Local news

හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් නියෝගයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් නියෝගයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සම්බන්ධයෙන් ඉරානය නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඉරානයේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මිතුරු රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ හැකි එකම ක්‍රමය වන්නේ ඉරානය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් බවයි.

ඉරාන වෙරළ තීරයට හෝ දූපත්වලට ප්‍රහාර එල්ල කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් හමුවේ පර්සියානු ගල්ෆ් කලාපයේ සියලු ප්‍රවේශ මාර්ග සහ වෙරළබඩ ප්‍රදේශවල සිට ඒවාට මුහුණ දීමට සිය හමුදා සූදානම් බවද සඳහන් කරයි.

මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බස් ගාස්තු

මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බස් ගාස්තු

අද (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 27ක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනු ගොස් ඇති අතර අවසන් ගාස්තුව ලෙස පැවති රුපියල් 2,159ක බස් ගාස්තුව රුපියල් 2,422ක් දක්වා 263කින් ඉහළ ගොස් ඇත.

මගීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අයකරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස්රථ ධාවකයින් වෙත දැනුම් දී ඇත.

නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන අයවළුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවට දැනුම් දෙයි.

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට

ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත.

ඒ අනුව පළමු කිලෝමීටරයක් සඳහා ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර කිලෝමීටරයක නව ගාස්තුව රුපියල් 110ක් දක්වා ඉහළ යයි.

ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85ක්ව පැවැති ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව එම අධිකාරිය සඳහන් කරයි. 

ඉරාන – අමෙරිකා යුද ගැටුම් අවසන්

ඉරාන – අමෙරිකා යුද ගැටුම් අවසන්

යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

“පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.

මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින 5ක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නෙමි.

මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි.”

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ⁣ට

අද (23) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් සමග මෙම පියවර ගත් බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර පාන් ගෙඩියක මිල රුපියල් 130ක් දක්වා ඉහළ නංවන බව එම සංගමය සඳහන් කරයි.

තවද අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන් රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කළ බවද එම සංගමය සඳහන් කරයි.

බිහිසුණු ගුවන් අනතුරක්

බිහිසුණු ගුවන් අනතුරක්

එයාර් කැනඩා ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් නිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී ගුවන්පථය ආසන්නයේ ට්‍රක් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

ගුවන්තොටුපළට ගොඩබෑමේදී එයාර් කැනඩා ගුවන් යානය ගිනි නිවන රථයක ගැටී ඇති අතර එම අනතුරින් ගුවන් නියමුවා සහ සහාය නියමුවා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ගුවන් යානයේ මගීන් 72ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු සිට අති අතර අනතුරින් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ගුවන් යානය ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී යානය පැයට කිලෝමීටර් 39ක පමණ වේගයෙන් එම ට්‍රක් රථයේ ගැටී ඇත.

කෙසේ වෙතත් මෙම අනතුරින් ගුවන් යානයට හානි සිදුව ඇති අතර එම සිද්ධිය හේතුවෙන් ලාගාඩියා ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකාව ගෞරවනීය රටක්.. ඕනෑම අවස්තාවක තෙල් දෙනවා – ඉරානය

ශ්‍රී ලංකාව ගෞරවනීය රටක්.. ඕනෑම අවස්තාවක තෙල් දෙනවා – ඉරානය

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවයක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවද ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවද ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් සඳහන් කරයි.

පසුගියදා අමෙරිකානු සම්මැරීනයක් මඟින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ ‘IRIS Dena’ යුද නෞකාවේ සිටි පිරිස මුදාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේ ඉරාන ඉල්ලීමක් කිරීමට පළමුව බවද ඔහු සඳහන් කරයි.

මෙරට ඉරාන තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මේ බව සඳහන් කරයි.

දරුවන් ආරක්ෂා කරගමු.. විශේෂ නිවේදනයක්

දරුවන් ආරක්ෂා කරගමු.. විශේෂ නිවේදනයක්

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කරයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ජලය සහ ස්වාභාවික දියර ආහාර හැකිතාක් දරුවන්ට ලබා දීමට කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

යම් දරුවෙකු නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත වේදනාව ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඔවුන්ට වැඩිපුර ජලය පානය කිරීමට සහ දියර ආහාර ලබා දීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කර ඇත.

උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින නිසා දරුවන් දිනකට දෙවතාවක්වත් ස්නානය කරවීමට කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගීවන අය ජලය පානය නොකිරීම හේතුවෙන් විජලන තත්ත්වය මෙන්ම තාප කම්පන තත්ත්වයක් වුවද ඇතිවිය හැකි බවත් එමඟින් මරණය පවා සිදුවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ,

“අව්වේ ඉන්නවා නම් පාසල්වල ක්‍රීඩා තරගවලට සහභාගී වෙනවා නම් මේ තත්ත්වය ඇති වෙන්න පුලුවන්. ඒ හින්දා වැඩිපුර වතුර බොන්න ඕනේ. ස්වාභාවික දියර ආහාර වර්ග පාවිච්චි කරන්න ඕනේ.

නිදිමත ගතිය, ආහාර අරුචිය, ඇඟපත රිදෙන එක වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම වැඩිපුර වතුර සහ දියර ආහාර ලබා දෙන්න. දද, කුෂ්ඨ වැනි සමේ රෝගී තත්ත්වයන්ද මේ දවස්වල වැඩිවෙන්න පුලුවන්.

ඒ නිසා දරුවන් දවසට දෙපාරක් විතර නාවන්න. විනාඩි 20ක් වගේ බය නැතිව වතුරේ තියන්න. ඒකෙන් සමේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුලුවන්. ධාවන තරග සහ පාසල්වල නිවාසාන්තර ක්‍රීඩාවලට සහභාගී වෙන අය වැඩිපුර වතුර බිව්වේ නැත්තම් විජලන තත්ත්වය වගේම තාප කම්පන තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුලුවන්.”

ප්‍රවේශම් වන්න.. පොලීසියෙන් නිවේදනයක්

ප්‍රවේශම් වන්න.. පොලීසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පලකිරීමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

“ප්‍රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබද ඔබ සැමගේ දැඩි අවධානය යොමු කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු” යනුවෙන් සඳහන් කරමින් මහජනතාවට මඟ පෙන්වීමක් සිදු කරන ආකාරයට සකස් කර ඇති මෙම පණිවිඩය, කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් සිදුකරනු ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිවේදනයක් ලෙස එය නිකුත් කරන බවද සඳහන් කරයි.

තවද ශ්‍රී ලංකා පොලිසියේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි සොයා බැලීම සඳහා දැනටමත් අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කරයි.

එනිසා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙවැනි පලකිරීම් සම්බන්ධව අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අර්ජුනට සහ ධම්මිකට අධි චෝදනා

අර්ජුනට සහ ධම්මිකට අධි චෝදනා

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අද (23) අධි චෝදනා භාර දුන්නේය. 

කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් මිලියන 5 බැඟින් වූ ශරිර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එළඹෙන මැයි මස (15) වනදා කැඳවන ලෙසද අධිකරණය නියෝග කළේය.

පසුගිය 2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් මෙරටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කර ඇත.

ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාවට විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇත.