Advertisements

පාසල් දරුවන්ගේ ජීවිත අනතුරේ.. ඔබේ දරුවා හෙට පාසල් යනවාද.?

2026 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ දිවයිනේ පරිශ්‍ර 250,477ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී ඩෙංගු වාහක මදුරු කීටයින් වැඩිම ප්‍රමාණයක් පාසල් පරිශ්‍රවලින් සොයාගෙන ඇත.

එලෙස පරික්ෂාවට ලක්වූ පාසල් පරිශ්‍ර අතරින් 42.5%ක ඩෙංගු වාහක මදුරු කීටයන් හමුවී ඇති අතර ඩෙංගු මරණ අතරට දරුවන් 05 දෙනෙකු ද ඇතුළත් වේ.

පාසල් තුළ ඩෙංගු රෝගය පැතිරීම අවම කර ගැනීමේ අරමුණින් පාසල් නිල ඇඳුමට අමතරව අත්-පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට දරුවන්ට අවස්ථාව ලබාදී ඇත.

නිසි ප්‍රමිතියකින් යුතු මදුරු විකර්ශක භාවිතය සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී ඇත.

පාසල් 40%ක පමණ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතින බැවින් පාසල් පිරිසිදු කිරීමට උපදෙස් ලබා දෙමින් නිරන්තර අවධානයෙන් සිටින ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.

පෙර පාසල් දරුවන් සඳහාත්, දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් මදුරු විකර්ෂක භාවිත කරන ලෙසත් මදුරු දෂ්ඨනයෙන් වළක්වා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමාපියන්ට දැනුම්දී ඇත.

මේ අතර පරික්ෂා කළ කර්මාන්තශාලා අතරින් 38.4%කත්, රාජ්‍ය ආයතන පරිශ්‍ර 28.1%ත්, ආගමික ස්ථාන 25.9%කත් සහ පිරික්සූ නිවාස අතරින් 9.2%කත් මදුරු කීටයින් සොයාගෙන ඇත.

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ වලින් 70%ක් කාන්තාවන් බවත් ඩෙංගු වැළඳීමෙන් කාන්තාවන් 37 දෙනෙකු මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

වැඩිම ඩෙංගු මරණ සංඛ්‍යාවක් අවුරුදු 25 ත් 49 ත් අතර හා අවුරුදු 65 වැඩි වයස් කාණ්ඩ වලින් වාර්තා වන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත අනුව ඊයේ (17) වනවිට ඩෙංගු රෝගීන් 74,478ක් වාර්තා වන අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද සඳහන් කරයි.

මේ අතර ඩෙංගු ව්‍යාප්තියේ බරපතළකම තවදුරටත් පෙන්වමින් ගතවූ පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ඩෙංගු මරණ ගණන 53 දක්වා ඉහළ ගොස් ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest