Local news

ඉරාන – අමෙරිකා සාකච්ඡා නැවත අරඹයි.?

ඉරාන – අමෙරිකා සාකච්ඡා නැවත අරඹයි.?

ඉරාන – අමෙරිකා නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් සඳහා අවස්ථාව ලබා දෙමින් ඉරානය සමග පවතින සටන් විරාමය දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

කෙසේ වෙතත් අමෙරිකාව ප්‍රකාශ කළ මෙම සටන් විරාමය තමන් පිළිනොගන්නා බවත් තමන් ක්‍රියා කරන්නේ ජාතික අවශ්‍යතා මත පදනම්ව බවද ඉරාන රජය සඳහන් කර ඇත.

හිරුගෙන් ලාල්ට සැර ප්‍රතිචාරයක්

හිරුගෙන් ලාල්ට සැර ප්‍රතිචාරයක්

අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වෙත ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රතිචාර දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කර ඇත.

හිරු ප්‍රවෘත්ති ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ,

“පොදු දේපළ හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම පිළිගත් පුද්ගලයෙක් කතා කරන්නේ කුමන කීර්ති නාමයක්ද ගැනද? සියලු චෝදනා බැහැර කරනවා! ඉල්ලන කිසිම දෙයක් දෙන්නේ නෑ! ලාල්ට හිරුගෙන් සැර ප්‍රතිචාරයක්

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා එවන ලද එන්තරවාසියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් හිරු මාධ්‍ය ජාලයේ නීතීඥවරු ලිපියක් යොමු කළා.

ලාල් කාන්තගේ නීතීඥවරයා වෙත එමගින් දැනුම් දී ඇත්තේ, අදාළ එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, එහි සඳහන් ඉල්ලීම්ද බැහැර කරන බවයි.

නිවැරදි කිරීමේ අයිතිය පිලිගනිමින් අපගේ සේවාදායකයා වන ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම පසුගිය අප්‍රේල් 18 වැනි දින හිරු ටී.වී. සහ හිරු මාධ්‍ය ජාලයට අයත් අනෙකුත් සියලු මාධ්‍ය අවකාශයන් ඔස්සේ වහාම නිවැරදි කිරීමක් සිදුකළ බවද එම නීතිඥ සමාගම සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.

2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනත යටතේ ලාල්කාන්තගේ ප්‍රකාශයෙහි දෝෂ පවතින බවත් එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් නීතිඥ සමාගම වැඩිදුරටත් දන්වා සිටිනවා.

තවද, අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙන්නේ ඔබගේ සේවාදායකයා සිය සේවාදායකයාට එරෙහිව කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළහොත් ආයතනික පුරවැසියෙකු ලෙස සිය සේවාදායකයා සතු අයිතිවාසිකම් භාවිත කරනු ඇති බවත්, ඒ යටතේ අනිවාර්ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හිතාමතා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද නීත්‍යනුකූලව කටයුතු කරන බවයි.

එමෙන්ම, ඔබගේ සේවාදායකයා ප්‍රසිද්ධ වේදිකාවලදී පිලිගෙන ඇති පරිදි, ඔහු පොදු දේපළවලට හානි කිරීම සහ පුරවැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇවිස්සීම වැනි කරුණුවලට සම්බන්ධ වී ඇති බැවින්, කිසියම් හෝ නීතිමය කටයුත්තක් ආරම්භ කළහොත් ඔබගේ සේවාදායකයා යනු කැළලක් ඇතිවීමට තරම් කීර්තිනාමයක් නොමැති පුද්ගලයෙකු යන ස්ථාවරය අධිකරණය ඉදිරියේ සිය සේවාදායකයා විසින් ගෙනහැර දක්වනු ඇති බවද නීතිඥ සමාගම සිය ලිපිය මගින් අවධාරණය කර සිටිනවා.

සිය සේවාදායකයාගේ විකාශන අයිතියට අනිසි ලෙස බාධා කිරීමේ ඕනෑම උත්සහයකට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම නීතිඥ සමාගම දන්වා සිටිනවා.”

පාස්කු ප්‍රහාරයේ මීළග සැමරුමට කලින් මහ මොළකරු නීතිය ඉදිරියට ගේනවා

පාස්කු ප්‍රහාරයේ මීළග සැමරුමට කලින් මහ මොළකරු නීතිය ඉදිරියට ගේනවා

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ 8 වැනි සංවත්සරයට පෙර ප්‍රහාරයේ සියලුම කුමන්ත්‍රණකරුවන් නීතිය ඉදිරියට ගෙනඒමට විමර්ශන ක්‍රියාත්මක බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) දැනුම් දුන්නේය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වන නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අනාවරණය කළේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත. 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සිදුකරන විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

“ස්වාමිනි, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කියන්නේ ඉතාම සංවිධානාත්මක මෙහෙයුමක්. 2015 වසරටත් පෙර සිටයි මේ සිද්ධි මාලාව සංවිධාන වෙන්නේ. මඩකලපුවේ ඉන්න මුස්ලිම් පිරිසකට තියා, ISIS, අල්ඛයිඩා වැනි පිරිසකටවත් මෙවැනි සංවිධානාත්මක ප්‍රහාරයක් කරන්න බැහැ අභ්‍යන්තර සහයක් නැතුව. ඒ ශක්තිය තමයි මේ තුන්වැනි සැකකරු දීලා තියෙන්නේ. 

වව්නතිව් සිද්ධිය කියන්නේ ඒ සංවිධානාත්මක මෙහෙයුමේ එක් අවස්ථාවක් විතරයි. නමුත් ඒ සිදුවීමට අදාළව විමර්ශනය සහරාන් හෂීම් කරා යාමට තිබූ ආවස්ථාව කුමන්ත්‍රණකාරීව යටගහලා තියෙනවා.

වව්නතිව්හි ඝාතනය වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ආයුධ සොයාගත්තේ සහරාන් හෂිම්ගේ ඥාතී ගෆූර් මාමාගේ නිවසේ තිබියදී. නමුත් අජන්තන් නැමැති හිටපු LTTE සාමාජිකයෙකුගේ ජැකට් එකක් දාලා මේ විමර්ශනය ගෆූර් මාමා දෙසට යාම වළක්වා තිබෙනවා. 

මේ දෙවැනි සැකකරු ඔය කියන ගෆූර් මාමාව පොලිස් ස්ථානයට කැඳවලා ප්‍රකාශයක්වත් ගන්නේ නැතුව යළි යන්න ඉඩහැරලා තියෙනවා. කාගේ අනුදැනුම මතද ඒක වුණේ.? සහරාන් ඇතුළු පිරිස අනාවරණය වෙන්න තිබ්බ අවස්ථාවක් තමයි දැනුවත්ව යටගහලා තියෙන්නේ.”

“ස්වාමිනි, වසර 10ක රාජපක්ෂ පාලනය නිමා වෙලා 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට එනවා. පස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, කීත් නොයාර්ට පහරදීම වගේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පටන්ගන්නවා. 

එහිදී අත්අඩංගුවට ගැනෙන්නේ මේ සැකකාර සුරේෂ් සලේ යටතේ සිටි යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන්. මේකත් හරියට අර මාතර දේශබන්දු තෙන්නකෝන් නඩුව වගේ. මොහුත් දේශපාලන කණ්ඩායම් රකින්න ප්‍රහාරක කණ්ඩායම් මෙහෙයවලා. 

පස්සේ 2018 වසරේ දින 52 ආණ්ඩුවට එරෙහිව දෙසැම්බර් (13) ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනවා. ඊට පස්සෙයි මාවනැල්ලේ බුදු පිළිම කැඩෙන්නේ. එය මුස්ලිම් අන්තවාදී ක්‍රියාවක් කියලා යුධ හමුදා නිලධාරීන් පැමිණිලි කරනවා. අන්තවාදී බෞද්ධ භික්ෂුවක් වන ඥානසාර හිමි සහ සහරාන් හෂීම්ව යුද්ධ හමුදා බුද්ධි අංශය නඩත්තු කළා. 

පාස්කු ප්‍රහාරයට සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා Indian Express පුවත්පතට කියනවා මම තමයි රටේ අනාගත ජනාධිපති කියලා. මොහු ඇමරිකානු පුරවැසියෙක් වෙලා ඉද්දියි පාස්කු ප්‍රහාරය වෙන්නේ. පසුව ලංකාවට ඇවිල්ලා ජනාධිපති වෙලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පොලිසියෙන් පරිබාහිරව සුරේෂ් සලේ කියන මේ සැකකරුව ගේනවා. 

ඔවුන්ම පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පටන් අරගෙන ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් 70 දෙනෙකුව ස්ථාන මාරු කරනවා. ඒ මේ කුමන්ත්‍රණය ආරක්ෂා කරන්න. නමුත් අපි පාස්කු ප්‍රහාරයේ 08 වැනි සංවත්සරයක් එන්න ඉඩ තියන්නේ නැහැ. වසරක් ඇතුළට සියලුම කුමන්ත්‍රණකරුවන්ව අධිකරණය ඉදිරියට ගේනවා.”

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

ලංකාවේ සර්වඥ ධාතූන් වහන්සේලා අමෙරිකාවට

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාමානයට පාත්‍ර වී ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා කිහිපනමක්, අමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ක්‍රි.පූ. 1-2 සියවස් වලට අයත් අම්පාර, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති නීලගිරි ස්ථූප කැනීමෙන් අනාවරණ කර ගත් ධාතුන් වහන්සේලා, තායිලන්තයෙන් ප්‍රදානය කළ ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති කේශ ධාතුන් වහන්සේලා සහ මහියංගන රජමහා විහාරයේ තැනපත් කර ඇති සර්වඥ ධාතුන් වහන්සේලා මෙලෙස වැඩම කරවීමට නියමිතය.

එම සර්වඥ ධාතූන් වහන්සේලා මැයි (02) වැනිදා සිට මැයි (10) වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට හා වන්දනාමාන කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ රතනගුණ ස්වාමීන් වහන්සේ සහ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කමිටුවක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබාදී ඇති වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීම.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-05-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත.

එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මෙතෙක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීමට දැනට ක්‍රමවේදයක් නොමැති බව සඳහන් වේ.

එනිසා එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කර ගත් පුළුල් සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය මත ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත මෙම නව කමිටුව පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිපවරයා යෝජනා කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති – ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

සුරේෂ්⁣ සලේට දුන් නියෝගය

සුරේෂ්⁣ සලේට දුන් නියෝගය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, සුරේෂ් සලේ අද (22) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව රැඳවුම් භාරයේ පසුවන සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වල ප්‍රගතිය මැයි (20) වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සුරේෂ් සලේ, තවදුරටත් රැඳවුම් භාරයේ තබාගැනීමට අධිකරණය නියම කර ඇත.

ඉකුත් නඩු දිනයේ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේව අද දින අධිකරණයට රැගෙන විත් තිබුණි.

අද රාත්‍රියේ ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

අද රාත්‍රියේ ප්‍රබල අකුණු.. අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු – මැද, දකුණ, ඌව පළාත් වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල අද (22) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

පාස්කු නඩුවේ සැකකරු සුරේෂ්⁣ සලේ අධිකරණයට

පාස්කු නඩුවේ සැකකරු සුරේෂ්⁣ සලේ අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් ඇත.

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුකරයේ තුන්වන සැකකරු ලෙස සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇත. 

පසුගිය නඩු දිනයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුව සැකකාර සුරේෂ් සලේ අධිකරණයට රැගෙන විත් ඇත.

චොකා මල්ලිට දුන් නියෝගය

චොකා මල්ලිට දුන් නියෝගය

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළිය අධිකරණය හමුවට අද (22) දින ඉදිරිපත් කළේය.

අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදාහැර ඇත. 

නුවරඑළියට පැමිණි අවස්ථාවේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී සිය පිස්තෝලය පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගත්තේය.

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ශක්තිමත් කරයි

ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා ඉලක්කගත මූල්‍ය සම්බාධක (Targeted Financial Sanctions – TFS) ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ප්‍රධාන මෙවලමක් ලෙස භාවිතා කරයි.

ත්‍රස්තවාදයට හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සම්බන්ධ යැයි සාධාරණ හේතු මත විශ්වාස කරන පුද්ගලයින් හෝ සංවිධාන වල මූල්‍ය සහ මූල්‍ය නොවන වත්කම් ක්‍රියා විරහිත කිරීම මෙහි අරමුණ වේ.

මෙම ඉලක්කගත මූල්‍ය සම්බාධක, 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ බලාත්මක කරන ලද 2012 අංක 01 දරන රෙගුලාසිය මඟින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 1373 (2001) අනුව ක්‍රියාත්මක වේ.

ගැසට්‌ නිවේදනයක් මඟින් යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් නම් කළ පසු, ඔවුන්ගේ බැංකු ගිණුම්, මූල්‍ය ගනුදෙනු සහ වාහන, ඉඩම්, නිවාස, රන් ආභරණ ඇතුළු දේපල භාවිතය, විකිණීම හෝ මාරු කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.

මෙම සම්බාධක නිකුත් කිරීමේ බලය විදේශ කටයුතු අමාත්‍යවරයා සතු වන අතර, පරිපාලන හා මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා “නිසි බලධාරියා” ලෙස පත් කර ඇත. සියලුම නම් කිරීම සහ වත්කම් ක්‍රියා විරහිත කිරීමේ තීරණ, පවතින සාක්ෂි සහ ජාතික ආරක්ෂක අවශ්‍යතා මත පදනම්ව ගනු ලබයි.

ඉලක්කගත මූල්‍ය සම්බාධක මඟින් ත්‍රස්තවාදය මුලින්ම වැළැක්වීම, මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන් හා මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීම සහතික කෙරේ.

මහජන දැනුවත්භාවය සහ විවෘතභාවය වර්ධනය කිරීම සඳහා නිසි බලධාරි කාර්යාලය විසින් www.competentauthority.gov.lk වෙබ් අඩවියද හඳුන්වා දී ඇත.

ඉලක්කගත මූල්‍ය සම්බාධක සඳහා වූ නීතිමය හා පරිපාලන රාමුව ශක්තිමත් කිරීම මඟින් සහ. ඒ සම්බන්ධ තොරතුරු මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස සැපයීම මඟින්, ශ්‍රී ලංකාව සිය සාමය, ස්ථාවරත්වය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇති කැපවීම තහවුරු කරන අතර මහජනතාවට දැනුවත් වීම සහ අවධානයෙන් කටයුතු කිරීමට ද උනන්දු කරයි.