Local news

කරදියාන කුණු කන්දේ හදිසි ගින්න.. වහාම මුඛ ආවරණ පළදින්න

කරදියාන කුණු කන්දේ හදිසි ගින්න.. වහාම මුඛ ආවරණ පළදින්න

අද (10) පස්වරුවේ පිළියන්දල පොලිස් වසමේ කරදියාන කසළ අංගණයේ හටගත් හදිසි ගිනි ගැනීම හේතුවෙන් ප්‍රදේශය පුරා අධික දුමාරයක් පැතිර යමින් පවතින බව පොලිසීය සඳහන් කරයි.

එම දුමාරය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් එම කසළ අංගණයට ආසන්න අතුරු මාර්ග භාවිත කරන මහජනතාව එම ප්‍රදේශය මගහැර ගමන් කිරීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවීමේ ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය එක්ව කටයුතු කරමින් සිටී.

එම ප්‍රදේශය ආශ්‍රිතව වාසය කරන මහජනතාව එම දුම ආග්‍රාහණය වීමෙන් සිදුවන සංකූලතා වළක්වා ගැනීම සඳහා මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙසද දැනුම් දෙයි.

මහින්දගේ කාලය අවසන්.. සියල්ල භාරදෙයි

මහින්දගේ කාලය අවසන්.. සියල්ල භාරදෙයි

අද (10) දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් සිය වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී ඇත.

දින 14ක් ඇතුළත සිය වත්කම් ප්‍රකාශය ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂට දැනුම්දී තිබුණ අතර එම දින 14ක කාලය අදින් අවසන් විය.

ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් මෙම වත්කම් බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් භාරදී ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

විපක්ෂය හාන්සියි.. විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජයට

විපක්ෂය හාන්සියි.. විශ්වාසභංගය වැඩි ඡන්ද 104කින් පරාජයට

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

එහිදී අදාළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් හිමිවූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 49ක් පමණි.

ඒ අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා වැඩි ඡන්ද 104කින් පරාජයට පත්විය.

‘ඊශ්‍රායලය පිළිකාවක්.. මනුෂ්‍යත්වයටම සාපයක්’ පාකිස්තානය ලොවටම කියයි

‘ඊශ්‍රායලය පිළිකාවක්.. මනුෂ්‍යත්වයටම සාපයක්’ පාකිස්තානය ලොවටම කියයි

මේ වනවිට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙන අමෙරිකාව – ඉරානය අතර සාම සාකච්ඡා හෙට (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා සියල්ල සූදානම්ව පවතින අතරවාරයේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් විසින් ‘X’ සටහනක් තබමින් ඊශ්‍රායලයට එරෙහිව සැර ප්‍රකාශයක් කර ඇත.

ලේ වැගිරීම්වල අඩුවක් නොමැති බවත් ඊශ්‍රායලය කලාපයේ පිළිකාවක් බවත් දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවද පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ,

“දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක්. ඉස්ලාමාබාද් නුවරදී සාම සාකච්ඡා පැවැත්වෙද්දී, ලෙබනනයේ සමූල ඝාතනයක් සිදුවෙනවා. අහිංසක සිවිල් වැසියන් ඊශ්‍රායලය අතින් මරුමුවට පත්වෙනවා. 

මුලින්ම ගාසා තීරය, පසුව ඉරානය. දැන් ලෙබනනය. ලේ වැගිරීම්වල අඩුවක් නෑ. පිළිකාවක් බඳුයි මේ රාජ්‍යය. පලස්තීන භූමිය තුළ බිහිකළ යුරෝපීය යුදෙව්වන්, අපායේ ගින්නෙන් දැවී යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා, යාච්ඥා කරනවා.”

කෙසේ වෙතත් සාම සාකච්ඡාවල මැදිහත්කාර පාර්ශ්වය මෙබඳු සටහනක් තැබීම ඊශ්‍රායලයේ දැඩි විරෝධයට ලක්ව ඇති අතර ඊශ්‍රායලය එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහන මකා දමා ඇති බව වාර්තා වේ.

මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට

මාතර සමූපකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් විසින් සීමාසහිත මාතර දිස්ත්‍රික් සමූපාකාර ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර අත්අඩංගුවට ගෙන ඇත.

මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමයේ රුපියල් මිලියන 300ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආරෝග්‍ය ශාලා සංගමයේ සභාපති චමින්ද ප්‍රසන්න ගුණසේකර අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු සමූපකාර නීතිරීති උල්ලංඝනය කරමින් වෙනත් ව්‍යාපෘති සඳහා මුදල් යෙදවූවා යැයි පවසා එම මුදල් ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

ප්‍රසිද්ධ නිවාඩු දින ගැන දැනුම්දීමක්

ප්‍රසිද්ධ නිවාඩු දින ගැන දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ජාතික වෙසක් පොහොය දින සැමරුම සිදු කරන මැයි (30) වෙනිදාට පසු දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2026 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කළ අංක 2438/22 හා 2025.05.27 දිනැති ගැසට් පත්‍රය මේ දක්වා සංශෝධනය කර නොමැති බවද කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක පනතේ 7 වන වගන්තිය යටතේ වන විධිවිධාන පරිදි 1996.10.14 දිනැති අංක 954/1 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇති ව්‍යවස්ථාපිත නිවාඩු සංඛ්‍යාව අටක් වන බව කම්කරු කොමසාරිස්වරයා සඳහන් කරයි.

ජනවාරි (15) බ්‍රහස්පතින්දා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි (04) බදාදා නිදහස් සමරු දිනය (ජාතික දිනය)
අප්‍රේල් (13) සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් (14) අඟහරුවාදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි (01) සිකුරාදා – ලෝක කම්කරු දිනය
මැයි (02) සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
අගෝස්තු (26) බදාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
දෙසැම්බර් (25) සිකුරාදා – නත්තල් උත්සව දිනය

අලුත හදපු බස් නැවතුම්පොළ විනාශ කරයි.. ඇමති දැඩි තීරණයක් ගනී

අලුත හදපු බස් නැවතුම්පොළ විනාශ කරයි.. ඇමති දැඩි තීරණයක් ගනී

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභ හානි සිදුකරන පුද්ගලයින්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

හානි කිරීම සංවිධානාත්මක පාර්ශ්වයන්ගේ ක්‍රියාවක් වන බවත් ඒ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙන්ම දැඩි ආරක්ෂක පියවරන් ගැනීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ,

“කාරණා දෙකක් වෙන්න පුළුවන්. එකක් මෙතන ගැන දැනුමක් නැතිව අනවබෝධයෙන් වෙන වැඩක් වෙන්න පුළුවන්. හැබැයි කරාමයක් කරකවලා කරකවලා කාන්තා වැසිකිළිවල විතරක් ගලවනවා කියන්නේ ඒක සංවිධානාත්මක වැඩක්.

ඒ නිසා පෞද්ගලිකව මමත් මෙතන කාර්ය මණ්ඩලය වුනත් විශ්වාස කරන්නේ දේශපාලනයේ අපිට විවිධ මත තියෙන්න පුළුවන්. මේක පොදු ජනතාවගේ දෙයක්, පොදු මහජනතාවගේ බදුමුදලින් හදලා තියෙන්නේ. ඒවගේ අලාභ හානි කරන්න දෙන්න බැහැ අපි මේකට නීතිය ක්‍රියාත්මක කරනවා.

මොකද දෙවැනි පාරට හයි කරාට පස්සේ ආයෙත් ගැලවෙනවා කියන්නේ. ඊයේ රෑ හැදුවාට පස්සේ අද උදේ ආයෙත් ගලවලා. ඒ කියන්නේ මේක සංවිධානාත්මකව ගලවනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය තුළත්, එළියේ වුණත් මේකට කොච්චර මඩ ගැහුවාද කියලා. මඩ ගැහුවාට කමක් නැහැ හැබැයි ජනතා බදු මුදලින් හදපු ඒවාට අලාභ හානි කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ.

අපි හිතනවා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මාස 3කට වැඩි කාලයක් මෙතන ගත කරන්න. ඒ වගේම තමයි මෙතන ආරක්ෂක තත්ත්වෙත් අපි දැඩිව ක්‍රියාත්මක කරනවා.”

අද (10) දින පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට දුන් නියෝගය

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අද (10) දින කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ එළඹෙන (20) වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත්තේය.

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. ඇමති එළවන්න සජිත් පෙරට

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා.. ඇමති එළවන්න සජිත් පෙරට

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල දැවැන්ත විරෝධතාවයක නිරත වෙි.

මෙම විරෝධතාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂද සිල්වා, මුජිබුර් රහුමාන් ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව ඇත.

විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර සහ පොල්දූව මංසන්ධිය අවට දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය තාවකාලිකව අවහිර වී ඇත.

මේ හරහා ගමන් ගන්නා මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර, පොලිසිය රථවාහන පාලනය සඳහා අතිරේක කණ්ඩායම් කැඳවා ඇත.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් තවත් සිසුවෙක් ඝාතනය කරයි.?

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් තවත් සිසුවෙක් ඝාතනය කරයි.?

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත.

මොරගහහේන ප්‍රදේශයේ හෝටලයකදී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කෙසේ වෙතත් මෙම මරණය සැක සහිත බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණය සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.