Local news

ඉන්දු – පකිස්තාන තරඟයේ සැබෑ වීරයා ජනපති අනුර.!

ඉන්දු – පකිස්තාන තරඟයේ සැබෑ වීරයා ජනපති අනුර.!

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.

මෙරටට පැමිණ සිටින පාකිස්තානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Syed Mohsin Raza Naqvi, විදේශගත පාකිස්තානු ජාතිකයින් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය chaudhry Salik Hussain ඇතුළු නියෝජිත පිරිස අද (16) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළේය.

දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහායද ජනපතිවරයා කෘතවේදීව අගය කළේය.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව මෙහිදී සඳහන් කළ අමාත්‍ය Syed Mohsin Raza Naqvi ඒ පිළිබඳ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා රජය විසින් තම ක්‍රිකට් කණ්ඩායම ඇතුළු පිරිසට පිරිනමන ලද සුහදශීලී ආගන්තුක සත්කාරය පිළිබඳව මෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැක් වූ මිත්‍රශීලි සහයෝගය පිළිබඳවද අමාත්‍යවරයා වැඩිදුරටත් කෘතඥතාව පළ කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් කලාපය තුළත් ඉන් පිටතදීත් සහයෝගයෙන් කටයුතු කිරීම පාකිස්තානයේ අභිප්‍රාය බව සඳහන් කළ නියෝජිත පිරිස එහිදී ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහාය අගයමින් විශේෂයෙන් දෙරට අතර ආයෝජන, ශ්‍රම වෙළෙඳපොළ සහ සංචාරක කර්මාන්තයට අදළ කරුණු පිළිබඳ ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළහ.

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ,

“අතිගරු ජනාධිපතිතුමනි, ඔබට ස්තූතියි පළමුවෙන්ම. පාකිස්ථාන ජනාධිපතිවරයාගෙන් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් උණුසුම් සුබ පැතුම්.

ඔවුන් විශේෂයෙන් මගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සුබ පැතුම් ඔබට ලබා දෙන ලෙසයි. ඇත්ත වශයෙන්ම, ඊයේ තරඟයේදී සැබෑ වීරයා වූයේ ඔබ. මොකද ඔබ නිසා බිලියන 2ක ජනතාවක් විනෝද වුණා.

ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් හතර පමණක් ගණන් කළොත්, බිලියන 2කට වැඩි ජනතාවක් ඉන්නවා. ඉතින් අපි තරගය ක්‍රීඩා කළේ ඔබ නිසයි.

ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අපට ගැටළු කිහිපයක් තිබුණා, නමුත් ඔබ ඇමතූ වහාම 50-50 ක තීරණයක් තිබුණා, නමුත් අගමැතිතුමාට ඔබේ ඇමතුම ලැබුණු වහාම ඔහු මට කතා කළා.

ඔහු කිව්වා, තවත් ප්‍රශ්නයක් නැහැ, ජනාධිපතිවරයා මට කතා කළා, අපි තරගය ක්‍රීඩා කළ යුතුයි. එච්චරයි. ඉතින් ඔබ නිසා තමයි ඔබ මෙය කළමනාකරණය කර, ඉටු කළේ.”

IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා දිවයිනට.!

IMF කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා දිවයිනට.!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු පිරිස විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහිදී නියෝජිත කණ්ඩායම පිළිගනු ලැබීය.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය සහ එහි බලපෑම සෘජුව නිරීක්ෂණය කිරීමේ අරමුණින් IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරතවන අතර ඔවුන් හෙට (17) පෙරවරුවේ ගම්පොළ ප්‍රදේශයේ සංචාරයක නිරත වීමටද නියමිතය.

අනතුරුව කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනැඟීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දිය හැකි සහාය පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී පත් කරයි.!

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී පත් කරයි.!

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (16) ජනාධිපති කාර්යාලයේදී ඔහු වෙත භාර දෙනු ලැබීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති මේ වනවිට වසර 26ක කාලයක් රාජ්‍ය සේවයේ කටයුතු කරනු ලබයි.

2000 වර්ෂයේ පෙබරවාරි (15) වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ චන්ද්‍රකීර්ති මහතා 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I වන ශ්‍රේණියට උසස් වූ අතර 2019 වර්ෂයේදී විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබීය.

ඌව පළාත් සභාවේ අධ්‍යාපන හා සංචාරක අමාත්‍යාංශයේ සහකාර ලේකම් ලෙස 2001 වර්ෂයේදී මුල් පත්වීම ලැබු ඒ මහතා 2003 වර්ෂයේදී බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස රාජකාරී භාර ගන්නා ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු ලෙස 2006 වර්ෂයේදී පත්වීම් ලද අතර 2010 වර්ෂයේදී එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස උසස් වීම් ලැබ එම ධූරයේ 2015 වර්ෂය දක්වා කටයුතු කළේය.

ඉන්පසු 2015 අප්‍රේල් සිට 2020 ඔක්තෝබර් දක්වා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

2020 ඔක්තෝබර් සිට 2023 දෙසැම්බර් දක්වා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.

2024 ජනවාරි මස පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කළේය.

ඔහු 2024 නොවැම්බර් සිට මේ දක්වා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.

මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙසද කටයුතු කරයි.

මහ කන්නයේ වී මිල ගණන් මෙන්න.!

මහ කන්නයේ වී මිල ගණන් මෙන්න.!

මහ කන්නයේ (2025 – 2026) වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140යි.

සම්බා වී කිලෝවක මිල රුපියල් 130යි.

නාඩු වී කිලෝවක මිල රුපියල් 120යි.

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මේ බව සඳහන් කරයි.

පුද්ගලයින් 817කට මරණීය දණ්ඩනය.!

පුද්ගලයින් 817කට මරණීය දණ්ඩනය.!

පසුගිය 2025 වර්ෂයට අදාළව ප්‍රගති වාර්තාවට අනුව එම වසරේ සැප්තැම්බර් මස (30) වනදා වනවිට මරණීය දණ්ඩනය නියමවූ දේශීය සිරකරුවන් සංඛ්‍යා 811ක් බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරයි. 

දේශීය සිරකරුවන් අතර පිරිමි පුද්ගලයින් 792ක් සහ කාන්තාවන් 19 දෙනෙකු ඇතුළත්ව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරයි. 

තවද විදේශීය ජාතිකයින් පස් දෙනෙක් සහ ත්‍රස්ත වරදකට මරණීය දණ්ඩනය නියමවූ එක් අයෙක් බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරයි. 

ඒ අනුව මරණීය දණ්ඩනය හිමි වූ දෙස් විදෙස් පුද්ගලයින් 817 දෙනෙකු බන්ධනාගාර ගතව සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍යංශය සඳහන් කරයි. 

සුවිශේෂී බදු සහන මාලාවක්.!

සුවිශේෂී බදු සහන මාලාවක්.!

වසර 10ක් දක්වා විහිදෙන සුවිශේෂී බදු සහන මාලාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන දිරිගැන්වීම සඳහා මෙම සුවිශේෂී බදු සහන මාලාව ලබාදීමට රජය තීරණය කර ඇත.

යටිතල පහසුකම්, සංචාරක, නිෂ්පාදන, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ තාක්ෂණ ඇතුළු ප්‍රධාන අංශ හරහා මහා පරිමාණ ආයෝජන සදහා බදු සහන ⁣ලබා දෙමින්, ශ්‍රී ලංකාව නව උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියාමන රාමුවක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

විභාගයට යන්න කලින් අපේක්ෂකයින්ට දැනුම්දීමක්.!

විභාගයට යන්න කලින් අපේක්ෂකයින්ට දැනුම්දීමක්.!

2025 (2026) සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සහ නිල ෆේස්බුක් ගිණුමෙහි ඇති කාලසටහන ගැන පමණක් අවධානය යොමුකරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

පසුගිය වසරට වඩා මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂය පෙළ ගැස්ම පස්වන, හයවන, හත්වන සහ අටවන දිනයන් හි වෙනස් කර ඇති බැවින් නිවැරදි කාලසටහන පමණක් භාවිත කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

හෙට (17) උදෑසන 8.30ට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විභාග ආරම්භ වීමට නියමිත අතර විභාග ආරම්භයට පැයකට පෙර විභාග අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත යා යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විභාග අපේක්ෂකයින් දහවල් 12.30 වනවිට විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මේ බව සඳහන් කළාය.

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට වෙච්ච දේ.!

නාමල්ගේ ක්‍රිෂ් නඩුවට වෙච්ච දේ.!

ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩුව ගොනුකර ඇත.

අද (16) දින මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවු අතර එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

කෙසේ වෙතත් නීතිඥවරු අද (16) දින අධිකරණ රාජකාරීවලින් බැහැරවීමට තීරණය කර තිබීම හේතුවෙන් මෙම නඩුව ලබන (19) වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය. 

මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.!

මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.!

අභාවප්‍රාප්ත ලංකා සම සමාජ පක්‍ෂයේ නායක සහ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය.

මහාචාර්ය තිස්ස විතාරණගේ දේහය තැන්පත් කර තිබෙන ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රය වෙත ඊයේ (15) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

දිවයින පුරා නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවතට.!

සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

අකුරේගොඩ ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් ඊයේ (15) පස්වරුවේ පවත්වනු ලැබීය.

එම සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළ කරමින් සඳහන් කර සිටියේ, සංගමයේ මහ සභාව විසින් ඒකමතික තීරණ 4ක් ගනු ලැබූ බවය.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලැබූ ඒකමතික තීරණ පහතින් දැක්වේ.

1. වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකිරීම.

2. දිව ව්‍යාප්ත සියලු අධිකරණවල වෘත්තීය කටයුුතුවලින් හෙට දින සමස්ත නීතිඥවරු බැහැරව සිටීම.

3. මෙම කූර අපරාධය සම්බන්ධයෙන් වගකිව යුතු සියලුදෙනා වහාම අත්අඩංගුවට ගෙන නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලීසියට සහ මහජන ආරක්ෂාව සම්බන්ධ ආයතනවලින් ඉල්ලා සිටීම.

4. තහවුරු නොකරන ලද තොරතුරු සමාජගතකිරීම හෝ සත්‍ය බවට හුවා දැක්වීම සම්බන්ධයෙන් පොලීසියට හා අදාළ පාර්ශ්වයන්ට දැඩි අප්‍රසාදය පළ කිරීම.

වසර 14කට පසුව රැස්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභා රැස්වීමට නීතිඥයින් 3,500ක පමණ පිරිසක් සහභාගී වූ බවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඇතැමුන් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ බවත් නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

රැස්වීමේ දී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් එම ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.