Advertisements

ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර විශේෂ හමුවක්

විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී භික්ෂුන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතු වී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මේ වනවිට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව තහවුරු වන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

රට ආර්ථික සහ සමාජයීය වශයෙන් නව පරිවර්තනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළෙහිදී සම්බුද්ධ සසුන සහ ඒ සමඟ ගොඩනැඟී ඇති හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීම රජයේ අභිප්‍රාය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුළු මහත් සමාජයම කම්පාවට පත් කරමින් සිදු වූ මෙම සිදුවීමට අදාළව මතුවී ඇති තත්ත්වය සහ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ මෙහිදි පොලිස්පතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

මෙම සිදුවීමට අදාළව මහානායක හිමිවරු මේ වන විටත් නිවේදනයක් නිකුත් කර තිබෙන අතර, එය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙස මෙහිදී මහා සංඝරත්නය රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම, වත්මන් ප්‍රවණතා සමඟ සංඝ සමාජය ආරක්ෂා කර ගැනීම භික්ෂු වහන්සේට පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර මෙන්ම විහාර දේවාලගම් පනත ආදී පනත් සංශෝධනය සහ නෛතික ප්‍රතිපාදනවල සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest