Advertisements

හිරුණිකා අධිකරණයේදී සමාව ගනී

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ තම සුරතල් බලු පැටියාට වදහිංසා කළ බව පවසමින් කරදන ගමරාලලාගේ වණිතා ආදර්ශනී කරදන නැමැති කාන්තාව විසින් සමාජගත කළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සියල්ල සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ව්‍යාජ ඒවා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද ව්‍යාජ දර්ශන පදනම් කරගනිමින් තමන් එදා සිදුකළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළ කිරීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පියවර ගැනීමත් සමඟ, ආශු මාරසිංහ ඇයට එරෙහිව පවරා තිබූ අපහාස කිරීමේ නඩුව විවෘත අධිකරණයේදී සමථයකට පත් විය.

2023 දෙසැම්බර් (23) වනදා වණිතා ආදර්ශනී නැමැති කාන්තාව සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයට පැමිණ, ආශු මාරසිංහ බලු පැටියාට හිංසා කරන බව පවසමින් ව්‍යාජ සාක්ෂි පෙන්වා තමන් ඇතුළු පක්ෂයේ විධායක කමිටු කාන්තාවන් දැඩි ලෙස නොමඟ යැවූ බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

කෙසේ වෙතත් මේ පිළිබඳ ඉදිරි සාක්ෂි ඉල්ලා සිටීමේදී ඇය තමන්ව මඟහැරීමට කටයුතු කළ බවත් ඉන්පසුව ආශු මාරසිංහ තමන්ට විරුද්ධව නඩු පැවරූ බවත් තමන් සිදු කළ එම ප්‍රකාශ හේතුවෙන් එතුමාට සිදු වූ නින්දාව සහ අපහාසය පිළිබඳව මම කණගාටුව ප්‍රකාශ කළ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

එම අධිකරණ ක්‍රියාවලියේදී අදාළ වීඩියෝ දර්ශන සියල්ල එම කාන්තාවගේම අනුදැනුම ඇතිව විකෘති කරන ලද ව්‍යාජ ඒවා බවට ආශු මාරසිංහ සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වූ බවත් මාධ්‍ය සාකච්ඡාව පවත්වන අවස්ථාවේදී එම දර්ශන විකෘති කරන ලද ඒවා බව තමන් දැන සිටි නොමැති බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සත්‍ය තත්ත්වය අවබෝධ කරගෙන විවෘත අධිකරණයේදී කණගාටුව ප්‍රකාශ කරමින් මෙම සමථයට පැමිණීම පිළිබඳව තමන් ස්තූතිවන්ත වන බව ආශු මාරසිංහ සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest