ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
අනතුරුව පිල්ලෙයාන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන ජනවාරි මස (18) වැනිදා කැඳවන ලෙසත් එදින මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වසරක කාලයක් ඉක්මවා ගිය පසු එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලය පවතින බවත් එනිසා සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, පෙත්සමේ සඳහන් ඇතැම් කරුණු සංශෝධනය විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
අනතුරුව, මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන ජනවාරි මස (18) වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.
