Local news

යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා

යෝෂිතට සහ කරන්නාගොඩට අධිචෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අද (20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවුණි.

කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා ඇපමත මුදාහරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

සජිත්ට වෙච්ච දෙයක්.. නීතීඥ සංගමය අද පාර්ලිමේන්තු එන්නෑ කියයි

සජිත්ට වෙච්ච දෙයක්.. නීතීඥ සංගමය අද පාර්ලිමේන්තු එන්නෑ කියයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (20) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සැලසුම් කර තිබූණේය.

එහෙත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාවට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුම් දී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම දැනුම් දීම සිදුකර ඇත.

පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇත.

22 වන සංශෝධනයට එරෙහි තවත් පෙත්සම් 4ක්

22 වන සංශෝධනයට එරෙහි තවත් පෙත්සම් 4ක්

කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් අද (20) දින පාර්ලිමේන්තුවට නිවේදනයක් නිකුත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව “22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතරක පිටපත් තමා වෙත ලැබී ඇති බව කථානායක ‍වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (20) දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

PHIලා හදිසියේම ලෙඩ වෙයි.. වර්ජනයක් අරඹයි

PHIලා හදිසියේම ලෙඩ වෙයි.. වර්ජනයක් අරඹයි

දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතු වලින් අද (20) දිනයේ සිට ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමින් මෙම තීරණය ගෙන ඇත.

ඊයේ (19) දින රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.

තවද හෙට (21) දිනයේ දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් මතුවෙයි.. CIDය විමර්ශන අරඹයි

පාස්කු ප්‍රහාරයේ බුද්ධි සටහන් පොතක් මතුවෙයි.. CIDය විමර්ශන අරඹයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශන වලට අදාළව වව්නතිව් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බළකායේ බුද්ධි තොරතුරු ඇතුළත් සටහන් පොතක් සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

තම භාරයට ගන්නා ලද අදාළ බුද්ධි තොරතුරු සටහන් පොත භාරව සිටි ලුතිනන් කර්නල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

තවද, එහි අන්තර්ගත කාරණා පිළිබඳව පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම දැනුම් දීම සිදු කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් බුද්ධි නිලධාරීන් වන යසිල් බාවා ජෙගිල් පාස් සහ එස්.එන්. සරත් සමන්ත යන සැකකරුවන් සැප්තැම්බර් (02) වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 9ක්

22 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 9ක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මේ වනවිට පෙත්සම් 9ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීතිඥ මෛත්‍රී ගුණරත්න, මහාචාර්ය ජී එල් පීරිස්, සමගි ජන බලවේග පක්ෂය, සර්වජන බලය පක්ෂය, උදය ගම්මන්පිල, දුමින්ද නාගමුව, මිලින්ද රාජපක්ෂ එම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී, අනතුරුව එය ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසට පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට

අධිකරණයට අපහාස කිරීම – විමල් ඇතුළු කණ්ඩායමේ ප්‍රකාශ ඇතුළත් CD තැටි අධිකරණයට

අසත්‍ය ප්‍රකාශ සිදුකර අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මන්ත්‍රී දිලිත් ජයවීර, ගෝඨාභය රාජපක්ෂගේ හිටපු ලේකම් සුගීෂ්වර බණ්ඩාර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න සහ කථිකාචාර්ය මහින්ද පතිරණ යන අය විසින් සිදු කරන ලද ප්‍රකාශ අන්තර්ගත සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ නඩුව (19) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවු අවස්ථාවේදී, මෙම නඩුවට අදාළව අධිකරණයට අපහාස කළ බව කියන ප්‍රකාශ ඇතුළත් සංයුක්ත තැටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට භාරදී ඇත.

අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් රුමේෂ් තරංග දිවයිනෙන් පිටව යයි

අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් රුමේෂ් තරංග දිවයිනෙන් පිටව යයි

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග හෙට (21) ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

තවද අගෝස්තු (27) වැනිදා ස්විට්සර්ලන්තයේ, සූරිච්හිදි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටත් රුමේෂ් තරංග සහභාගී වීමට නියමිතව ඇත.

අනතුරුව සැප්තැම්බර් (05) වැනිදා බෙල්ජියමේදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයටත් රුමේෂ් තරංග එක්වීමට නියමිතව ඇත.

ජනමත විචාරණය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ජනමත විචාරණය ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ රටේ ජනතාව වෙනුවෙන් බවත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

එය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත්, ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ලබන සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව අනුව පාර්ලිමේන්තු බහුතරය හෝ ජනමත විචාරණය යන ඕනෑම තීරණයකට මුහුණදීමට කටයුතු කරන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනහමුවක් අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.

ඉරාන – UAE වෙළෙඳ කටයුතු වහාම අත්හිටුවයි

ඉරාන – UAE වෙළෙඳ කටයුතු වහාම අත්හිටුවයි

ඉරානය සමග පවතින සියලුම වෙළෙඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යය තීරණය කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගත් මෙම තීරණයත් සමග ඉරානය ජාත්‍යන්තරය තුළ තවදුරටත් හුදකලා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊයේ (18) දින රාත්‍රියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය දෙසින් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවමින්, ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසට හදිසි නිවේදන නිකුත් කර ඇත.