Local news

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාදීම සඳහා නාමල් රාජපක්ෂ අද (04) දින අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දූෂණ විරෝධී පනත යටතේ ආරම්භ කළ විමර්ශනයකට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු (12) වනදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටී අතර පසුව ඇපමත මුදා හැරුණි.

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වශයෙන් නම්කර සිටින ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත.. අවසන් තීන්දුව ජනපතිට සහ දියවන්නාවට

දූෂණ විරෝධී පනත් කෙටුම්පත.. අවසන් තීන්දුව ජනපතිට සහ දියවන්නාවට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අද (04) දින අවසන් කළේය.

එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15ක් ගොනු කර තිබූ අතර ඒවා දින දෙකක් තිස්සේ ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග විය.

අද (04) දින වාචික දේශන ඉදිරිපත් කිරිම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා සදූදා පස්වරු 12.00 ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියම කළේය.

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලි කප්පාදුව ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් පරිදි ගල්අඟුරු පවතින බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

මෙට්‍රික්ටොන් 60,000ක ගල්අඟුරු නැවක් අද (04) දිනයේ මෙරටට පැමිණෙන බවත් එනිසා ගල්අඟුරු පදනම් කරගනිමින් කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තිබෙන බවත් ඉදිරියේදී ගල්අඟුරු හිගතාවයක් නොමැති බවත් එනිසා විදුලි කප්පාදුවක් සිදු නොවන බවද අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කරයි.

අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ,

“2026 – 2027 කාලය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කරලා පළමු නැව, අපි බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් (12) වැනිදා බලාගරය වෙතට ලගාවෙයි කියලා.

ඒ අනුව බලාගාරය වෙත පැමිණි පසු අඛණ්ඩව ගල්අඟුරු ලබාගැනිම සඳහා සැලැස්මක් තිබෙනවා. ඒ අනුව කිසිම විදියකින් අපට ගල්අඟුරු පිළිබඳව, හිඟතාවය පිළිබඳව ගැටළුවක් නැත.

අඛණ්ඩව සැපයීම සඳහා ප්‍රමාණවත් ගල්අඟුරු නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සතුව පවතිනවා. විශේෂයෙන් පහුගිය කාලයේ ගෙනාපු ගල්අඟුරු වල යම් ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා.

අපි බලාපොරොත්තු වෙනවා තවත් ගල්අඟුරු නැවක් නොරොච්චෝලේ වෙත ලගාවෙයි කියලා. ඒ ලගාවීමත් එක්ක බලාපොරොත්තු වෙනවා එතන මෙට්‍රික්ටොන් 60,000ක ප්‍රමාණයක්.

එනිසා නොරොච්චෝලේ බලාගාරයට ප්‍රමාණවත් ගල්අඟුරු සැපයුමක් තියෙනවා. ගල්අඟුරු හිගතාවය නිසා කිසිම විදියකින් විදුලිය කපා හැරීමක් කරන්න අපට සිද්ධ වෙන්නේ නෑ.

ජනතාවට සහතික වෙනවා, ගල්අඟුරු හිඟවීම නිසා විදුලිය කපාහැරීමක් සිද්ධ වෙන්නේ නෑ. අඛණ්ඩව විදුලිය සැපයීම අපි සහතික කරනවා.”

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ.. ඔබගේ දරුවා ආරක්ෂිතද.?

සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ ජීවිත අනතුරේ.. ඔබගේ දරුවා ආරක්ෂිතද.?

ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් වසරක කාලයක් තුළ ඩිජිටල් අවකාශයන් හරහා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

ලොව රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් මිලියන 20කට ආසන්න පිරිසක් එලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත.

අප්‍රිකාව, ආසියාව, ලතින් අමෙරිකාව සහ නැගෙනහිර යුරෝපය ඇතුළු රටවල අවුරුදු 12ත් 17ත් අතර අන්තර්ජාලය භාවිත කරන ළමුන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වැඩි පිරිසක් පසුගිය වසර තුළ එක් ආකාරයක ලිංගික අපයෝජනයකට මුහුණ දී ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

ළමුන් මිලියන 15කට පමණ අනවශ්‍ය ලිංගික අන්තර්ගතයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මිලියන 9ක් ලිංගික සංවාද වලට හෝ ලිංගික ඡායාරූප හුවමාරු කිරීමේ බලපෑම්වලට ලක්ව ඇති බවත් තවත් ළමුන් මිලියන 4ක පමණ ලිංගික ඡායාරූප අවසරයකින් තොරව බෙදාහැර ඇති බවද අනාවරණය වී ඇත.

එම සිදුවීම් වලින් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේ Facebook, WhatsApp, Instagram, Snapchat සහ TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා වන අතර අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිතව සිදුවූ සිදුවීම් ප්‍රමාණය සියයට 14ක් පමණ වන බවද සඳහන් කරයි.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ලිංගික අන්තර්ගතයන් සම්බන්ධයෙන්ද වාර්තාව අවධානය යොමු කර ඇති අතර දත්ත එක්රැස් කළ රටවල් 9කදී ළමුන් මිලියන 1.1ක් පමණ තමන් නිරූපණය වන කෘත්‍රිම බුද්ධිය මගින් නිර්මාණය කළ ලිංගික ඡායාරූප හෝ වීඩියෝ නිර්මාණය කර ඇත.

මෙවැනි සිදුවීම්වලින් අඩකට වැඩි ප්‍රමාණයකට ළමයා දැන සිටි පුද්ගලයෙකු සම්බන්ධ වී ඇති බවත් තවත් සියයට 38ක සිදුවීම්වලදී ළමයා පළමුව අපයෝජකයා හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

තාක්ෂණය ඔස්සේ ලිංගික සූරාකෑමට ලක්වූ ළමුන් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ තමන්ටම හානි කරගැනීමේ හැසිරීම් වාර්තා වීම අනෙකුත් ළමුන්ට සාපේක්ෂව සිව් ගුණයකින් පමණ වැඩි බවද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සඳහන් කරයි.

මෙම පර්යේෂණය 2020 සිට 2025 දක්වා කාලය තුළ රටවල් 21ක අන්තර්ජාලය භාවිත කරන ළමුන් 21,000කට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් සිදුකර ඇති අතර එය මෙවැනි ආකාරයේ සිදුකර ඇති විශාලතම අධ්‍යයන වලින් එකක් බව UNICEF සඳහන් කරයි.

ළමා ආරක්ෂණ ක්‍රමවේද ශක්තිමත් කිරීම, නව ආකාරයේ අපයෝජන ඇතුළත් වන පරිදි නීති යාවත්කාලීන කිරීම සහ වාර්තා කිරීමේ හා ළමා ආරක්ෂණ පද්ධති වැඩිදියුණු කරන ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එම රටවල රජයන්ගෙන් සහ තාක්ෂණික සමාගම් වලින් ඉල්ලා ඇත.

ධූරයෙන් නෙරපූ දේශබන්දුට අධිචෝදනා

ධූරයෙන් නෙරපූ දේශබන්දුට අධිචෝදනා

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත.

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මාතර මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇත.

2023 දෙසැම්බර් (30) වැනිදා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුමක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අයත් පොලිස් නිලධාරීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයකින් වැලිගම දක්වා ගොස් මෙම වෙඩි තැබීම කර තිබුණි.

වැලිගම හෝටලයට වෙඩි තබා පලායමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගමන් ගත් ව්‍යාජ අංක සවිකළ වෑන් රථයට නතර කරන ලෙස වැලිගම පොලීසියේ කැබ් රථයේ සිටි නිලධාරීන් අණ කළද එම වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබුණි.

එහිදී වැලිගම පොලීසියේ නිලධාරීන් සමඟ කැබ් රථයේ රාජකාරියේ සිටි හමුදා නිලධාරියකු සැකකටයුතු වෑන් රථයට වෙඩි තබා ඇති අතර එහිදී වෑන් රථයේ සිටි පොලිස් නිලධාරියකු වෙඩි වැදී මියගොස් තිබුණි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

පොල්ගොල්ල පිහිටි මහින්ද රාජපක්ෂ රගහලට පුටු මිලදී ගැනීමේදී නියමිත ක්‍රියාවලියට පටහැනිව කටයුතු කිරීමෙන් රජයට රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දාහතරක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මකයි.

විශ්වාසය කඩ කරමින් ගැබිණි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි

විශ්වාසය කඩ කරමින් ගැබිණි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කරයි

26 හැවිරිදි ගැබිණි කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.⁣

කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී ඊයේ (03) දින දහවල් තියුණු ආයුධයකින් එම කාන්තාවට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ කාන්තාව කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය කාන්තාව සිය ස්වාමිපුරුෂයාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර එහිදී පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් ඉන්ධන මිල ගණන් අඩු කරයි

තවත් ඉන්ධන මිල ගණන් අඩු කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කිරීමට පියර ගෙන ඇත.

ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

තවද දැවිතෙල් ලීටරයක මිල රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් අඩු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

අද (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් අඩු කරන බව සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

ජනපති අනුර පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවයි

ජනපති අනුර පොලිස් නිලධාරීන්ට අනතුරු අඟවයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන පොලිස් නිලධාරීන් ඉතා අතළොස්සක් සිටින බවට වාර්තා වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා වහාම ජාවාරම්කරුවන්ට මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන ලෙසට ආරාධනා කරන බවත් එසේ නොමැති නම් වහාම නිල ඇඳුම අත්හරින ලෙසද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එසේත් නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම බව අපි විශ්වාස කරනවා. එය ඔබට රාජකාරීමය වශයෙන්ම පැවරී තිබෙනවා.

එහෙත් අපේ හදවතේ තෙතමනයක් තිබෙන මිනිසුන් ලෙස රාජකාරියෙන් ඔබ්බට යන සමාජ වගකීමක් ලෙසද සලකා ඒ වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා.

මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා දායකවන ලෙස, මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරන නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා. ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වි සිටින නිලධාරීන් සිටිනවා.

තවත් පිරිසක් මිලදි ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න.

එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිලඇඳුම් ඉවත් කිරිමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනයභාර නිලධාරීන් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.”

නාමල්ට අද මොකද වෙන්නේ.. අත්අඩංගුවට.?

නාමල්ට අද මොකද වෙන්නේ.. අත්අඩංගුවට.?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (04) දින පෙනී සිටීමට නියමිතව ඇත.

ඒ අනුව අද දින පෙරවරු 9.00ට නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා බලඇණියක් ස්ථාපිත කිරීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.

මේ අතර ලබන (12) වැනිදා අනුරාධපුරයේදි පැවැත්වීමට නියමිත රැස්වීමට පෙර තමන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කිරීමට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම හේතුවෙන් ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය මගින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවද මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Follow WhatsApp Channel