Local news

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

ගෝඨාගේ මිත්‍රයා සුගීෂ්වරට දුන් නියෝගය

ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර වැටුප් දෙකක් ලබාගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (09) දින කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන නිලධාරීන් විසින් සිද්ධියට අදාළව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය සහ වැඩිදුර කරුණු අධිකරණය හමුවේ වාර්තා කරනු ලැබුවෙිය.

අනතුරුව සුගීෂ්වර බණ්ඩාර ලබන (23) වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ තවත් තනතුරක් සඳහා එකවර වැටුප් හා දීමනා ලබාගැනීම සම්බන්ධයෙන් වන මූල්‍ය සාක්ෂි හා විමර්ශන වාර්තා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරුගේ රක්ෂිත බන්ධනාගාර කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.

තෙවන මෙට්‍රෝ ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි

තෙවන මෙට්‍රෝ ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි

මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් ⁣ඉදිකළ තෙවන ඒකල මෙට්‍රෝ ඩිපෝව අද (09) සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

නව බස් සේවාවට පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම ඒකාබද්ධව කඩිනම් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

මෙට්‍රො ව්‍යාපෘතිය යටතේ ඉදිකල පළමු ඩිපෝ අංගනය පසුගිය (04) වන දින බත්තරමුල්ල, තලංගම දී ජනතා අයිතියට පත් කළ අතර දෙවන කඩවත මෙට්‍රො ඩිපෝ අංගනයේ මෙහෙයුම් කටයුතු (07) දින නිල වශයෙන් ආරම්භ කළේය.

මෙට්‍රො බස් ව්‍යාපෘතියේ සේවා ධාරිතාව වැඩිකිරීම සඳහාත් පරිපාලන, මෙහෙයුම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහාත් පළමු අදියර යටතේ නව ඩිපෝ 04ක් ඉදිකිරීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්.) සමාගම සැලසුම් කර ඇත.

ඔලුවෙන් හිටගෙන කීවත් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බෑ

ඔලුවෙන් හිටගෙන කීවත් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බෑ

ඔලුවෙන් හි⁣ටගෙන කීවත්, මහ බැංකු හොරකම සිදුකළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බැරි බවත් පුළුවන්නම් ලංකාවට ගෙනත් පෙන්නන ලෙසට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කරයි.

අද (09) දින පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී චාමර සම්පත් දසනායක සඳහන් කළේ,

“අර අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු හොරකම කරපු මිනිහා රටින් යැවුවේ කවුද.? අද මෙි රටේ ප්‍රධාන ආයතනයක ප්‍රධානියා. පාස්පොට් එක දෙනකොට එයා අධිකරණයේ කොටුව මහේස්ත්‍රාත්. තුන් පාරක්.

කිසිම කොන්දේසියකින් තොරව තමයි එයාට පාස්පොට් එක දුන්නේ. තුන් පාරක් ලංකාවට ආවා ගියා. හතරවෙනි පාර තමයි අර්ජුන මහේන්ද්‍රන් නැවතුනේ. ඉතිං එයා අද, එයාට කොන්දේසි නැ.

මම රට යනකොට, රජයෙන් මම රට යනකොට මගේ පාස්පොට් එකට තව එක්කෙනෙක්ගේ පාස්පොට් එකක් ඇප තියලා දුන්නේ. කිසිම කොන්දේසියක් නැතුව තමයි අද අර්ජුන මහේන්ද්‍රන් ගිහින් ඉන්නේ.

දැන් අර්ජුන මහේන්ද්‍රන් නමත් වෙනස් කරලා. මොකක්ද වෙන නමක් දාගෙන අර්ජුන මහේන්ද්‍රන්. ආයේ අර්ජුන මහේන්ද්‍රන් ගේන්න වෙන්නෑ මේ රටට. ඔලුවෙන් හිටගෙන කීවත්.

ජනාධිපතිතුමා රැස්වීම්වල කීවේ මොකක්ද. දේශපාලන රැස්වීම්වල. පළවෙනිය⁣ටම, අපේ පළවෙනි වැඩේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවා කිවුවා. පුළුවන්නම් ගෙනත් පෙන්නන්න කියන්න.

මේ ආණ්ඩුව ඉවර වෙන්න ඉස්සෙල්ලා. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න බෑ. අර්ජුන මහේන්ද්‍රන් යවපු මිනිහා තමයි අද ලංකාවේ අනිත් මිනිස්සූ හිරේ දාන්නේ.

එයාට තියෙන පළවෙනි නඩුව ආණ්ඩුව පෙරලුනාම පළවෙනි නඩුව තමයි අර්ජුන මහේන්ද්‍රන්ට ⁣පාස්පෝට් එක නිදහස් කරපු මිනිහට තමයි අපි පටන් ගන්නේ පළවෙනි නඩුව. පළවෙනි නඩුව තියෙන්නේ එයාට.“

ඉන්දු – ශ්‍රී ලංකා නව ගිවිසුම් තුනක්

ඉන්දු – ශ්‍රී ලංකා නව ගිවිසුම් තුනක්

මෙරට නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං අද (09) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවිය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම, දෙරටෙහි ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවේදී, දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා වැදගත් පියවරක් ලෙස නව ගිවිසුම් තුනකට අත්සන් තබා ඇත.

මේ අතර තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං පිළිගැනීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණේය.

පාලන පද්ධතියේ දෝෂයක්.. ගුවන් ගමන් 1000ක් අවලංගුයි

පාලන පද්ධතියේ දෝෂයක්.. ගුවන් ගමන් 1000ක් අවලංගුයි

බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් පාලන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් රට පුරා ගුවන් ගමන් 1000කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇත.

ඊයේ (08) දින රාත්‍රිය වනවිට පද්ධතිය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකිවෙනු ඇතැයි, අපේක්ෂා කෙරුණද, අද දිනයේද ගුවන් ගමන් අවලංගු විය හැකි බව සඳහන් කර ඇත.

හීත්‍රෝ, ස්ටැන්-ස්ටේඩ්, මැන්චෙස්ටර්, බර්මින්ග්හැම් මෙන්ම ස්කොට්ලන්ත ගුවන්තොටුපළ මෙහෙයුම්ද ඉන් අඩාල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රයන් එයාර් ගුවන් සේවය පවසන්නේ ඔවුන්ගේ පමණක් ගුවන් මගීන් 65,000ක් පමණ ඉන් බලපෑමට ලක්ව ඇති බවයි.

“එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල්” පද්ධතිය අක්‍රීය වීම තුළින්, ගුවන් යානාවලට පිටත්ව යා නොහැකි බවත් අදාළ ගුවන් යානා පිටත්ව යාමකින් තොරව වෙනත් නගර සහ විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් යානා ගොඩබැස්විය නොහැකි බවද සඳහන් කරයි.

සෞදි අරාබියට මිසයිල ප්‍රහාර මාලාවක්

සෞදි අරාබියට මිසයිල ප්‍රහාර මාලාවක්

සෞදි අරාබියේ දකුණු දිග නගරවල සිවිල් ප්‍රදේශ වලට සහ ආර්ථික මර්මස්ථාන වලට යේමනයේ හූති කැරලිකරුවන් දැවැන්ත බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

යේමනයේ හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 73 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයත් සමඟ ලොව විශාලතම තෙල් අපනයනකරු වන සවුදි අරාබියේ බලශක්ති මධ්‍යස්ථාන කිහිපයක මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.

බොරතෙල් බැරල් ලක්ෂ 4ක් දිනකට නිෂ්පාදනය කරන ජිසාන් බලශක්ති මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වී ඇති අතර එම ප්‍රහාරය ඉතා බරපතළ බව සවුදි රජය ප්‍රකාශ කර ඇත.

මිසයිල ප්‍රහාර එල්ල වූ ස්ථානවල ගිනිගැනීම් පාලනය කිරීමට සහ තුවාල ලැබූ අය රෝහල්ගත කිරීමට සවුදි බලධාරීන් වහා පියවර ගෙන ඇති අතර තුවාල ලැබූ අය අතර කාන්තාවන් සහ දරුවන් ද සිටින බව වාර්තා වේ.

සිය රටේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් හූති කැරැලිකරුවන්ගේ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බවද සවුදි රජය නිවේදනය කර ඇත.

අනතුරුව පැය කිහිපයකට පසු යේමනයේ හූති කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින පළාත් රැසකට ප්‍රහාර එල්ල කර ඇත.

අධිකරණයට අපහාස කළ විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට ඉදිරි පියවර ගනී

අධිකරණයට අපහාස කළ විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු පිරිසට ඉදිරි පියවර ගනී

අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු 6 දෙනෙකුට ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති අතර එය ඊයේ (08) වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

කැඳවීමෙන් අනතුරුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහය අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බව කියන විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු 6 දෙනෙකුට ඇතුළු 6 දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය අගෝස්තු (05) වනදා නියෝග කළේය.

එහිදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය කර ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරණ ලෙස නියෝග කළේය.

එ අනුව අභියාචනාධිකරණය හමුවේ මෙලෙස නඩු පැවරීමට තීරණය කරන ලද්දේ, හිටපු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම දේශපාලන ක්‍රියාකාරිකයින් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ නමැත්තන්ට එරෙහිවයි.

යෝෂිත සහ රෝහිත අක්කර 135ක තේ වත්තක් අයිති කරගෙන

යෝෂිත සහ රෝහිත අක්කර 135ක තේ වත්තක් අයිති කරගෙන

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ විසින් මුස්ලිම් ජාතිකයන් තිදෙනකු යොදවා අක්කර 135ක තේ වත්තක් අයිති කර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර ඇත.

අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය කළ පැමිණිල්ලකට අනුව මේ තීරණය ගෙන ඇත.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර විසින් අගෝස්තු මස (20) වැනිදා මේ පැමිණිල්ල යොමු කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළ බව අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය පැමිණිලිකරුට ලිඛිතව දැනුම් දී ඇත.

පැමිණිල්ල මඟින් පවසා ඇති සියලු කරුණුවලට අදාළ ලේඛනගත සාක්ෂි සමඟින් පැමිණිලිකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බැවින් ලබන (14) වැනිදා පෙරවරු 9.00ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙසද පැමිණිලිකරුට දැනුම් දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්

මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක් පිරිනමා ඇත.

මාලදිවයිනෙන් පසුව දකුණු-නැගෙනහිර ආසියානු කලාපයේ මැලේරියාව තුරන් කළ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ටිමෝර්-ලෙස්තේ හි ඩිලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසියේදී මෙම ඇගයීම් සහතිකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පිරිනමා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අධානොම් ගෙබ්‍රියේසස් විසින් එම සහතිකය පිරිනමා ඇති අතර එය WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ භාරකාර නිලධාරී ආචාර්ය නිලේෂ් බුද්ධාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාව 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියාවෙන් තොර රටක් ලෙස නිල වශයෙන් සහතික කරනු ලැබු අතර එතැන් සිට වසර 10ක් පුරා රට තුළ මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වළක්වා ගනිමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

මෙම ජයග්‍රහණ හුදෙක් සෞඛ්‍ය සන්ධිස්ථාන පමණක් නොව, ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සහ වඩාත් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් නිර්මාණය කිරීම සහතික කරන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

නීතිපතිගේ නිෂ්කාශනය ලැබෙයි.. අපරාධ වැළැක්වීමට නව පනතක්

නීතිපතිගේ නිෂ්කාශනය ලැබෙයි.. අපරාධ වැළැක්වීමට නව පනතක්

ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2026-03-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද, ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගිතාව මඟින් බරපතල අපරාධ වැළැක්වීම සහ බරපතල අපරාධවලට විරුද්ධව කටයුතු කිරීම සඳහා ද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද නෛතික විධිවිධාන සලසනු පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇත.

එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.

Follow WhatsApp Channel