Local news

මේ දිනවල සමාජ මාධ්‍ය ගැන පරිස්සම් වෙන්න.. පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

මේ දිනවල සමාජ මාධ්‍ය ගැන පරිස්සම් වෙන්න.. පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

පොලීසිය විසින් රටේ ජනතාව වෙත දැනුම්දීමක් කර ඇත.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙයි.

නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටින ලෙසද ජනතාවට දැනුම් දෙයි.

ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් තමන් නිවසේ නොසිටින බව සොරුන් දැනගන්නා බවත් එය සොරුන්ට වාසියක් වනු ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදා හැරීමට කටයුතු කරන ලෙසද පොලිසිය ජනතාව⁣ට දැනුම් දෙයි.

සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

සජිත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

බඩු මිල ඉහළ යාම හේතුවෙන් රටේ ජනතාව බොහෝ සේ අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි

එනිසා ඉන්ධන, ගෑස්, ඖෂධ, ආහාර සහ පොහොර මිල අඩු කර ජනතාවට සහනයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළත් දරාගත නොහැකි ලෙස විදුලිබිල, ‌ඉන්ධන, ගෑස් සහ ආහාර මිල ඉහළ ගොස් ඇති බවද සඳහන් කරයි.

බඩු මිල වැඩිවීමට ලබා දෙන විසඳුම ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ තෙල්, ගෑස්, විදුලි බිල, බඩු මිල, පොහොර සහ ඖෂධ මිල අඩු කිරීම සිදුවිය යුතු බවද සඳහන් කරයි.

අද (12) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කරයි.

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාව ජීවිතයෙන් සමුගනී

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාව ජීවිතයෙන් සමුගනී

ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ ජීවිතයෙන් සමුගනී.

හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කළේය.

ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති අතර ඇය මියයන විට 92 වියෙහි පසුවිය.

ඇයගේ අවසන් කටයුතු අද (12) සවස 4.00ට මුම්බාහි ශිවාසි උද්‍යානයේදී සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළට හානි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

නවීකරණය කරමින් විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් (11) දින එයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සිදුව ඇති හානිය සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස (17) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අධිවේගයේ වේගෙන් ගියොත් වැඩ වරදී

අධිවේගයේ වේගෙන් ගියොත් වැඩ වරදී

අධිවේගී මාර්ගවල අධික වේගයෙන් හා අන්තරාදායක ලෙස රිය ධාවනය කරන්නන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව CCTV කැමරා ඔස්සේ එම වාහන හදුනාගැනීමට කටයුතු කරන බව පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

අමෙරිකා – ඉරාන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්.. ඉවත් වීමට සැරසෙයි

අමෙරිකා – ඉරාන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්.. ඉවත් වීමට සැරසෙයි

අමෙරිකාව – ඉරානය අතර පැවැති සාම සාකච්ඡා සඳහා සද්භාවයෙන් පාකිස්තානයට පැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කරයි.

පැය 12කට අධික කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් උප ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

ඉරානය අමෙරිකාවේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවද උප ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු අමෙරිකාව පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද උප ජනාධිපතිවරයා සඳහන් කරයි.

වසර 76ක් අපි අසමත්.. ඒකයි රනිල් සැත්කමට සිංගප්පූරු ගියේ

වසර 76ක් අපි අසමත්.. ඒකයි රනිල් සැත්කමට සිංගප්පූරු ගියේ

76 වසරක් පුරාවට අපි අසමත් වෙලා තිබෙනවා හොඳ රාජ්‍යයක් සහ හොඳ ආණ්ඩුකරණයක් ඇති කිරීමට බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

එනිසා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ  ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා විටින් විට රහස් පොලිසියට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම නිසා බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ලංකාවේදී ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවහොත් රහස් පොලීසිය සහ රජය කුමන ආකාරයට හැසිරේවිද කියන කාරණය පිළිබඳව බලවත් සැකයක් පවතින බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

එනිසා විදෙස් රටකදී රනිල් වික්‍රමසිංහ ප්‍රතිකාර ගැනීම තුළ එවැනි ප්‍රශ්නයක් ඇති වන්නෙත් නැති බවත් එවැනි සැක සහිත අවස්ථාවක ගත යුතු හොඳම තීරණය ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා ප්‍රතිකාර ලබා ගැනීම බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.

අත්හිටුවා තිබූ ඉරාන වත්කම් නිදහස් කිරීමට එකඟතාවක්.. සාකච්ඡාවේ අලුත්ම තත්ත්වය

අත්හිටුවා තිබූ ඉරාන වත්කම් නිදහස් කිරීමට එකඟතාවක්.. සාකච්ඡාවේ අලුත්ම තත්ත්වය

අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා විශේෂඥ මට්ටමේ අදියරකට පිවිස ඇති බවත් එහිදී ආර්ථිකය, මිලිටරි, නීතිමය සහ න්‍යෂ්ටික ගැටළු පිළිබඳ විශේෂඥ කමිටු එකිනෙකා හමුවන බවද ඉරාන රජය “X” සටහනක් තබා ඇත.

අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා පාකිස්තානු වේලාවෙන් රාත්‍රිය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර එය ඉරිදා දිනය දක්වාම පැවැතිය හැකි බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය ඇමරිකාව සමඟ සාකච්ඡා සඳහා එළඹ ඇත්තේ මෙතෙක් අත්හිටුවා තිබූ ඉරාන වත්කම් නිදහස් කිරීමට අමෙරිකාව ගත් තීරණයකට අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාන දූත පිරිසට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේ, මෙම වත්කම් නිදහස් කිරීම ඉරානය ඉදිරිපත් කළ කරුණු 10 කින් යුත් සැලසුමේ ප්‍රධාන ඉල්ලීමක්ව පැවති බවයි.

කෙසේ වෙතත් අදාළ වත්කම් නිදහස් කිරීමට එකඟ වූයේද යන්න පිළිබඳව අමෙරිකානු පාර්ශවය මෙතෙක් නිල වශයෙන් කිසිදු අදහස් දැක්වීමක් සිදුකර නැත.

ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ

ගල්අඟුරු සමාගමේ කාර්යාලයට මුද්‍රා තැබේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තබා ඇත.

2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධව පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කළේය.

ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවයි

ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක් යොදවයි

ලංකා ගල්අඟුරු සමාගමේ කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

පසුගිය 2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව මෙම පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (11) මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.