය.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව අර්ධ ශතක 3ක් රැස් කළ දෙවන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් වාර්තා අතරට එක් විය.
පැතුම් නිස්සංක විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට පත් විය.
මීට පෙර විස්සයි විස්ස ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ එකම පිතිකරුවා වූයේ, මහේල ජයවර්ධන පමණි.
ඒ අනුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනාම දැවී ලකුණු 181ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 184ක් රැස්කරගනිමින් තරගය ජයග්‍රහණය කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නියමුවා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අතිවිශිෂ්ඨ ශතකයක් වාර්තා කළේය.
මෙම ජයග්‍රහණයත් සමග B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුසුදුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.