Local news

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිට වුණාද.? සිසුන්ට විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිට වුණාද.? සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අද (14) දිනයට පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් සිසුන්ට විශේෂ දැනුම්දීමක් කර ඇත.

ඒ අනුව කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බවත් පළවන අසත්‍ය ප්‍රකාශ වලට කලබල නොවී සුපුදුරු පරිදි කාල සටහනට අනුව තම විභාගයට මුහුණ දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සියලුම සිසු සිසුවියන්ට දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ,

“නියමිත ප්‍රශ්න පත්‍ර අඩංගු පැකට්ටුවක් කිසිදු අයුරකින් විවෘත කිරීමක් හෝ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකින් බැහැරට නිකුත් කිරීමක් සිදුකර නොමැත. ප්‍රශ්න පත්‍ර පිටවීමක් කිසිදු අවස්ථාවක සිදුනොවී ඇති බව අවධාරණය කරමි.

ව්‍යාජ තොරතුරු වලින් කලබලයට පත්නොවී නියමිත පරිදි විභාගයට මුහුණ දෙන්න. නියමිත කාලසටහන ‌පරිදි සියලුම විභාග මධ්‍යස්ථාන වල විභාගය පැවැත්වෙන බැවින්, සියලුම අපේක්ෂකයන් තමන්ට නියමිත කාලසටහන අනුව මධ්‍යස්ථාන වලට පැමිණ, විභාගය සඳහා මුහුණ දෙන්න.”

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු නඩුව අවසන් අදියරේ

රටේ ජනතාව යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුව අවසන් අදියරේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“පාස්කු නඩුවේ චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අද මහාධිකරණ වල ඉන්න ඉහළම විනිසුරු තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. ඔහුට තමයි ඊළග, ඔබතුමාලා කියන පරිදිම අභියාචනාධිකරණයට යාමට අවසථාව තියෙන්නේ.

මා හොයලා බලපුවාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙලෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක්. එනිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමා අභියාචනාධිකරණයට පත් කරන්න ඕන. ඔබතුමාලා දන්නවා එහෙනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා.

එතුමා පත් නොකර හිටියොත් එතුමා විශේෂ නඩුවක වාඩිවීම. එතුමාට අසාධාරණ ලක්වන කරුණක්ද කියලා මම කල්පනා කරා. අන්න ඒක තමයි බලපෑම. ඊළග ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට බලපෑම ඇති නොවෙන්නේ කියලා.

මම ඒකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණ⁣ය ක්‍රමානුකූලව ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. අභියාචනාධිකරණය තමයි ගැටලුව මතුවෙලා තියනවා. ඒ දෙක අතර සංසන්දනය කර බැලුවාම. එනිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්, අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණ⁣යට ගෙනයාම නොසුදුසු කියලා මම කල්පනා කරා.

එනිසා, කිසිදු, මම ඉතා අවංකව කියන්නේ, පුද්ගලයෙක් යන තෙක් බලාගෙන, පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි. පුරප්පාඩු තිබුණ සමාජයේ විශාල අවදානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳව අවසන්, මම දැක්කා අදත් වාර්තාවෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තා පළවෙලා තිබුණා.

මම හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ තියන හොදම නිදර්ශකය කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකය ඒක කියලා මම හිතනවා. මට ඕන්නම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා.

චෝදනා 23,000ක්. සාක්ෂිකරුවෝ 3,000ක්. කවුද ඊළගට මේ නඩුව ඇවිල්ලා අහන්නේ. කවදාද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට. ඒක තමයි ඒක පිළිබඳ තිබුණේ. නමුත් ඒක විසින් යම් කෙනෙකුට සාධාරණයක් ඉටු කිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදුවෙන බව මා දන්නවා. ඒක සාපේක්ෂයි.”

නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

පුංචි දැරියකට අමානුෂික ලෙස පහරදී මහ පාරේ දමා යයි

පුංචි දැරියකට අමානුෂික ලෙස පහරදී මහ පාරේ දමා යයි

අවුරුදු හතරක් පමණ වයසැති දැරියකට අමානුෂික ලෙස පහරදී වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක දමාගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම දැරිය එම ස්ථානයේ දමාගොස් ඇති බවට පොලීසිය සැක කරන අතර එම දැරිය රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව වත්තේගම පොලීසිය සඳහන් කරයි.

රුසියාවේ ප්‍රධාන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාවේ ප්‍රධාන වරායකට යුක්‍රේනයෙන් දැවැන්ත ප්‍රහාර

රුසියාවේ ‘නොවොරොසිස්ක්’ (Novorossiysk) කළු මුහුදු වරායට යුක්‍රේනය විසින් දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත (grain terminals) දෙකකට හානි සිදුවී ඇති අතර එහි වැඩකටයුතු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු මියගොස්, තවත් 24 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉබෝලා වසංගතය ලොව දරුණුතම තත්ත්වයක

ඉබෝලා වසංගතය ලොව දරුණුතම තත්ත්වයක

ඉබෝලා වසංගතය මෙතෙක් ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

වත්මන් ව්‍යාප්තියේ වේගය අඛණ්ඩව පැවතුනහොත්, අවම වශයෙන් පුද්ගලයින් 11,000කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසංගත සමය පවා මෙමඟින් ඉක්මවා යනු ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මෙම වසරේදී වසංගතය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 4,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 2,000කට වඩා සිදුව ඇත.

මෙම වසංගතය මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද, එයට මාස තුනකට පමණ පෙර, එනම් පෙබරවාරි මාසයේ සිට වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අනාවරණය කර ඇත.

මෙම වසරේ වසංගතයට හේතු වී ඇත්තේ මීට පෙර 2007 සහ 2012 යන වර්ෂවලදී පමණක් වාර්තා වී ඇති දුර්ලභ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නම් ඉබෝලා විශේෂයයි. 

මෙම වෛරස් විශේෂය සඳහා ලොව මෙතෙක් අනුමත කරන ලද කිසිදු එන්නතක් හෝ පිළිගත් ප්‍රතිකාර ඖෂධයක් නොමැත.

කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම වෛරසය සඳහා නව එන්නතක් නිර්මාණය කර ඇති අතර එහි පළමු අදියරේ මිනිස් අත්හදා බැලීම් සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අංශයෙන් අවසර ලැබී ඇත.

විදෙස් රටවල හැංගිලා ඉන්න අපරාධකරුවන් 93ක් කුදලාගෙන එන්න රතු නිවේදන

විදෙස් රටවල හැංගිලා ඉන්න අපරාධකරුවන් 93ක් කුදලාගෙන එන්න රතු නිවේදන

මේ වනවිට විදෙස් රටවල සැඟවී සිටින, මෙරට අපරාධකරුවන් 93 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදන (Red Notices) නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

පසුගිය 2024, 2025 සහ මෙම වසරේ ගතවූ කාලය තුළ මෙම රතු නිවේදන ඔස්සේ සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

පොලිස්පතිවරයාගේ සෘජු මැදිහත්වීම මත තවත් ප්‍රමුඛ පෙළේ නමගිය අපරාධකරුවන් 35 දෙනෙකු මෙරටට රැගෙන ඒමට හැකිවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් සඳහන් කරයි.

මෙරටට ගෙන්වා ගන්නා ලද සැකකරුවන් විසින් නීති විරෝධී ලෙස උපයාගත් වාහන, නිවාස, රත්‍රන් සහ ඉඩම් ඇතුළු විශාල දේපොළ ප්‍රමාණයක් රාජසන්තක කිරීමේ විශේෂ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.

අද (13) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මේ බව සඳහන් කරයි.

දැවැන්ත පෙරළියක්.. ජනතාවට අඩු මිලට විදුලිය

දැවැන්ත පෙරළියක්.. ජනතාවට අඩු මිලට විදුලිය

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුකූලව, දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම අඩු පිරිවැය සහිත පුනර්ජනනීය බලශක්තිය හරහා සම්පාදනය කිරීමට රජය පියවර ගෙන ඇත.

දහවල් කාලයේ ලැබෙන අතිරික්ත සූර්ය බලශක්තිය නවීන Battery Energy Storage System (BESS) බැටරි පද්ධතිවල ගබඩා කර, රාත්‍රී කාලයේ (Night Peak Time) ජාතික පද්ධතියට මුදාහැරීම මඟින් ජනතාවට ලබාදෙන විදුලි ඒකකයක මිල අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව පාරිභෝගිකයින් වෙත ලබාදෙන විදුලි ඒකක මිල අවම කිරීමේ අරමුණින් සියලු බලශක්ති මිලදී ගැනීම් විනිවිදභාවය ඉහලින් පවත්වාගෙන තරඟකාරී ප්‍රසම්පාදනයන් හරහා සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම (BESS) වැඩපිළිවෙළෙහි ප්‍රධාන පියවර 5කි.

  1. 160 MW / 720 MWh BESS:

දිවයින පුරා ග්‍රිඩ් උපපොළවල් 16 ක ස්ථාපිත කර මෙම සැප්තැම්බර් සිට ජාතික පද්ධතියට එක් කෙරේ.

  1. 250 MW / 1,000 MWh BESS:

ග්‍රිඩ් උපපොළවල් 19 ක් ආවරණය වන පරිදි සකස් කළ ජාත්‍යන්තර ලංසු කැඳවීම් මේ වන විට ආරම්භ කර ඇත.

  1. 150 MW / 600 MWh (භූමියේ ඉදිකළ සූර්ය බලාගාර සඳහා):

දැනට පවත්නා භූමි සූර්ය බලාගාර සඳහා ද BESS සපයා ගැනීමට අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

  1. වහල මත සූර්ය බලාගාර (>100 kW):

සැප්තැම්බර් මාසයේ සිට රාත්‍රී කාලයේ බලශක්තිය සැපයීම සඳහා BESS සපයා ගැනීමට තරඟකාරී ප්‍රසම්පාදනය ආරම්භ වේ.

  1. ගෘහස්ථ සූර්ය විදුලියෙන් අමතර ආදායමක්: BESS පද්ධති සඳහා මාර්ගගත ද්වාරයක් (Online Portal):

වහල මත සූර්ය පැනල සවිකර ඇති ගෘහස්ථ පාරිභෝගිකයින්ට, දහවල් කාලයේදී නිපදවෙන අතිරික්ත බලශක්තිය තම BESS (Battery Energy Storage System) පද්ධතිවල ගබඩා කරගෙන, රාත්‍රී අධික ඉල්ලුම පවතින වේලාවන්හිදී (Night Peak Time) මාර්ගගත ද්වාරයක් (Online Portal) හරහා තරඟකාරී මිල ගණන් යටතේ ජාතික පද්ධතියට මුදාහැරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ස්ථාපනය කරමින් පවතී.

අධික පිරිවැය සහිත හදිසි විදුලි මිලදී ගැනීම්වලට තිත තබමින්, විනිවිදභාවයෙන් යුතු තරඟකාරී ප්‍රසම්පාදනයන් හරහා ජනතාව වෙත සෘජු ප්‍රතිලාභ ලබාදෙයි.

බදු ගෙවන අයට දැනුම්දීමක් 

බදු ගෙවන අයට දැනුම්දීමක් 

ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු (20) වන දිනට පෙර ගෙවිය යුතු බවත් බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

චෙක්පතකින් හෝ බැංකු අණකරයකින් හෝ ගෙවීම් ඇණවුමකින් සිදු කරන ලබන ගෙවීමක් නියමිත දිනය පසුවී ලැබීම ද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලබන අතර ජූලි මාසය සඳහා වන වැට් වාර්තා භාරදීම අගෝස්තු මස (31) වන දින හෝ එදිනට පෙර සිදුකළ යුතුය. 

රඳවාගත් බදු අගෝස්තු මස (15) වෙනිදාට හෝ ඊට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසත් ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු (20) වෙනිදාට හෝ ඊට පෙර ගෙවිය යුතු බවද දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනාවැකි අලුත් කරමින් එල්-නිනෝ දරුණු වෙයි

අනාවැකි අලුත් කරමින් එල්-නිනෝ දරුණු වෙයි

වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර පළාතේත්, මොනරාගල සහ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එනිසා ජනතාව පහත උපදෙස් පිළිපදින ලෙසට දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එළිමහනේ ගැවසෙන්නේ නම් සැහැල්ලු ඇඳුම් භාවිත කිරීම / විටින් විට විවේක ගැනීම / හැකිතාක් ජලය පානය කිරීම / රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම.

දැනට පවතින මෙම වියළි කාලගුණික තත්ත්වය නිමා වී ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක්කේ එළඹෙන ඔක්තෝබර් මාසයේදී පමණ බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කරයි.

අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ,

“මේ වසරේ අපට තවම එල්නිනෝ තත්ත්වයේ උපරිම බලපෑමක් දැකගන්නට නැහැ. අගෝස්තු මාසයත් සමඟ එහි වර්ධනය අපට නිරීක්ෂණය කළ හැකියි. කෙසේ වෙතත්, නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි මාස වන විට මෙම එල්නිනෝ තත්ත්වය ප්‍රබල මට්ටමකට වර්ධනය වීමට 80%කට වඩා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එහි බලපෑම ලබන වසරේ අප්‍රේල් මාසය දක්වාම පවතිනු ඇති.”

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

“මම මෙතන හැමදාම ඉන්න ආවේ නෑ.. ඕන වෙලාවක යන්න ලෑස්තියි” නීතීඥ සංගමයට සැරට අමතයි

අවදානමක් නොගෙන වෙනසක් සිදුකළ නොහැකි බවත් රටේ ජනතාව වෙනුවෙන් තමන් එම අවදානම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එම අවදානම හමුවේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන පිටත්වෙලා යන්න තමා සූදානම් බවත් තමන් මේවා වල හැමදාම ඉන්න බලාගෙන ආපු මිනිහෙක් නොවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතනට පැමිණෙන්නේ. මම සැලකියයුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සාහ කරේ විවෘත මනසකින්. කෙසේ වුවත් අපේ රටේ, සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න. විවෘතයි.”

“දෙවනුව ඔබතුමාලා කියන්න පුළුවන් මේක නීතීඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ. තව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරය. තව කෙනෙකුට කියන්න පුළුවන් සුලුතරය. ඒක විවෘතයි.”

“තුන්වනුව මගේ ප්‍රවේශය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල. මම කිසිසේත්ම මගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගි කරගන්නේ නෑ.

උපුල් මහත්මයා කියපු අවධානම. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න වෙයි. “මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේව වල වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි”.

ඒ වගේම මම, මෙම වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නෑ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මම උදාහරණයක් කියන්නම්.

පාස්කු පරීක්ෂණය දියත් කරලා තියෙන්නේ බුද්ධි අංශ. මගේ ආරක්ෂාවට වග කියන්නෙත් ඔවුන්. දැන් පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ.

එනිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ අවදානම හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම්, එය ඉතාම හොදින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්තියි. ඒකට මම සූදානම්.”

ඊයේ (12) දින පැවති නීතිඥ සංගම් හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.