Local news

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහතින්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

  1. තිරිගු පිටි – 158.00 – 176.00
  2. සුදු සීනි –   200.00 – 217.00
  3. පරිප්පු –   248.00 – 271.00
  4. අර්ථාපල් (ඉන්දියා) – 160.00 – 228.00
  5. අර්ථාපල් (පාකිස්තාන්) – 140.00 -177.00
  6. බී ලූනු (ඉන්දියා) – 145.00 – 189.00
  7. බී ලූනු (පාකිස්තාන) – 112.00 – 140.00
  8. රතු ලූනු (ආනයනික) – 280.00 – 332.00
  9. වියළි හාල්මැස්සන් (තායිලන්ත) – 1054.00 – 1159.00
  10. වියළි මිරිස්  – 1046.00 – 1067.00
  11. බිත්තර (සුදු)  ඒකකයක් – 32.00 – 42.00
  12. බිත්තර (දුඹුරු) ඒකකයක් – 34.00 – 44.00
  13. ටින්මාළු (දේශීය) මැකරල් 425g – 420.00 – 480.00
  14. ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g – 450.00 – 560.00
  15. දේශීය කැකුළු සහල් (සුදු) – 190.00 – 220.00
  16. දේශීය කැකුළු සහල් (රතු) – 165.00 – 220.00
  17. දේශීය නාඩු සහල් (සුදු) – 210.00 – 230.00
  18. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – 1000.00 – 1207.00
  19. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g – 990.00 – 1150.00
දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයින් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා තවත් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෝපන්හේගන් හි වයඹ දෙසින් පිහිටි දුම්රිය හරස් මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බවත් මෙම අනතුරට හේතු මේ දක්වා අනාවරණ වී නොමැති බව කෝපන්හේගන් ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ගුවන් මගින් සහ ගිලන් රථයකින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩුව ලගදීම

හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩුව ලගදීම

වාහන හිමිකරුගේ නම සඳහන් කරමින් ලියාපදිංචි අංක තහඩුවක් ලබාගැනීමේ ක්‍රමවේදය කඩිනමින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නව රථ වාහන සඳහා සම්මත ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීම මෙම වසරේ මැයි මාසයේ අග සිට සිදුකළ හැකි බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මේ බව සඳහන් කරයි.

වාහන හිමිකරුගේ නම සඳහන් කර අංක තහඩුවක් නිකුත් කිරීම ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ප්‍රියන්තා දිසානායක සඳහන් කළේ,

“අපිට ඒක කරන්න පුළුවන්. අපි ඇත්තටම ඒ ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරගෙන යනවා. සිස්ටම් එක අප්ඩේට් කරපු ගමන් අපි ඒ වගේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකකට යන්න බලාපොරොත්තු වෙනවා.”

ඇමති විජිත සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

ඇමති විජිත සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර දුරකථන සංවාදයක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇත.

මෙම සංවාදය අතරතුර, ඉරාන විදේශ අමාත්‍යවරයා විසින් IRIS Dena නෞකාවේ නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා රජය දැරූ උත්සාහයන් සහ IRIS Dena නෞකාවේ කාර්ය මණ්ඩලයේ සහ අනෙකුත් ඉරාන නාවික නිලධාරීන්ගේ මළ සිරුරු ඉරානයට ආපසු භාරදීමට සහාය වීම පිළිබඳව කෘතඥතාව පළ කර ඇත.

අමෙරිකාව විසින් IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය පෙර නොවූ විරූ යුධ අපරාධයක් ලෙසත් මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලික නීති සහ 1949 ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර මෙම අපරාධය ඉරානය කිසිදා අමතක නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

තවද අපරාධකරුවන් සහ වගකිව යුතු පිරිස වගකිව යුත්තන් බවට සහතික කර ඔවුන් නීතිය හමුවට පමුණුවා ගැනීමට සියලු නීතිමය සහ දේශපාලනික ක්‍රම භාවිතා කරන බවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍ය අරග්චි සහ අමාත්‍ය විජිත හේරත් ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ලංකාවේ පුද්ගලයින්ගේ ආයු කාලය ඉහළ⁣ට

ලංකාවේ පුද්ගලයින්ගේ ආයු කාලය ඉහළ⁣ට

ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන හරහා දරුවන් සඳහා එන්නත් ලබාදීම මඟින් රෝග බොහෝමයක් පාලනය කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මඟින් පසුගිය වසර 15ක කාලය තුළ මෙරට ජනතාවගේ ආයු කාලය ඉහළ ගොස් ඇති බවද එහි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.

වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කළේ,

“ලෝක ප්‍රතිශක්තිකරණ සතිය අපි සමරණවා (24) සිට (30) දක්වා. ලංකාව ඉතාම ඉහළ තලයක තියෙනවා ප්‍රතිශක්තිකරණය අතින්. 1978 ඉඳලා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපේ රටේ ක්‍රියාත්මක වෙනවා.

ඒ නිසා එන්නත් මඟින් දරුවන් ආරක්ෂා වෙලා තියෙනවා. පෝලියෝ, Neonatal tetanus සහ රුබෙල්ලා වගේ රෝග ලංකාවෙන් තුරන් කිරීමට සමත්වුණා. එන්නත් නිසා අනෙකුත් රෝග අපිට වළක්වා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.

මේ නිසා පසුගිය වසර 15 තුළ ආයු කාලය වැඩි වෙන්න සහ දරුවන්ගේ මරණ අනුපාතය අඩුවීමට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වැදගත් වෙලා තියෙනවා.”

හෙට (24) දිනයේ සිට ආරම්භ වන ලෝක ප්‍රතිශක්තිකරණ සතියට සමාගමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය පාලිත කරුණාපේම මේ බව සඳහන් කරයි.

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවට දුන් නියෝගය 

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවට දුන් නියෝගය 

ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම නඩුව අද (23) විභාගයට ගත් අවස්ථාවේදී, විත්තිකාර මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අනතුරුව දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව ලබන මැයි මස (29) වැනිදා යළි කැඳවීමට නියම කළාය.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

හිරුට එරෙහිව තෙල් සංස්ථාවෙන් පැමිණිලි

හිරුට එරෙහිව තෙල් සංස්ථාවෙන් පැමිණිලි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හිරු රූපවාහිනී නාලිකාවට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීමේදී එකඟ වූ කොන්දේසි පද්ධතියක් පවතින බවත් ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකයට බලපාන කරුණු, ජනතා සෞඛ්‍යය හා සම්බන්ධ වාර්තාකරණය සහ ජාතික සමගිය සහ සංහිඳියාව පළුදු වන අයුරින් කටයුතු කිරීම යන කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

යම් මාධ්‍ය ආයතනයක් විසින් පුවත් පළ කිරීමේදී පුරවැසියෙකුට අසාධාරණයක්, චරිත ඝාතනයක් හෝ ප්‍රතිරූපයට හානියක් සිදු කරන්නේ නම්, ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අයිතිය අදාළ පාර්ශ්වයන්ට පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍ය ආයතනයක් විසින් අදාළ කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට පැමිණිලි ලැබුණු විට, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් එහිදී අදාළ පාර්ශ්ව කැඳවා සාකච්ඡා කිරීම සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍ය ආයතන විසින් සිදුකරන වැරදි නිවැරදි කිරීමට ප්‍රමාණවත් පියවර නොගන්නේ නම් ගත යුතු මීළඟ ක්‍රියාමාර්ග පිළිබඳව රජය සාකච්ඡා කර තීරණය කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තාවක්

මෙරට ඉතිහාසයේ පළමු වරට වාර්තාවක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2025 වසරේ වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරයි.

ඒ අනූව 2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඩොලර් 5,003ක් වන අතර 2024 වසරේදී ඩොලර් 4,546ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ, අමෙරිකානු ඩොලර් 457කින් ඉහළ ගොස් ඇත.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය යනු රටක සමස්ත නිෂ්පාදන සහ සේවාවල මුළු වටිනාකම, රටේ ජනගහනයෙන් බෙදූ විට ලැබෙන අගය වන අතර එය රටක ආර්ථික ශක්තිය සහ නිෂ්පාදන හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන මිනුම් දණ්ඩකි.

සයිබර් ප්‍රහාරය ගැන සෙවීමට මහා භාණ්ඩාගාරයෙන් විශේෂ කණ්ඩායමක්

සයිබර් ප්‍රහාරය ගැන සෙවීමට මහා භාණ්ඩාගාරයෙන් විශේෂ කණ්ඩායමක්

මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී සයිබර් හැකර්කරුවන් සිදු කළ බව කියන වංචාව සම්බන්ධයෙන්, අංශ කිහිපයකින් පරික්ෂණ ක්‍රියාත්මක බව, මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ද, පරික්ෂණයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කරයි.

හිරුට එරෙහි ඇමති ලාල්ගේ පැමිණිල්ල අද සළකා බලයි

හිරුට එරෙහි ඇමති ලාල්ගේ පැමිණිල්ල අද සළකා බලයි

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත හිරු රූපවාහිනි නාලිකාවට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ල අද (23) සළකා බලන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් සඳහන් කරයි.

රූපවාහිනී නාලිකාවක් සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අමාත්‍යවරයා ඊයේ (22) පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

රූපවාහිනී නාලිකාව ජනමාධ්‍ය අමාත්‍යංශය ලබාදී ඇති බලපත්‍රයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි පැමිණිල්ලේ දැක්වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද පැමිණිලි කළේය.