53 වන වියේ පසුවූ හිටපු ලිබියානු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයෙකු වන සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊයේ (03) දිනයේ මෙම ඝාතනය සිදුව ඇති බව ඔහුගේ දේශපාලන කණ්ඩායමේ ප්‍රධානියා මෙම මරණය තහවුරු කර ඇති බව ලිබියානු පුවත් ඒජන්සිය පවසයි.
ඔහුගේ සොහොයුරිය ලිබියානු රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර ඇත්තේ, ඔහු ඇල්ජීරියානු දේශසීමාව අසලදී මියගිය බවයි.
ඔහු වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට මළ සිරුර පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇති අතර, එරට නීතිපති කාර්යාලය මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මුවම්මර් ගඩාෆිගේ උරුමක්කාරයා ලෙස කලක් සැලකුණු සයිෆ් අල්-ඉස්ලාම්, 2011 වසරේදී ඔහුගේ පියාගේ පාලනය බිඳ වැටීමට පෙර එරට වඩාත්ම බලගතු පුද්ගලයෙක්.
බටහිර රටවල් සමග සබඳතා ගොඩනගා ගැනීමට ඔහු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ නමුත්, 2011 කැරැල්ලේදී විරෝධතාකරුවන් මර්දනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ අතර, 2015 දී ට්‍රිපොලි අධිකරණයක් විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබුණි
වසර කිහිපයක් සිරගතව සිටි ඔහු 2017 දී පොදු සමාවක් යටතේ නිදහස ලැබු අතර පසුගිය 2021 වසරේදී ඔහු ලිබියාවේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කළ ද, පසුව එම මැතිවරණය දින නියමයකින් තොරව කල් දැමීය.

