Local news

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

උතුරු සහ නැගෙනහිර ඉඩම් කඩිනමින් ජනතාවට

පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත්, මේ වනවිට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් තුළ යුද සමයේ හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සහ ජනතාව විසින් පරිහරණය කරන ලද රජය සතු ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කර ලබාදීම කඩිනම් කිරීම සම්බන්ධයෙන් අද (20) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ජාතික ආරක්ෂාව ඉතා වැදගත් වන අතර ජාතික ආරක්ෂාව සඳහා හමුදා කඳවුරු ස්ථාපනය කළ යුත්තේ කුමන ස්ථානවලද යන්න තීරණය කිරීම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසගේ කාර්යභාරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ මත පදනම්ව නිදහස් කළ හැකි ඉඩම් මොනවා ද යන්නත්, නිදහස් කළ නොහැකි ඉඩම් මොනවාද යන්නත් සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන ලෙසද උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ඉඩම් ප්‍රමාණය තීරණය කිරීමේදී හැකිතාක් ජනතාවගේ පැත්තෙන් සිතා බැහැර කළ හැකි උපරිම ඉඩම් ප්‍රමාණය බැහැර කරන ලෙස වැඩිදුරටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා එසේ ලබාදෙන ඉඩම් කොටස්වලට අමතරව එම ජනතාවගේ ජීවනෝපාය මාර්ග සලසා දීමට කටයුතු කිරිමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

ඒ සඳහා ඉහළ ඵලදායීතාවක් ලබාගත හැකි නවීන කෘෂි තාක්ෂණය සහිත ව්‍යාපෘති හඳුන්වා දීමට කටයුතු කරන ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ අමරණීය ස්වරය දැයට අහිමි වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අද්විතීය සලකුණක් වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය මියයන විට 82 හැවිරිදි වියේ පසුවූ අතර ඇය නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

ශ්‍රී ලාංකීය රස වින්දනීය ගීත කලාවට ඉතා වටිනාම සේවයක් ඉටුකළ ඇය සිය හඩින් මෙන්ම නිර්භීත කලා භාවිතයෙන්ද දේශයම කම්පනයට පත් කළ කලාකාරිණියක් වේ.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

විමල්ගේ බිරිඳට දුන් නියෝගය

විමල්ගේ බිරිඳට දුන් නියෝගය

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ අද (20) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අදාළ නඩුවේ තීන්දුව කියවාදීම සඳහා නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදී සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනා වලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණේය.

එම තීන්දුවට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර අනතුරුව එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එම අභියාචනය ලබන මස කරුණු තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කැඳවීමට නියම කර ඇති බැවින්, එතෙක් තම සේවාදායිකාව පෙර ඇප මත මුදාහරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට යටත්ව ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර අදාළ නඩුව යළි සැප්තැම්බර් (27) වැනිදා කැඳවීමට නියමිතය.

ආරක්ෂක සයිබර් විධානයේ ප්‍රධානතම සයිබර් ආරක්ෂණ වැඩසටහන

ආරක්ෂක සයිබර් විධානයේ ප්‍රධානතම සයිබර් ආරක්ෂණ වැඩසටහන

ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය (Defence Cyber Command) මගින් සංවිධානය කරන ලද “Aegis Lexicon 2026” වාර්ෂික ආරක්ෂක සයිබර් සම්මන්ත්‍රණය, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් (19) වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී විය.

මෙහිදී අදහස් දැක් වු නියෝජ්‍ය අමාත්‍යවරයා යාවත්කාලීන වන ආරක්ෂක සන්දර්භය තුළ සයිබර් ආරක්ෂණයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

Aegis Lexicon යනු ආරක්ෂක සයිබර් විධානයේ ප්‍රධානතම සයිබර් ආරක්ෂණ වැඩසටහන බවට පත්ව ඇති බවත්, එය සයිබර් ආරක්ෂණ දැනුවත්භාවය, තාක්ෂණික කුසලතා සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙන්ම, ආරක්ෂක අංශ අතර සහයෝගීතාව වර්ධනය කිරීමට මහෝපකාරී වන වේදිකාවක් ලෙස ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක සයිබර් බලකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ධම්මික විදානලාගේ විසින් ආරම්භක දේශනය පවත්වන ලදි.

“Shaping the Future Battlespace Towards the Singularity” යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පැවැත් වූ අතර ජාතික ආරක්ෂාව කෙරෙහි සයිබර් ආරක්ෂණයේ ඇති බලපෑම, නැගී එන තාක්ෂණික දියුණුව සහ වත්මන් අභියෝග කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

ප්‍රවීණ දේශන සහ සමූහ සාකච්ඡා රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනේදී සයිබර් ආරක්ෂණය, නැගී එන තාක්ෂණයන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණු රැසක් සාකච්ඡාවට බඳුන් විය.

Aegis Lexicon වැඩසටහන් මාලාව හරහා දැනුම හුවමාරු කර ගැනීමට, වෘත්තීය සංවාද ගොඩ නැගීමට සහ යාවත්කාලීන වන සයිබර් තර්ජන පිළිබඳ දැනුවත් භාවය වැඩිදියුණු කිරීමට අඛණ්ඩව අවස්ථාව හිමිවන අතර, එමගින් ජාතික ආරක්ෂක ක්ෂේත්‍රයේ සයිබර් සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායකත්වය සැපයේ.

මහින්දට නාකි මයිනා කිවුවා.. නාකි මයිනෝ නාකි මයිනෝමයි

මහින්දට නාකි මයිනා කිවුවා.. නාකි මයිනෝ නාකි මයිනෝමයි

මේ රට එක්සේසත් කරපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එදා කිවුවේ ‘නාකි මයිනා’ කියලා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

අද (20) දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ,

“දැන් එක පැත්තකින් කියනවා මේ කාලය දීර්ඝ කරන්න ඕනා. වයස නියමිත කාලයේ විශ්‍රාම යන්නේ නැතිව දීර්ඝ කරන්න ඕනා. හැබැයි මහින්ද ජනාධිපතිතුමා, මේ රට එක්සේසත් කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එදා කිවුවේ මොකක්ද, නාකි මයිනා.

එතකොට ඒ වයසට යනකොට නාකි මයිනා. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ. එයා සීයා, සුදු සීයා. වැල්පාලමේ යනවා. ඊළගට කිවුවා ගෙදර යතුරක්වත් දෙන්න හොද නෑ ගෙදර ඉන්න වයසක කෙනෙකුට. නාකියෙකුට.

එහෙමනේ කිවුවේ. එතකොට එදා එහෙම කියලා දැන් කොහොමද මෙහෙම වෙන්නේ. දැන් විශ්‍රාම කාලයේ වයසට ගියාම විශ්‍රාම ගන්නෙ නැතුව ඒක කියනවා විශ්‍රාම යවන්න ඕන නෑ අපට තව වැඩගන්න ඕන කියලා තියාගන්නවා.

අනිත් කාලෙට තමන්ට ඕන නැති වුණාම කියනවා නාකි මයිනා, සුදු සීයා. නාකින්ට යතුර දෙන්න හොද නෑ. යකෝ මාර කෙලියක්නේ ඒක. කන්න ඕන වුණාට පස්සේ, කන්න ඕන වුණාම තලගොයා කබරගොයා මාරුවෙන වැඩක් නේ මේක. එහෙනම් නාකි මයිනෝ නාකි මයිනොමයි.”

සරසවි සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක්

සරසවි සිසුන් වෙනුවෙන් නව තොරතුරු පද්ධතියක්

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් මහපොළ භාරකාර අරමුදල නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදී ඇත.

ඊට මහපොළ ශිෂ්‍යත්ව මුදල් ලබාදීම සම්බන්ධව සියලු තොරතුරු ඇතුළත් වන බව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ සඳහන් කරයි.

ඒ අනුව mahapola.lk වෙබ් අඩවිය හරහා මේ මාසයේ සිට එම පද්ධතිය සිසුන්ට විවෘත වනු ඇති බවද මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සභාපතිවරයා සඳහන් කරයි.

ට්‍රම්ප් විදෙස් රටවලට අනතුරු අඟවයි

ට්‍රම්ප් විදෙස් රටවලට අනතුරු අඟවයි

මූල්‍ය ආයතන, ව්‍යාපාර, ගුවන් තොටුපළ හෝ රජයේ ආයතන හරහා ඉරානයට සහය වීමට ඉඩ දෙන ඕනෑම විදෙස් රටක් බරපතල ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉන්ධන ජාවාරම්, මුදල් හුවමාරු, නෞකා ලියාපදිංචි කිරීම්, සහ ව්‍යාජ සමාගම් නිර්මාණය කරමින් ඉරානයට උපකාර කරන සියලු පාර්ශව එම කටයුතු නවතා දැමිය යුතු බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය පරාජය කිරීමට අමෙරිකාවේ සියලුම මිත්‍ර රටවලට එක්වන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ආර්ථික විනාශකාරී මෙහෙයුම හරහා ලොව පුරා භීෂණය පැතිරවීමට ඉරානයට ඇති හැකියාව අඩපණ වනු ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

තෙල් මිල තවත් ඉහළ⁣ට

තෙල් මිල තවත් ඉහළ⁣ට

අද (20) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ⁣ ගොස් ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 92.79ක් ලෙස ඉහළ ගොස් ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.41ක් ලෙස ඉහළ ගොස් ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.40ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඉරානයට එරෙහිව ට්‍රම්ප් ‘විනාශකාරී මෙහෙයුම’ අරඹයි

ඉරානයට එරෙහිව ට්‍රම්ප් ‘විනාශකාරී මෙහෙයුම’ අරඹයි

ඉරානයට එරෙහිව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව මෙහෙයුමක් දියත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව ඕනෑම රටකට එරෙහිව මෙතෙක් දියත්කර ඇති “විනාශකාරීම ආර්ථික මෙහෙයුම” තමන් ඉරානයට එරෙහිව ආරම්භ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

ඉරානය ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීමේ අරමුණින් මෙම නව මෙහෙයුම දියත් කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත.

අද (20) අලුයම ටෘත් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර ඇත.

එකඟතාවයකට පැමිණීමට තමන් ඉරානයට ඕනෑ තරම් අවස්ථා ලබාදුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ඉරානය අපොහොසත් වූ බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉරාන නාවික සහ ගුවන් හමුදා සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවත් ඉරාන මුදල් ඒකකයද දැන් බිඳ වැටී ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරයි.

වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට

වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයෙකු වන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන හෙවත් “වනාතේ චතූ” ඩුබායි, රසල්කයිමාහිදී අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් වන පානදුර සළිඳු සහ දරුන් විසින් ලබාදුන් තොරතුරු වලට අනුව ඩුබායි ආරක්ෂක අංශ විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.