ලබන 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) එළඹෙන නොවැම්බර් මස (12) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය (25) වැනිදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමිව ඇත.
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් (07) වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර සඳහන් කළාය.
මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් (12) වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමට නියමිතය.
නොවැම්බර් (13) සිට (20) දක්වා දින හතක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර එහි ඡන්ද විමසීම නොවැම්බර් (20) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් (21) සිට දෙසැම්බර් (14) දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් (14) වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙස කාලය වෙන් කිරීමටත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙස කාලය වෙන් කිරීමටත් තීරණය කර ඇත.
අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

