ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය ගැටුම්කාරී තත්ත්වය යළි උත්සන්නව පවතින අවස්ථාවක රුසියාව විසින් සිය අතිවිශේෂිත “ටියුපොලෙව් Tu-214PU” (Tupolev) ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත යොමු කර ඇත.
මෙම විශේෂිත ගුවන් යානය (ලියාපදිංචි අංකය RA-64531) රුසියාවේ මොස්කව් නුවර සිට සෘජුවම ඉරානයේ ටෙහෙරාන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් ගමන් දත්ත (Flightradar24) ඔස්සේ තහවුරු වී ඇත.
මෙය සාමාන්‍ය මගී ගුවන් යානයක් නොව, රුසියානු රාජ්‍ය නායකයින් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ මෙහෙයුම් පාලනය කිරීමට යොදා ගන්නා “පියාසර විධාන මධ්‍යස්ථානයකි” (Airborne Command Post)
මෙම යානය තුළ අති නවීන සන්නිවේදන පද්ධති, සංකේතනය කළ දත්ත හුවමාරු කිරීමේ පහසුකම් සහ න්‍යෂ්ටික යුද තත්ත්වයන් හමුවේ වුවද ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත පද්ධති ස්ථාපිත කර ඇත.
මෙම යානය සෘජු ප්‍රහාරක යානයක් නොවන නමුත්, යුද පිටියකදී හෝ අර්බුදකාරී අවස්ථාවකදී ගොඩබිම පදනම් වූ සන්නිවේදන පද්ධති බිඳ වැටුණහොත්, අහසේ සිට හමුදා මෙහෙයුම් පාලනය කිරීමට අතිශය වැදගත් යානයකි.
ඉරානයේ හමුදා ඉලක්ක වෙත අමෙරිකාව යළි ප්‍රහාර එල්ල කිරීම සහ ඉරානය විසින් ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ දෙරට අතර පැවති සටන් විරාමය මේ වනවිට බිඳ වැටී ඇත.
එවැනි වාතාවරණයක් තුළ රුසියාව මෙම යානය ඉරානයේ ටෙහෙරානයට යැවීම ඉරානය කෙරෙහි රුසියාවේ පවතින උපායමාර්ගික සහයෝගය ප්‍රදර්ශනය කිරීමක් ලෙස විශ්ලේෂකයින් හඳුන්වයි.
