Local news

මහ රෑ වෙඩි තැබීමක්.. අයෙක් මරුට

මහ රෑ වෙඩි තැබීමක්.. අයෙක් මරුට

ඊයේ (15) රාත්‍රියේ ගල්කිස්ස, හුළුදාගොඩ පාර ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලීසිය සැක කරයි. 

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට ද පොලීසිය සැක පළ කරයි.

ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්

ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක්

අද (15) දින අලුයම ඉන්දුනීසියාවේ සිදුවූ මාරාන්තික භූකම්පනයෙන් මියගිය ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් අද පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුතු තවත් ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මින් ඉදිරියට දින දෙකයි.. සෙනසුරාදා රාජකාරිවලින් ඉවත් වෙයි

මින් ඉදිරියට දින දෙකයි.. සෙනසුරාදා රාජකාරිවලින් ඉවත් වෙයි

අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලදාරීන් තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කරයි.

ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කළේ,

“අපි තීරණය කරලා තියෙනවා සංගමයක් විදිහට අනෙකුත් සංගම්වලටත් අපි ආරාධනා කළා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත් වෙන්න. ඒ අනුව කිසිදු අමතර දීමනාවක් නොලබා අපේ නිවාඩු කැප කිරීමෙන් කරන ඒ කාර්යාල දිනය අපි ඉවත් කරනවා.

ඒ වගේම එදාට අපි ක්ෂේත්‍ර රාජකාරි කරන්නේ නෑ. ඒ අනුව සෙනසුරාදා කාර්යාල දිනය අපි වර්ජනය කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් මින් ඉදිරියට නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින පමණයි වසමේ කාර්යාල තුළ රැඳී සිටින්නේ.”

රටම කතා කරපු සෙව්වන්දි වැලිකඩින් එළියට

රටම කතා කරපු සෙව්වන්දි වැලිකඩින් එළියට

සංවිධානාත්මක අපරාධකරු ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ඉෂාරා සෙව්වන්දිගේ ආරක්ෂාව සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉෂාරා සෙව්වන්දි පසුගිය (10) වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

නාවික හමුදා අධිවේගී යාත්‍රාවක් අනතුරට.. නිලධාරීන් 11ක් රෝහලේ

නාවික හමුදා අධිවේගී යාත්‍රාවක් අනතුරට.. නිලධාරීන් 11ක් රෝහලේ

අඟුලානට ආසන්න මුහුදේදී නාවික හමුදාවට අයත් අධිවේගී ප්‍රහාරක ඩෝරා යාත්‍රාවක් හදිසියේම අනතුරට ලක්ව ඇත.

අනතුරුව නාවික හමුදාව සිදු කරන ලද දැනුම්දීමක් මත අදාළ යාත්‍රාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ලබාදී ඇත.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ නාවික හමුදාව එක්වී අනතුරට පත් යාත්‍රාවේ සිටි 11දෙනෙකු මුදාගෙන මේ වනවිට රෝහල් ගතකර ඇත.

මෙම මුදාගැනීම සඳහා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යොදවා ඇත.

ජපානය බියට පත්කළ පුටින්ගේ හදිසි සංචාරය

ජපානය බියට පත්කළ පුටින්ගේ හදිසි සංචාරය

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කුරිල් දාමයේ දූපත් හතරෙන් එකක් වන ඉටුරුප් දූපතේ සංචාරයක නිරත වී ඇති අතර රුසියානු ජනාධිපතිවරයෙක් මෙම දූපතට පුද්ගලිකව සිදුකළ පළමු සංචාරය මෙය වේ.

මෙම ඉටුරුප් දූපතට රුසියාව සහ ජපානය හිමිකම් කියන අතර මොස්කව් සහ ටෝකියෝ අතර මෙතෙක් නිල සාම ගිවිසුමක් අත්සන් කර නොමැත.

කුරිල් දූපත් උතුරු ජපානයේ හොක්කයිඩෝ සහ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපය අතර පිහිටා ඇති අතර දකුණු කෙළවරේ පිහිටි දූපත් හතරක් ජපානය විසින් හිමිකරගෙන ඇති අතර ඒවා උතුරු ප්‍රදේශ ලෙස හැඳින්වේ.

රුසියානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ජපානය දැඩි ලෙස විරෝධය පළකර ඇත.

මෙම දූපත් ඉතිහාසය මෙන්ම ජාත්‍යන්තර නීතිය මත පදනම්ව ජපානයට හිමි භූමියක් වන බැවින් ජපාන රජය මෙම සංචාරයට දැඩි ලෙස විරෝධය පළ කරන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි සඳහන් කරයි.

තවද රුසියානු ජනාධිපතිවරයාගේ මෙම හදිසි සංචාරය සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරිය දැඩි ලෙස විරෝධය පළකර ඇත.

“මෙම සංචාරය ජපන් ජනතාවගේ හැඟීම් රිදවයි. උතුරු ප්‍රදේශ පිළිබඳ ජපානයේ ස්ථාවර ස්ථාවරයට නොගැලපෙයි. රුසියානු පාර්ශවය මෙම කාරණයේ බරපතලකම ඉතා බැරෑරුම් ලෙස සලකනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

කාලගුණික වෙනස්වීම් හේතුවෙන් දරුවන් අනතුරේ

කාලගුණික වෙනස්වීම් හේතුවෙන් දරුවන් අනතුරේ

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහ තද වැසි සහිත කාලගුණික වෙනස්වීම් හේතුවෙන් දරුවන් අතර ආකාර දෙකකින් රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

අධික උණුසුම හේතුවෙන් දරුවන්, වැඩිහිටියන් සහ ගර්භනී මව්වරුන් විජලනයට පත්වීමේ හැකියාව පවතින බවත් එනිසා වැඩිපුර ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කිරීම සුදුසු බවත් දරුවන්ට ජලය ලබාදීමේදී ඔවුන්ගේ ශරීර බරට සරිලන ලෙස ජලය ලබාදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

මෙම කාලයේ පාචන තත්ත්වයන් පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් සෑම විටම දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ පිරිසිදු ආහාර පමණක් ලබාදීමට දෙමාපියන් වගබලා ගත යුතු බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

ජලය පානය නොකර එළිමහනේ රැකියාවල නිරත වීම, විනෝද චාරිකා යෑම ආදිය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන්, ක්ලාන්තය, වලිප්පුව වැනි සංකූලතා ඇතිවිය හැකි අතර එය මරණයට හේතු විය හැකි බරපතළ තත්ත්වයක් බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

තවද දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර සිටීමෙන් වකුගඩු ආබාධ ඇතිවීමේ ඉහළ ඉඩකඩක් පවතින බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති බැවින් නිවසින් බැහැරට යන අවස්ථාවන් වලදී ජල බෝතලයක් රැගෙන යන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

තවද පැණි බීම සහ කෙටි ආහාර දරුවන්ට ලබාදීමෙන් වළකින ලෙසත් ඒ වෙනුවට දෙහි, නාරං, දොඩම්, තැඹිලි වතුර, කැඳ වර්ග සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග පානය කිරීමට යොමු වන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් හෙළිවෙයි

බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි 30 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්ගතව සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස් මල්ලි’ නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සැලසුම් කරමින් සිටි බව ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත.

මම සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලී සමග පැවැත්වූ සංවාදවල හඬපට සොයාගත් බවත් නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට දින තුනකට පෙර, ඔහු ඇප මත මුදා හැර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු, නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ ද සමීපතමයෙකි.

කුදලාගෙන ආ ශිරාන් බාසික් කවුද.?

කුදලාගෙන ආ ශිරාන් බාසික් කවුද.?

අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇත.

ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

අත්අඩංගුවට ගත් ‘ශිරාන් බාසික්’ සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද විමර්ශන සඳහා එම කාර්යාංශය වෙත භාරදී ඇත.

‘ශිරාන් බාසික්’ මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව සැලකේ.

48 හැවිරිදි ‘ශිරාන් බාසික්’ ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබුණි.

ඉරාන – අමෙරිකා යුද්ධයේදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිල වල ඡායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගැනීමේ වරද යටතේ ‘ශිරාන් බාසික්’ පසුගිය මැයි (26) වැනි දින ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ශිරාන් බාසික්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා පවතින බව පොලීසිය සඳහන් කරයි.

තවද ‘ශිරාන් බාසික්’ මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳව ඉදිරීයේදී විමර්ශන සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ නියෝග සහ උපදෙස් පරිදි අත්අඩංගුවට ගත් ‘ශිරාන් බාසික්’ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

ගංජා ගැසූ ගුවන් නියමුවා උඩුගුවනේදී පිස්සු නටයි

ගංජා ගැසූ ගුවන් නියමුවා උඩුගුවනේදී පිස්සු නටයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නියමුවන් තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ Air India සමාගම විසින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

පුකෙට් සිට දිල්ලි බලා පියාසර කළ ගුවන් යානයක් ක්ෂණිකව පහළට ඇදී යාමේ සිදුවීමක් හේතුවෙන් Air India සමාගම මෙම තීරණය ගෙන ඇත.

එහි සිටි ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවා තහනම් ද්‍රව්‍ය පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී ඔහු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධිය වන අවස්තාවේදි ගුවන් යානයේ මගීන් 137 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු සිට ඇති අතර එහිදී මගීන් 20 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වන තුරු එම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම රාජකාරිවලින් ඉවත් කර ඇත.

ඒ අනුව ගුවන් සමාගමේ ගුවන් සේවා අංශයක් වන Air India Express හි නියමුවන්ට ද එම තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම පරීක්ෂණ Air India ඇකඩමියේ පුහුණු සැසිවලට සමගාමීව මෙන්ම, ගුවන් නියමුවන් දැනුවත් කරන මධ්‍යස්ථාන සහ කාර්යාල ඇතුළු තවත් ස්ථාන කිහිපයකදීම සිදු කරයි.