Local news

අමෙරිකානු උප ජනාධිපති පාකිස්තාන අගමැති හමුවෙයි 

අමෙරිකානු උප ජනාධිපති පාකිස්තාන අගමැති හමුවෙයි 

අමෙරිකා – ඉරාන සාකච්ඡා සඳහා පාකිස්තානයට පැමිණ සිටින අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශෙරි‌ෆ් හමුව ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරයි.

යුදමය තත්ත්වය අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු උප ජනාධිපතිවරයා අද (11) දින පාකිස්තානයට පැමිණියේය. 

ඉරාන නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ඉරාන නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් නව නායකයාගේ මුහුණට සහ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා, වීඩියෝ තාක්ෂණයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සම්බන්ධ වී යුද්ධය මෙහෙයවන බව වාර්තා වේ.

යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර එම අවස්ථාවේදී මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇත.

ගල්අඟුරු ගනුදෙනු ගැන ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

ගල්අඟුරු ගනුදෙනු ගැන ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්

2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවට ගල්අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඒ අනුව පසුගිය 2009 වසරේ සිට මේ දක්වා සිදුකරන ලද ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම්වරයා ඉල්ලා ඇත.

අද සිට QR ක්‍රමවේදය ඉවතට

අද සිට QR ක්‍රමවේදය ඉවතට

අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට එළැඹෙන (18) වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කරන ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බව අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බවද එහි සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරයි.

අපි අමෙරිකාව විශ්වාස කරන්නේ නෑ.. ජනතාව වෙනුවෙන් උපරිම බලය යොදවනවා

අපි අමෙරිකාව විශ්වාස කරන්නේ නෑ.. ජනතාව වෙනුවෙන් උපරිම බලය යොදවනවා

අපගේ අභිප්‍රායන් හොඳ නමුත් ඉරානය කවදාවත් අමෙරිකාව විශ්වාස කරන්නේ නැති බව ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සඳහන් කරයි.

අමෙරිකාව සැබෑ ගිවිසුමකට සූදානම් නම් සහ ඉරාන ජනතාවගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් පිළිගන්නේ නම් ඉරානයද ගිවිසුමකට සූදානම් බව කතානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සඳහන් කරයි.

ඉරාන දූත පිරිසට නායකත්වය දෙන ඉරාන පාර්ලිමේන්තු කතානායකවරයා සඳහන් කළේ,

“වසරකටත් අඩු කාලයකදී දෙවරක්, සාකච්ඡා අතරතුර සහ අපගේ යහපත් අභිප්‍රායන් නොතකා, අපට පහර දුන්නා, බොහෝ යුද්ධ අපරාධ සිදු කළා.”

“වොෂින්ටනයට සාකච්ඡා හුදෙක් බලය පෙන්වීමක් හෝ රැවටීමේ උපක්‍රමයක් ලෙස භාවිත කිරීමට අවශ්‍ය නම්, ටෙහෙරානය සිය බලය භාවිත කර ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සූදානම්.”

“ඉරානය තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සම්පූර්ණයෙන් ම සූදානම්ව හා අධිෂ්ඨානශීලීව සිටින බවට මෙය සාක්ෂියක්.”

අමෙරිකා – ඉරාන අවසන් තීරණයට සියල්ල සූදානම්

අමෙරිකා – ඉරාන අවසන් තීරණයට සියල්ල සූදානම්

යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හිදී අද (11) දින ආරම්භ වීමට නියමිතය.

මෙම සාකච්ඡා සඳහා අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු පිරිසක් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරාග්චි ඇතුළු පිරිසක් මේ වනවිට පාකිස්තානය වෙත පැමිණ ඇත.

මෙම සාකච්ඡා ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලිබාෆ් විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

විදේශ බැංකුවල ඇති ඉරාන රියාල් බිලියන ගණනක වත්කම් වහාම නිදහස් කරන ලෙසත් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර නවත්වන ලෙසද ඔහු පවසා ඇති බව වාර්තා වේ.

සජබ නව සභාපති කබීර්

සජබ නව සභාපති කබීර්

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කිරීමට කටයුතු කර ඇත.

සමගි ජන බලවේගයේ නායක ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් 

CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක් 

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ එම නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විසින් මෙම නියෝග නිකුත් කළ අතර එම නඩුකරය යළි මැයි මස (15) වනදා කැඳවීමට නියම කෙරුණි.

සරසවි සිසුවාගේ මරණය ගැන අනාවරණයක්

සරසවි සිසුවාගේ මරණය ගැන අනාවරණයක්

පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී (09) රාත්‍රීයේ පැවැත්වු සාදයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ගැටුමක්ද හටගෙන ඇත.

සාදයේ ඇතිවූ ගැටුමේදී වයස අවුරුදු 19ක් වු නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු මියගොස් ඇති අතර අනතුරුව එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

කෙසේ වෙතත් මියගිය සරසවි සිසුවාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බව, සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රට පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

රට පුරාම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මෙරට මහජනතාවගේ ප්‍රධානතම සාම්ප්‍රදායික උත්සවයක් වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

උත්සව සමය තුළ ජනතාවට සුරක්‍ෂිත සහ සාමකාමී වටපිටාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.

ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙයි.

මෙම ඒකාබද්ධ වැඩ පිළිවෙළ මඟින් අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන විවිධ උත්සව, සංගීත සංර්දර්ශන සහ ආගමික වැඩසටහන් වලදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරනු ලබයි.

මේ සඳහා, කොළඹ පොලිස් මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් පිහිටුවා ඇති අතර, එය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක සම්බන්ධීකරණයෙන් යුතුව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය සමග පහත සඳහන් දුරකථන අංක සහ විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැක.

සියලුම ආරක්ෂක ආයතන අතර සමීප සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු හුවමාරුව ශක්තිමත් කිරීම සහ ඕනෑම හදිසි හෝ ආරක්‍ෂක තත්ත්වයකදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම මධ්‍යස්ථානය හරහා පහසුකම් සපයනු ලබයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය තුළ සියලු ජනතාව වෙත සාමකාමී සහ සුරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත උපරිම සහයෝගය ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.