Local news

කුදලාගෙන ආ රත්මලානේ සයිමා වමාරයි.. දුම්බරින් බූස්සට

කුදලාගෙන ආ රත්මලානේ සයිමා වමාරයි.. දුම්බරින් බූස්සට

පසුගියදා මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝගය මත පේරාදෙණිය පොලීසියේ රඳවාගෙන මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.

අනතුරුව සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන (25) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරු විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර බස් රථයකින් එදින රාත්‍රියේ බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු (18) සිට (21) දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

2026 අගෝස්තු (18) අඟහරුවාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව, ප.ව 5.00 ට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතය.

ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමය නියමිතව තිබේ.

2026 අගෝස්තු (19) බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා මුදල් පනත යටතේ යෝජනා සම්මතය (මෙම යෝජනාව 2026.08.07 දින නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 4 දරන න්‍යාය පුස්තක‍ය හා සම්බන්ධ අංක 4 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

2026 අගෝස්තු (20) බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.

දරුවන්ට හිංසා කරන දෙමාපියන්ට සිරදඬුවම්

දරුවන්ට හිංසා කරන දෙමාපියන්ට සිරදඬුවම්

මේ වනවිට ළමා හිංසනය සම්බන්ධව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා මානසිකව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි එලෙස ඉහළ ගොස් ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව මසකට පැමිණිලි 600ත් 1,000ත අතර සංඛ්‍යාවක් ලැබෙන බව එම අධිකාරියේ නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

මෙවැනි වැරදිවල නිරතවන මව්පියන්ට, දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 2ට වැඩි අවුරුදු 10ට අඩු සිරදඬුවමක් ලබාදීමට හැකි බවද නීතිඥ සජීවනී අබේකෝන් සඳහන් කළාය.

අධික උණුසුම හමුවේ රෝගින් වාර්තා වීම ඉහළට.. ජනතාවට අනතුරු අඟවයි

අධික උණුසුම හමුවේ රෝගින් වාර්තා වීම ඉහළට.. ජනතාවට අනතුරු අඟවයි

අද (14) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අනතුරු ඇගවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

එනිසා වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එළිමහනේ අධික ලෙස වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත් වැඩිපුර ජලය පානය කරන ලෙසත් වැඩබිම්වල සේවය කරන්නන් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා ළමුන්, වැඩිහිටි පුද්ගලයින් සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර පවතින උණුසුම් කාලගුණයත් සමග මානසික රෝගින්  වාර්තා වීම ඉහල ගොස් ඇතැයි ගාල්ල ජාතික රෝහලේ මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.

විශාදය, කාන්සාව වැනි රෝගද උශ්ණත්වය ඉහල යාමත් සමග වාර්තා වන බවද මානසික රෝග විශේෂඥ රූමී රූබන් සඳහන් කරයි.

අලුත් වෙනසකින් ව්‍යාපෘති 100ක් අද සිට අරඹයි

අලුත් වෙනසකින් ව්‍යාපෘති 100ක් අද සිට අරඹයි

අද (14) දිනයේ සිට දිවයින පුරාම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙහෙවිමෙන් රුපියල් මිලියන 2500ක ආදායම් උත්පාදන සංවර්ධන ව්‍යාපෘති මලාවක් ආරම්භ කර ඇත.

“පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිත අතර දේශීය ආර්ථිකය සහ සාමාජීය තත්ත්වය ශක්තිමත් කිරීම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි පලමු වැඩසටහන රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ සහ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී අද පැවැත්වේ.

මේ යටතේ කායවර්ධන මධ්‍යස්ථාන,වෙළද සංකිර්ණ,කොන්ක්‍රිට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක බංගලා, නිවාඩු නිඛේතන, වාහන සේවා මධ්‍යස්ථාන, යන ආදි වශයෙන් ව්‍යපෘති ආරම්භ කෙරෙනු ඇති.

ක්ෂේත්‍ර ගණනාවකට අයත් ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් එම ආදායම් උත්පාදන වැඩසටහනට ඇතුළත් වේ.

ඉදිරියේදී විදුලි කප්පාදුවක්.?

ඉදිරියේදී විදුලි කප්පාදුවක්.?

ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවේ යැයි කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

විපක්ෂයේ ඇතැමුන් සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් රටේ ජනතාව අනියත බියක් ඇතිකර නොගතයුතු බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

එනිසා ගල්අඟුරු හිඟතාවයක් හේතුවෙන් ඉදිරියේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවත් එවැනි ප්‍රකාශ අසත්‍ය බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

සුළං බලාගාර මඟින් කිලෝ වොට් 400ක ධාරීතාවක් ඉදිරි වසර තුළ ජාතික පද්ධතියට එක්කර ගැනීමට නියමිත බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මේ අතර විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇත.

දිවා කාලයේ සූර්ය බල පද්ධති මඟින් නිපදවන අතිරික්ත විදුලිබලය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේදී අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට නැවත මුදාහැරීමට නියමිතය.

තෙල් මිලේ වෙනසක්

තෙල් මිලේ වෙනසක්

අද (14) දින ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලේ වෙනසක් සිදුව ඇත.

ඒ අනුව BRENT බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.02ක් ලෙස සටහන්ව ඇත.

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.25ක් ලෙස සටහන්ව ඇත.

MURBAN බොරතෙල් බැරලයක මිල ඩොලර් 89.87ක් ලෙස සටහන්ව ඇත.

මහ පාරේ සිගිති ආතල් අවසන්.. පොලීසිය වේවැල අතට ගනී

මහ පාරේ සිගිති ආතල් අවසන්.. පොලීසිය වේවැල අතට ගනී

අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

මුල් ආකෘතිය වෙනස් කර, ශබ්දය වෙනස් කළ සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී.ජේ. සේනාධීර සඳහන් කරයි.

යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බවත් එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් සඳහන් කළේ,

“ලියාපදිංචි නොකළ ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි, ශබ්දය වෙනස් කරලා තියෙන, මුල් ආකෘති වෙනස් කරලා තියෙන යතුරුපැදි භාරයට ගන්න කියලා රථ වාහන නිලධාරීන්ට අපි උපදෙස් දීලා තියෙන්නේ.

අපි දැක්ක දෙයක් තමයි කණ්ඩායමක් වශෙයෙන් යතුරුපැදි පදින අය අඩුම වශයෙන් මත් පෙති හරි පාවිච්චි කරලා නැත්නම් ගංජා, නැත්නම් අයිස්, නැත්නම් කොකේන් ඒ වගේ මත්ද්‍රව්‍ය පාවිච්කරලා විකෘත්ති මානසිකත්වයකින් තමයි මේ යතුරුපැදි පදින්නේ.

විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පණිවුඩය තමයි, අපි රථ වාහන නිලධාරීන්ව දැනුම්වත් කරලා තියෙන්නේ කිසිම සමාවක් දෙන්න එපා මෙවැනි නොහික්මුණු විනය ගරුක නොවන, නීති ගරුක නොවන තරුණයෝ නිසා මුළු සමාජයම අනතුරට ලක්වෙන්න දෙන්න එපා. ඒ නිසා අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා.

වයස අවුරුදු 18 අඩු කෙනෙකුට එහෙම නැතිනම් 18 වැඩි කෙනෙකුට රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට වාහනයක් දෙනවානම්, විශේෂයෙන් අපි දකිනවා දෙමාපියෝ වාහන දෙනවා පැහැදිලිවම අපි ස්ථානාධිපතිවරුන්ට කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අය පියා හෝ කමන් නෑ ඉදිරිපත් කරන්න.”      

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිට වුණාද.? සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිට වුණාද.? සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අද (14) දිනයට පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් සිසුන්ට විශේෂ දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බවත් පළවන අසත්‍ය ප්‍රකාශ වලට කලබල නොවී සුපුදුරු පරිදි කාල සටහනට අනුව තම විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සියලුම සිසු සිසුවියන්ට දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ,

“නියමිත ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැත. ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු අවස්ථාවක සිදුනොවී ඇති බව අවධාරණය කරමි.

ව්‍යාජ තොරතුරු වලින් කලබලයට පත්නොවී නියමිත පරිදි විභාගයට මුහුණ දෙන්න. නියමිත කාලසටහන ‌පරිදි සියලුම විභාග මධ්‍යස්ථාන වල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථාන වලට පැමිණ, විභාගය සඳහා මුහුණ දෙන්න.”

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

රටේ ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් අදියරේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“පාස්කු නඩුවේ චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණ වල ඉන්න ඉහළම විනිසුරු තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. ඔහුට තමයි ඊළග, ඔබතුමාලා කියන පරිදිම අභියාචනාධිකරණයට යාමට අවසථාව තියෙන්නේ.

මා හොයලා බලපුවාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක්. එනිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා අභියාචනාධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා.

එතුමා පත් නොකර හිටියොත් එතුමා විශේෂ නඩුවක වාඩිවීම. එතුමාට අසාධාරණ ලක්වන කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළග ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට බලපෑම ඇති නොවෙන්නේ කියලා.

මම ඒකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවෙලා තියනවා. ඒ දෙක අතර සංසන්දනය කර බැලුවාම. එනිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්, අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට ගෙනයාම නොසුදුසු කියලා මම කල්පනා කරා.

එනිසා, කිසිදු, මම ඉතා අවංකව කියන්නේ, පුද්ගලයෙක් යන තෙක් බලාගෙන, පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි. පුරප්පාඩු තිබුණ සමාජයේ විශාල අවදානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳව අවසන්, මම දැක්කා අදත් වාර්තාවෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තා පළවෙලා තිබුණා.

මම හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තියන හොදම නිදර්ශකය කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකය ඒක කියලා මම හිතනවා. මට ඕන්නම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා.

චෝදනා 23,000ක්. සාක්ෂිකරුවෝ 3,000ක්. කවුද ඊළගට මේ නඩුව ඇවිල්ලා අහන්නේ. කවදාද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට. ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදුවෙන බව මා දන්නවා. ඒක සාපේක්ෂයි.”

නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.