Local news

වාහන ආනයන බද්ද මත 50%ක අධිභාරය දීර්ඝ කෙරේ

වාහන ආනයන බද්ද මත 50%ක අධිභාරය දීර්ඝ කෙරේ

රජය විසින් වාහන ආනයන බදු මත අද (15) දිනය දක්වා පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් (31) දක්වා දීර්ඝ කර ඇත.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අදාළ දීර්ඝ කිරීම සිදුකර ඇත.

ඒ සම්බන්ධව රේගු නිවේදනය ජනාධිපතිවරයා විසින් අගෝස්තු (13) දින නිකුත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය අගොස්තු (14) දින සහිතව මුද්‍රණය කරන ලෙස රජයේ මුද්‍රණාලාධිපතිවරයාට වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඓශානි ජේ අබේරත්න විසින් දැනුම් දී ඇත.

ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් මස (31) වන දින තෙක් වූ කාලසීමාව සඳහා මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.

මෙම නියමය පසුගිය මැයි මස (15) වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කරන ලද මෝටර් වාහන ආනයනයන් සම්බන්ධයෙන් අදාළ නොවනු ඇති බව සඳහන් වේ.

ජනපති වෙනස් වුණත් මම ආයේ ඡන්දෙ ඉල්ලන්නේ නෑ

ජනපති වෙනස් වුණත් මම ආයේ ඡන්දෙ ඉල්ලන්නේ නෑ

මින් ඉදිරියට තමන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

රටට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය නොවන බවත් පසුගිය මහ මැතිවරණයට තරඟ කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසා මිස තම කැමැත්තකට නොවන බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

ඡන්දය ඉල්ලන්නේ නැති වුවද දේශපාලනයේ නිරත වෙමින් අඛන්ඩව රටට වැඩ කරන බවත් තමන් කිසිම දිනෙක පක්ෂය අතහැර යන්නේ නැති බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

ආණ්ඩුව බලයට පැමිණියේ ජන අරගලයකින් පසුව වෙනස් වූ ජනතාවක් සමඟ පැවැත්වූ මැතිවරණයකින් බවත් එලෙස පත්වූ ආණ්ඩුව පහසුවෙන් පෙරළා දැමිය නොහැකි බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව දිගටම රට කරවනු ඇති බවත් ජනාධිපතිවරයා වෙනස් වුවද ආණ්ඩුව වෙනස් නොවන බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කළේ,

“ආණ්ඩුවක් දිගටම තියෙනවා කියන එකයි, පුද්ගලයෙක් දිගටම ඉන්නවා කියන එකයි දෙකක්. පුද්ගලයෝ අපි යනවා. මමනම් ආයේ මහනුවරින් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ. මේ පාරත් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම ඡන්දය ඉල්ලුවේ. වැඩ කරනවා. දේශපාලනය කරනවා.”

මහනුවර මහනගර සභා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මේ බව සඳහන් කරයි.

පරණ සෙල්ලම් අදින් ඉවරයි.. මින් ඉදිරියට නැවැත්වීම තහනම්

පරණ සෙල්ලම් අදින් ඉවරයි.. මින් ඉදිරියට නැවැත්වීම තහනම්

බස් රථ නැවතුම් ස්ථානයට ළඟා වීමට මීටර් 30ක් ඇතුළත හා පිටවන මීටර් 15ක් ඇතුළත වාහන නවතා තැබීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

එම ගැසට්‌ පත්‍රය මඟින් බස් නෙරුව (Bus Bays) සහිත බස් නැවතුම් ස්ථානයට ලඟාවෙන පැත්තෙන් මීටර් 15ක් ද, පිටවීමේ දෙසින් මීටර් 10ක්ද ඇතුළත අනෙකුත් වාහන නතර කර තැබීම තහනම් කර ඇත.

ඒ අනුව පොදු මගී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථාන අවහිර වන පරිදි අනෙකුත් වාහන නතර කර තැබීමට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

බස් රථ නැවතුම් ස්ථානවල වෙනත් වාහන නවතා තබන රියැදුරන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සියළු පොලිස් ස්ථානයන් දැනුවත් කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

බස් නැවතුම්පොළවල වෙනත් වාහන නතර කර තැබීම හේතුවෙන් බස් රථ මාර්ගයේ මැද නතර කිරීමට සිදුවන අතර එමගින් දැඩි මාර්ග තදබදයක් මෙන්ම මගීන්ගේ ජීවිත වලටද අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බවද පොලීසිය සඳහන් කරයි.

මේ වනවිට ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු මඟින් ගමන් කිරීමට හැකියාව පවතින බස් රථ සේවාවක්ද හඳුන්වාදී තිබෙන බැවින් බස් රථ නැවතුම් ස්ථානවල බස් රථ නැවැත්වීමට හැකි පරිදි අවහිරතාවයන්ගෙන් තොරව පැවතිය යුතු බවද පොලීසිය සඳහන් කරයි.

මේ සමාජය බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක.. යුක්තිය ඉටු කිරීම අපහසුයි

මේ සමාජය බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක.. යුක්තිය ඉටු කිරීම අපහසුයි

සමාජය අපරාධකරුවන්ගේ පාර්ශවය ගන්නා තාක් මෙරට අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය අභියෝගයක් බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අපරාධයක වින්දිතයින්ට නිසි රැකවරණය ලැබෙන පරිදි නීති ශක්තිමත් නොකර යුක්තිය ඉටු කිරීම අපහසු බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල පදනම් කරගනිමින් නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු සභාවක් හමුවේ නඩු පැවරූ බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

තමන් විසින් හිටපු පොලිස්පතිවරයාට එරෙහි පැමිණිල්ල මෙහෙයවූ බවත් 2019 අප්‍රේල් (09) වන දින රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් ලබා දුන් විශේෂ තොරතුර පාර්ශව හතරකට යොමු කරමින් හිටපු පොලිස්පතිවරයා තබා ඇත්තේ ‘FNA’ (සුදුසු කටයුතු පිණිස) යන සටහන පමණක් බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

නීති විරෝධී ලෙස රාජකාරිය පැහැර හැරීමට අනුබල දීමේ චෝදනා මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව මගින් චෝදනා 855ක් යටතේ මරණ දඬුවම ඉල්ලා සිටි බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන්ට යම් නීති විරෝධී නියෝගයක් ලැබෙන්නේ නම්, එහි සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරෙන බැවින්, එම උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන්න ලේඛනගත කිරීමට කිසිදු ලෙසකින් පැකිලිය යුතු නැති බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

දේශපාලඥයන් කරනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව FCIDය මගින් කෙරෙන පරීක්ෂණ වලදී පවා බොහෝ තීරණ ගෙන ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බවත්, දේශපාලනඥයන් ලේඛනවල සටහන් නොතැබීමට ප්‍රවේශම් වී ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කරයි.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,

“මේ රටේ අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය පහසුද.? එය අතිශයම අභියෝගාත්මකයි. ඇයි අභියෝගාත්මක වෙලා තියෙන්නේ. මේ සමාජය වින්දිතයොත් එක්ක නෑ. මේ සමාජය ඉන්නේ බහුතරයක් ඉන්නේ අපරාධකරුවන් එක්ක.”

“අපි නීතිය ශක්තිමත් කරනවා සේම, මේ අපරාධ පසිඳලීමේ ක්‍රියාවලිය කොන්දේසි විරහිතව අපි සවිමත් කරන්න අවශ්‍යයි. කාගෙවත් ධන බලයට, වෙන බලපුරුවන් කාරකමට නෙමෙයි නීතිය කටයුතු කරන්න ඕන. නීතිය රාමුව තුල තියෙන ඒ සිද්ධාන්තයට පමණයි කටයුතු කරන්න ඕන.”

“විශේෂ අවධානය යොමු කළ යුතු නැති, පහළ නිලධාරීන්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක විය හැකි ලිපි සඳහා පමණක් ‘FNA’ ලෙස සටහන් කරන ලෙස අධිකරණය මගපෙන්වීමක් කර තියෙනවා. එසේ තොරතුරක් පහළ නිලධාරීන්ට යොමු කර නොසලකා හැරීමෙන් යම් අපරාධයක් සිදු වුවහොත්, එහි ප්‍රථම වගකීම එකී ඉහළ නිලධාරියා භාරගත යුතුයි. රාජකාරි මට්ටමින් ‘FNA’ ලෙස යැවීමේ පරිපාටිය සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතු කාලය පැමිණ තියෙනවා.”

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව සඳහන් කරයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘ශිරාන් බාසික්’ කුදලාගෙන එයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ‘ශිරාන් බාසික්’ කුදලාගෙන එයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා සහ තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකු අද (14) දින රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.

පසුගිය මැයි මස (26) වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.

අද රාත්‍රීයේ Air Arabia ගුවන් සේවයේ 3.එල් – 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය.

48 හැවිරිදි වියේ පසුවන ශිරාන් බාසික් දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුට ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කර තිබුණේය.

ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳපොළ අල්ලන්න සැරසෙයි

ශ්‍රී ලංකාව විදේශ වෙළෙඳපොළ අල්ලන්න සැරසෙයි

ලංකාව වැනි කුඩා වෙළෙඳපොළක් තුළ භාණ්ඩ සහ සේවාවන්හි පාලනය හුදු තරගකාරීත්වයක් මත පමණක් සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බවත් ඒ සඳහා රජය සතුව ශක්තිමත් මිල පාලන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් ඒ වෙනුවෙන් ලංකා සතොස සහ සමුපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කර එය ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස යොදාගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (14) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ස්වයං-මූල්‍යකරණය මගින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ පවත්වාගෙන යන ආයතන 16ක් යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගික අයිතීන් සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල කාර්යසාධනය මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

ගොවීන්ගේ වී සහ ධාන්‍ය වේලා ගැනීම සඳහා සහනදායී පදනමක් මත වියළන යන්ත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මේ වන විට යන්ත්‍ර 45ක් ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවත් අයදුම් කළ ආයතන 65ක් අතුරින් තෝරාගත් ආයතන 45කට එම යන්ත්‍ර ලබාදීමට කටයුතු කරන බවත් සඳහන් කෙරිණි.

දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි තොග බෙදා හැරීමේ මධ්‍යස්ථාන 9ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර කුරුණෑගල සහ මාතර මධ්‍යස්ථානවල ඉදිකිරීම් දැනටමත් අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 1000ක වියදමින් ක්‍රියාත්මක ග්‍රාමීය මට්ටමින් සහල් සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය, නුවරඑළිය ආර්තාපල් මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ මොනරාගල මාංශ බෝග සැකසුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම්වල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා ලොකු ළුෑණු සහ බඩඉරිඟු ගොවීන් වෙනුවෙන්ද නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එසේම, අමාත්‍යාංශය යටතේ යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතනවල කාර්යභාරය මෙහිදී වෙන් වෙන්ව විමසා බැලුණු අතර ආයතනික මට්ටමින් මතුව ඇති ගැටලු සහ ඒවා විසඳා ගැනීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.

සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද නිෂ්පාදන සමූපකාර සමිති ව්‍යාපෘතිය යටතේ, නව නිෂ්පාදන සමූපකාර සමිති 34ක් දැනටමත් ලියාපදිංචි කර ඇති බවත්, මෙම ක්ෂේත්‍රයට තරුණ ප්‍රජාව කැඳවා ගැනීම එහි අරමුණ බවත් මෙහිදී සඳහන් විය.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරුණු අතර නව ගබඩා සංකිර්ණ සහ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලිණි.

එමෙන්ම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ලංකා සතොස සහ සමූපකාර ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීම මගින් වෙළෙඳපොළ තරගකාරීත්වයක් ඇති කර පාරිභෝගිකයාට වඩා ගුණාත්මක සේවාවක් සහතික කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

සමුපකාර, මෙගා කෝප් සිටි සහ කෝප් සිටි 2100ක් පමණ රට තුළ පවතින බවත්, මෙමගින් සැලකිය යුතු වෙළෙඳපොළ කොටසක් වැඩිදියුණු කර ගැනීම පිළිබඳවත්, එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡා විය. එම කළමනාකරණ දුර්වලතා මගහරවා ගැනීම සඳහා පනතක් සම්පාදනය කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි.

පසුගිය කාලයේ කතාබහට ලක් වූ ත්‍රීපෝෂ සමාගමේ කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලූ අතර 2026 අයවැය යටතේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, පැය 24ම එහි කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ත්‍රිපෝෂ බෙදාහැරීම සහ අදාළ කාර්යාල වෙත ප්‍රවාහනය කර දීමටද කටයුතු කරන බවත්, ලංකා ත්‍රිපෝෂ ආයතනය වෙත ආහාර සුරක්ෂාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් ISO තත්ත්ව සහතිකය හිමිවී තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

අදාළ නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීම, ගබඩාකරණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මතුව ඇති ගැටලු මෙන්ම සේවක ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර මාස 06 සිට අවුරුදු 03 දක්වා දරුවන්ට ලබා දිය හැකි මට්ටමින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර එහි ගැටලු නිරාකරණය කර ගැනීම සහ අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම දැනුම් දුන්නේය.

සමාගම් ලියාපදිංචි කිරීමේදී පවතින ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා දැනට ප්‍රමාද වි තිබෙන අයදුම්පත් 3000ක කටයුතු හැකි ඉක්මණින් අවසන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වාණිජ දෙපාර්තමේන්තුවේ 2026 වසරේ කාර්ය සාධන ප්‍රගතිය මෙහිදී විමසා බැලු අතර රටවල් 33කට අදාළ නියෝජිතයින් තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල මගින් මෙම කටයුතු සමග සම්බන්ධ වී සිටින බව අනාවරණය විය.

ඉදිරි ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී විදේශ වෙළෙඳපොළ ජය ගැනීම ප්‍රමුඛ අවශතාවක් බවත්, ඒ සඳහා වාණිජ නිලධාරීන්ගේ රාජකාරී ඉලක්කය අන්තර්ජාතික වෙළෙඳපොළ සොයා ගැනීම, අපනයන ඉලක්ක ඉහළ නංවා ගැනීම වැනි ක්ෂේත්‍රයන් වෙත යොමු විය යුතු බවත් ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

ඒ වෙනුවෙන් වෙළෙඳපොළ සමීක්ෂණ සිදු කිරීම සහ වාණිජ මණ්ඩල ආදී ආයතන සමග සමීපව කටයුතු කරමින් එම තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය. විශාල වෙමින් පවතින නව වෙළෙඳපොළ කරා යොමු වෙමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට වාණිජ දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර දුරගමන් බස් රථ නතර කරන ආපනශාලා සහ පෞද්ගලික රෝහල්වල ආපනශාලා පිළිබඳ විශේෂ පරීක්ෂණ පවත්වා ඇති බවට ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.

ආහාර පාන ආශ්‍රිත ප්‍රමිතිය සහ මිල ගණන් නියාමනය පිළිබඳ නිරන්තරයෙන් ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බැවින් ඒ කෙරෙහි පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පොලිතින් භාවිතය අවම කර ගැනීම වෙනුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ මැදිහත්වීම මත පොලිතින් භාවිතය මිලියන 26 සිට මිලියන 16 දක්වා අඩු කර ගැනීමට හැකිව තිබෙන බවත්, පොලිතින් සඳහා විකල්ප සමග මෙම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවත් මෙහිදී සඳහන් කෙරිණි.

ශ්‍රී ලංකාව තුළ රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමත්, ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වූ අතර 2027 අයවැය ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති බණ්ඩාරවෙල සහ මාතලේ ආර්ථික මධ්‍යස්ථානවල ඉදිකිරීම් මෙන්ම මන්නාරම, තාරපුරම් සමූපකාර ගම්මානයේ කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

ළමුන් සේවයේ යෙදවීම තහනම්.. දඩය තවත් වැඩි කරයි

ළමුන් සේවයේ යෙදවීම තහනම්.. දඩය තවත් වැඩි කරයි

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්විය.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ එදින නොපැමිණීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් කාරක සභාව පැවැත්විණි.

මෙහිදී 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීහු සඳහන් කළේය.

1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත මඟින්, වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

මේ අතර අගෝස්තු (20) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත.

හෝමූස් හිදී නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් හිදී නෞකා දෙකකට ඉරානයෙන් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ අබුඩාබි ජාතික තෙල් සමාගමට (ADNOC) අයත් නෞකා දෙකකට ප්‍රහාර එල්ල කර ඇත.

නෞකා දෙකකට එල්ල වු ප්‍රහාර සම්බන්ධව එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉරානය වෙත චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් හරහා ගමන් කරමින් තිබියදී මෙම නෞකා දෙක ප්‍රහාරයට ලක්වූ බවත් හැකි ඉක්මනින් තත්ත්වය පාලනය කළ බවට ADNOC සමාගම තහවුරු කර ඇත.

දින කිහිපයකට පෙර ADNOC නැවක⁣ට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව මෙම නව ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙම ප්‍රහාරයෙන් කිසිදු තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් අවහිර කරමින් එය භාවිතා කරන පාර්ශ්වයන්ගෙන් ගාස්තු අය කිරීමට ඉරානය උත්සාහ දරන අතර අමෙරිකාව මෙම සැලැස්මට දැඩි විරෝධය පළ කරමින් ඉරාන නෞකා සඳහා ප්‍රති අවහිරයක් ක්‍රියාත්මක කර ඇත.

ඉරාන නියෝග වලට අනුකූල නොවී හෝමුස් හරහා ගමන් කරන ඕනෑම යාත්‍රාවකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) පසුගියදා ප්‍රකාශ කළේය.

කුදලාගෙන ආ රත්මලානේ සයිමා වමාරයි.. දුම්බරින් බූස්සට

කුදලාගෙන ආ රත්මලානේ සයිමා වමාරයි.. දුම්බරින් බූස්සට

පසුගියදා මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝගය මත පේරාදෙණිය පොලීසියේ රඳවාගෙන මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.

අනතුරුව සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (25) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් එදින රාත්‍රියේ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු (18) සිට (21) දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

2026 අගෝස්තු (18) අඟහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව, ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය.

ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ.

2026 අගෝස්තු (19) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

2026 අගෝස්තු (20) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.